Tuesday, June 6, 2017

මේක මව් කුසකින් බිහි වූ ආපදාවක්!

කාපට් එකක එක කොණක් උඩ මනුස්සයෙක් ඉන්නවා. කාපට් එකේ අනෙක් කොණ ළඟ තව මිනිහෙක් ඉන්නවා. අර මිනිහ ඉන්දෙද්දිම ඒ මිනිහට නොදන්වාම මේ මනුස්සයා කාපට් එක අඳිනවා ඔහුගෙ ප්‍රයෝජනය සඳහා. එහෙම ඇද්දම මොකෝ වෙන්නෙ. කොණේ මිනිහ වැටෙනවා.
ඒ වගේ තමයි.
මිනිහෙක් සොබාදහම් පද්ධතිය තමන්ගෙ වාසියට අකුලනව නම්, ඒකෙ උඩ හිටං ඉන්න "පරිසරයට හිතැති" මිනිස්සු වුණත් වැටෙනවා. වැටිලා මැරෙනවා. එහෙම හිටං ඉන්න මිනිහව වැට්ටුවට පස්සේ ඇදපු මිනිහා තනිවෙනවා.
ඇයි ?
පරිසරය විනාශයෙන් මිනිස්සු වැටුණට මොකෝ විනාශ කළ පරිසර සම්පත් වලින්, විනාශය සිදු කළ පොරට ලොකු ලාභයක් ලැබෙනවා. ඒ වුණාට විනාශය කළ මිනිසාට සමාජයේ ගණු දෙනු කරන්න මිනිසෙක් නැති වෙනවා. අන්තිමේ ලාභයත් එක්ක තමන් සමාජයෙ තනි වෙනවා.
ඔය තියරිය මගේ යාලුවොන්ට පවා දැනෙනව අඩුයි. එහෙම වුණාම උන්ගෙ පොඩි එවුන් ගැන කවර කතා ද? අපි පොඩි කාලෙත්, අපේ අම්මල පොඩි කාලෙත් කළේ දරුවන්ගෙ ඔළුව ඇරලා බලෙන් එබ්බෙව්වා "අධ්‍යාපන තරඟකාරිත්වය" කියන ගුලියක්. අපි පොඩි කාලෙම පුරුදු වුණා විභාග තරඟෙට දුවන්න. දැන් ඉන්න පොඩි උන් ඒකාලෙට වඩා හපන්. උන් දුවන දිවිල්ලෙ වේගය දැක්කම එක අතකට මර බයයි. අනෙක් අතට හරි සතුටුයි.
බය තියෙන්නෙ මේ යන ස්පීඩ් එකේ හැටියට උන්ට උන්වම කොන්ට්‍රෝල් නැති නිසා බාධකයක් ආපු ගමන් හැප්පිලා මැරෙණ ප්‍රවණතාවය වැඩි වේගෙන යන නිසා.( ඒ කියන්නෙ ඉතා කුඩා ජීවිත ගැටළු ගැන නිවීහැනහිල්ලෙ ලබපු අත්දැකීම් නැති නිසා අත්දැකීම් විරහිතව ක්ෂණික තීරණ ගෙන විනාශ වෙන එක. නිවීහැනහිල්ලෙ හිතන්න ඔවුන්ට පුරුදු නැත්තෙ ඔවුන් එතරම්ම වේගවත්)
අනෙක් අතට තියන සතුට තමයි ඔවුන් අපේ කාලෙට වඩා ඉක්මනට හිතන්න දක්ෂයන්/ Fast thinkers ලා නිසා. උන් ඇකඩමිකලි පමණක් ඕනම ප්‍රශ්නයක් ඉතා ඉක්මන් විසඳනවා.
නමුත් අවාසනාව තමයි ඔවුන් බිත්ති හතරකින් බිත්ති හතරකට පමණක් මාරුවෙන්න දන්න, එළියෙ තියන ගස් මල් හඳුනන්නැති තත්වෙකට ඒ දරුවන්ගෙම අම්මල තාත්තල ඒකලව හදල තිබීම. මොකද අම්මල තාත්තලගෙ ඔලුවල ඊට කලින් පරම්පරාවෙ දෙමාපියන් පැලකරල තියෙන්නෙ එහෙම මානසික විෂබීජයක් නිසා. ඉතින් දැන් එයාල ඒක තමන්ගෙ දරුවන්ටත් වපුරනවා. උන්ට ඒ විෂබීජය දෙගුණයක් වැඩියෙන් තමයි පරිණාමිකව සැකසෙන්නෙ. ඉතින් අපෙන් බිහි වෙන පොඩි උන් අනෙකා තල්ලුකර පාගා යන්නෙ අපිටත් වඩා අතිශය තරඟකාරී, අසංවේදී, ඉතා වේගවත් 'උගත්' චින්තකයෝ විදියට පමණයි. උගත් කියන්නෙ ඉගෙන ගත් කියන එකට.
දරුවෙක් බඩට ආපු දා ඉඳලම අම්මලා පොඩි එකාව බිත්ති හතරකින් තවත් බිත්ති හතරකට මාරු වෙන අසංවේදී සත්තු විදිහට පුරුදු කරන්න හිතනවා. ඉන් පස්සෙ එහෙම කරවනව.
ගහක වැලක අත්දකීමක් දෙන්නෙ නෑ. ඒව පෙන්නන්නෙත් අර බිත්ති හතර ඇතුළෙ ඉඳන් වීඩියෝවකින්. මෙන්න පුතේ ගස්. මෙන්න පුතේ කඳු. ඉතින් උන්ට ඒවා දැනෙන්නෙ නෑ. ඤාණනය වෙන්නෙ නෑ. හැබැයි උන් ඒවල විද්‍යාව දන්නව. විද්‍ය්‍යාත්මක සංයුතිය, විද්‍යාත්මක නාමයන් දන්නවා. ඒවයෙ ප්‍රභවය සහ විභේදනයත් දන්නවා. ඕන වෙලාවක ඇහුවොත් කියන්න තරම් කටපාඩම්. ඒත් දැනෙන්නෙ නෑ. සංවේදී නෑ. ඒව ස්පර්ශයෙන් හෝ දැක සතුටු වීමෙන් හෝ ඒ සමඟ සිට ලබපු අත්දැකීම් ඤාණයක්, මානසික ඤාණයක් හෝ ලැබිල නෑ. අන්න එතනයි වරද!
අපි මේ ලෝකෙ ජීවත් වෙනවා. මේ ලෝකෙ කියන්නෙ මොකක්ද කියල ආයෙ හිතන්න බලන්න. හරිතය සමඟ පස.., ජලය.. වායුව සහ මේවා නිසාම බිහි වුණු මෙන්ම මේවා භුක්ති විඳින සතා සිව්පාවා. ඉතින් ජීවත් වෙනව කියලා අපි ජීවත් විය යුත්තේ අන්න ඒ "මේ ලෝකේ දේවල්" එක්ක මිස,, ඔය කියපු පද්ධතියෙන් වෙන් වුණු කුටීර ඇතුලෙද?
මෑත කාලයේ දෙමාපියන් ළමයින්ට කියා දෙන්නෙ, එළියෙ පරිසරයෙ ගහ කොළ, කෙසේ හෝ සල්ලි කොළ බවට හරවලා.. පරිසරයෙන් වෙන්වුණු කුටීර හදාගෙන අන්න ඒ කුටීර ඇතුළෙ අර සල්ලි වියදම් කරමින් ජීවත් වෙයන් කියලා.
ඔය තියරිය නිසා එළියෙ පරිසරයෙ දේවල් ටික ටික අඩුවෙනවා. ඒත් ඒ අඩුවෙන ප්‍රමාණයට සාපේක්ෂව කුටීරෙ ඇතුලෙ සැප සම්පත් වැඩි වෙනවා. ඒ ඇතුළෙ මිනිස් ගහණයත් වැඩි වෙනකොට තව තව පරිසර සම්පත් විනාශ වෙනවා.
ඔන්න කුටීරයෙන් පිට පරිසරයෙ ඉතුරු වෙන අන්තිම ගහත් එක දවසක අර කාපට් කොණෙන් ඇද්ද වගේ අදිනවා.. තමන්ගෙ වාසිය තකා පරිසර සමතුලිතතාවය බේර ගැනීමට.( පරිසර සමතුලිතතාවය බේරගැනීම වාසියක්!). ඉතින් දන්නෙම නැතුව අර කුටීරෙ පිටින්ම පරම්පරාවක් හෝ වර්ගයක් එහෙම් පිටින්ම වැටිලා විනාශ වෙනවා. මතක් කරන්න ව්‍යසන වලදී ගර්භනීන්, කුඩා දරුවන් මැරුණු හැටි. ගම්පිටින් අතුරුදන් වූ හෝ මැරුණු හැටි. ජාතියක පරම්පරාවක් විනාශ වී යෑමක්. පරිසරය ඔහොම සෙල්ලමක් කරන්නේ 'විනාශකාරී' මානසිකත්වය තියන අයගෙන් මිදිලා පරිසරයට තනිවෙන්න. තනිවෙලා ලෝකේ ලෝකයක් විදියට හඳුන්වන පරිසරය රැක ගන්න. මොකද පරිසරය කියන දේට මිනිස්සු කියන ජීවි වර්ගයා ඉතා සරල එක දෙයක් විතරයි.
මෙහෙම "ජීවී ග්‍රහලොවක්" විශ්වයේ හැදුණම ඒ හැදෙන්නේ යම් දේකට. මානවයා කියන බුද්ධි සතාට තමන්ගේ මානවීය දහම ප්‍රගුණ කරන්න වාසස්ථානයක් විදියට. ඒත් ඒකෙ ඉපදෙන උන්ගෙ කිරි කෑ මුත්තලාගෙත් කිරි කෑ මුත්තෝ ඒ කියන්නේ මුතුන් මිත්තෝ අර කලින් කිව්ව සොබාවික ලොවත් එක්ක ඉඳලා ලබපු සොබාවික ඤාණයෙන්, පරිසරය සමඟ යාලු මිත්‍රකමින් ඉන්න ඕන කොහොමද කියන එක තම මුණුබුරොන්ට කියා දුන්නා.
ඒත් අද වෙද්දි ඒ දේවල් ඔක්කොම කණ පිට හැරිලා.
මිනිස් පැටව් මෙලොවට බිහි කරන්න පුළුවන්. නමුත් උන් බිහිවූ පසු උන්ගෙ චින්තනය හැඳීමේදී ඉතා කල්පනාකාරී වන්න!!
කෑමක් බීමක් නැතුව කියා හෝ දුක් මහන්සියෙන් කියා හෝ ඔබ හදන ඔබේ දරුවාගේ "චින්තනය" නිර්මාණය විය යුත්තේ යම් දවසක මුළු ලොවකටම යහපතක් උදා කර දීමටයි! එය,, ජාත්‍යන්තරය ජය ගන්නවා යැයි හෝ ජාත්‍යයන්තරයේ "නාමයක්" තබන ක්‍රියාවලියක් නොව, තමන්ගේ සුබ සිද්ධිය තකා පරිසරයට කරන යම් සුළු යහපත් ක්‍රියාවක් විය හැක.
හිතන්න. ඔබේ,සොබාවික ලෝකය ගැන අසංවේදී සහ නිවැරදි චින්තනයක් නැති දරුවා...පාරට ටොෆි කොළයක් දැම්මොත්? එතනට තව කුණු එකතු වී.. කුණු ගොඩක් වී.. කුණු අවහිර වී.. පරිසර පද්ධතියේ දෝෂ ඇති වී... පාරිසරික ආපදා වී.. එම ජාතික ව්‍යසනය ලෝක ව්‍යසනයක් විය හැක.
එනිසා කරුණාවෙනි. ඔබේ දරුවා මේ බුද්ධි ලෝකයේ දී සොබාවිකත්වයට සංවේදී කරවන, නිස්කාන්සුවේ මේ ලෝකය දෙස බලන්න පුරුදු කරවන, හැඟීම් දැනීම් ඇති "මිනිස් දරුවෙක්" කර දෙනු මැනවි! එවිට පවුල් ප්‍රශ්න, සමාජමය අක්‍රමිකතා, ජාතික කලකෝලාහල, ලෝක විපත් සිදු නොවනු ඇත. එවැනි කලබල නැති නිසා වූ නිස්කාන්සුවම මිනිසාට මිනිසා නොදත් බොහෝ දෑ කතා කිරීමට මාතෘකා සපයනු ඇත!

(2017 මැයි ගංවතුර පසු සටහන)


Saturday, May 6, 2017

හාද්දයි හාදියි (පැටි කතා)

ඔන්න එකමත් එක හාද්දෙක් හිටියා. හැන්දෑවෙ හන්දියෙ කඩේට යන්න ගිය හාද්දා දැක්කා හඳ හාවියෙක් වගේ හැඩ හාදියෙක් ඉන්නවා. හාද්දා හාදි ළඟට කිට්ටු වෙලා හාද්දක් දුන්නම, හාදි හාද්දත් එක්ක හාද වුණා. 

පහුවදාම හාද්දයි හාදියි හද්ද පිටිස‍ර හද්ද කැලයක් මැද්දෑවට ගිහින්, හරිහමන් විදියට දෙන්නට ඉන්න හිටින්න හඩු ගෙයක් හදන්න හිතුවා. හඩුගේ හදන්න වඩුවෙක් නැති නිසා හාදි, ගස් කඳන් - වැල් පටි වගේම, පස් මැටි එක්කත් හාද වුණා. එතකොට හාද්දා, ඒවට හාදු දීලා හඩු ගේ හදන්න යන තැනටම කටයුතු ලෑස්ති කර ගත්තා. 

ඔන්න ඉතින් හාද්දයි හාදියි හඩු ගේ හද හද ඉන්නකොට, හාද්දගෙ අයියා හඩ්ඩා, වැඩ දාලා අල්ල ගත්තු දඩ හාවෙක් කුදලගෙන හාද්දයි හාදියි බලන්න නෑගම් ආවා. හාද්ද, හඩ්ඩට හාද්දක් දීල හද හද හිටපු හඩුගෙට වද්ද ගත්තා. හාදි ත් වැඩ්ඩ වගේ බතක් ඉදෝලා, මාලු පිණිත් එක්ක හඩ්ඩට කවන්න ගත්තා. 

හත්දෙයියනේ..! හෝන්දු මාන්දු වෙලා වගේ මේ හද්ද විගඩම බලාගෙන හිටපු හාද්දා, හාදිට තමන්ගෙ අල්ලෙන් හාදු පිට හාදු දීලා හඩ්ඩව ගෙදරින් පන්න ගත්තා. හඩ්ඩව පන්නන කොටම හඩ්ඩගෙ අතේ හුන්, හා-බැඳි රැහැනට දබර ඇඟිල්ලෙන් හා මාපටැඟිල්ලෙන් හාදු දෙකක් දීලා දඩ හාව ව හාද්දා තමන් ළඟට ගත්තා. එදා දවල්ට හාදි, හා හොද්දක් හැදුවයින්, හාද්දා හාදි එක්ක ආපහු හාද වෙලා, හාදිට හාදු වරුසාවක් දෙන්න ගත්තා, හරියට හාවෙක් වගේ හීලෑවට. බැලින්නම් හා මාලුව කාපු හාමත් බඩට, හද පුරෝගෙන ආපු සතුට දරාගන්න බැරුව, හාමත් බඩ හාවෙක් වෙලා! හාමත් බඩ හාවෙක් වුණ හින්ද, හාද්දත් හාවෙක් වෙලා! හාදිට හරි පුදුමයි. හාදිට කියල වෙන කරන්න දේකුත් නෑ. අන්තිමේ හාදි 'හා-හාද්දත්' එක්ක හාද වෙලා හා-හාද්දගෙ හාදු වරුසාව මැද හරි සතුටින් ජීවත් වුණා.




Friday, February 17, 2017

කෙළ පැමිණීම

කෙළ වනාහි එසේ මෙසේ දෙයක් නොවේ ය. විටෙක 'කෙළවීමටද' කෙළ බලපාන අතර තවත් විටෙක 'කෙළ පැමිණීමට' ද කෙළ බලපානවා.
'ඛේටය' නමින් සෞඛ්‍ය පොතේ මහප්‍රාණෙන් තිබුණට මොකද, උදෑසන හෙළන කෙළ පිඬක් තරම්වත් කෙළ වලට කිසිම වටිනාකමක් තැනක් නෑ. අපි නොදන්නවා උනාට, ඒක කෙළේගෙ 'කෙළ හිමිකම්' අත්‍යවශ්‍යයෙන්ම කැඩීමක්!
කෙළත්වයත් හරි ආතල් කරුණක්. කෙළත්වය තිතට ඇත්තෝ දත් හයිය ඇත්තෝ යි. එනිසාම සුපිරියට හිනාවීම උන්ට හරි ටොයිස් දෙයකි. හිනාවෙන්න දන්න නිසා ඕන වැඩක් 'හිකි හිකියෙන්' කිරීමට තරම් ඔවුන් කපටියෝ ය. ඉතින් කපටියන්ට කෙළ පැමිණීමට ඇත්තේ වැළමිටේ දුරකි.
කෙළ පැමිණීමෙන් පසු සිදුවෙන 'කෙළවීම' බොහෝ විට සිදුවන්නේ කෙළත්වය ගැන මනා අවබෝධයක් නැතිකමිනි. ඒකට හොඳම නිදසුන දැන් ටිකකට කලින් නැග්ග බසයේ ඩ්‍රයිවර් උන්නැහේ ය!!
මං අසුන් ගත්තේ පූජ්‍යාසනයේ. ඉතින් එතැන වාඩි වුණු හිලව්වට මං එවේලේ චතුරාර්‍ය සත්‍ය මෙනෙහි කිරීමට පටන් ගත්තා.
"බස් එකක යෑම ම මොන දුකක් ද අප්පා?
මේ වගේ පාරටම ගෙවෙන කරුමයක් ලැබුණෙ ඉතිං ලංකාව වගේ කාලකණ්ණි රටක ඉපදුණු නිසා නැත්තං වෙන මොන කෙංගෙඩියකටද?
මේ වගේ දුක් නොවිඳින්න නං සීතරටකට පැනගෙන පීආර් එක අරං
ආයෙ මළාට ලංකාවට නොඇවිඳින් ඉන්නෝන."
ඒත්, බස් එක නතර උන වෙලාවක එන්ජින් එක සුපිරියට වයිබ්‍රේට් වෙද්දි, බස් එකේ ඉඳං ඉන්න කෙඩෙත්තු ඇඟකට දැනෙන සැප.... හප්පා.. සීත රටකට ගියාට වඩා සනීපයි.
"යකෝ මොකක්ද ඒ කරපු පාහර වැඩේ..???
 ....බූරුවා!!"
අංකල් කෙනෙක් අවුරුදු 16ක් විතර කොලුවෙක්ව මෝටර්බයික් එකේ තියං, ට්‍රැෆික් එකට නවත්තපු අපේ බස් එක ඉස්සරහින් එයාගෙ බයික් එක වමට හරවල ටිකක් ඉස්සර වෙන්න හදනකොටම, ට්‍රැෆික් ක්ලියර් වෙලා බස් එක රෝදෙත් හප්පගෙන ගියාට අංකල්ට වස කේන්තියි. කේන්ති ගියේ බයට! තව පොඩ්ඩෙන් හැප්පෙනවා.
සතිපට්ඨානයෙන් වැඩකළානම් ඔහොම වෙන්නෑනෙ. දෙන්නටම සතිය හරිහැටි නැතිකමේ වැරැද්ද!!
මම ඊට පස්සෙ සතිපට්ඨානය මෙනෙහි කරන්න ගත්තා. සම්මා දිට්ඨියෙන් ම මම ඒ 'බූරුවා' දිහා බැලුවා. මම පූජ්‍යාසනයේ හිටපු නිසා ඩ්‍රයිවර උන්නැහේට යාරයක් දුර නෑ. එයා බෙල්ල එළියට දානකොට ජනේලෙයි ඩ්‍රයිවින් සීට් එකයි අස්සෙන් එයාව පේනවා. එයාගෙ කට රතුම රතුයි. හැමතිස්සෙම හොඳහැටි හපයක් හප හප ඔළුව ජනේලෙන් දාල, කල් මරලා වාහන ක්ලියර් වුණාම කෙළපාරක් දානවා. මම සම්මා දිට්ඨියෙන් බැලුවම තමයි දැක්කේ, කෙළ ගහන්නෙ තප්පරෙන් තප්පරේට! ඒ තරං වේගෙකින් කෙළ පැමිණි කෙනෙක් මම දැකල නෑ.
දැන් මගේ සම්මා සතිය ඩ්‍රයිවර උන්නැහේගෙ කෙළ පැමිණීම ගැන! මගේ සම්මා දිට්ඨිය උන්නැහේගෙ කෙළ ගැහීම දිහාවට. මගේ සම්මා වායාමය උන්නැහේගෙ කමකට නැති කෙළ පැමිණීම අපුලෙන් තොරව නිරවුල් මනසකින් විඳ ගැනීම!!!
"නුගේගොඩ බහින්න... නුගේගොඩ..."
ෂැක් අපරාදෙ.. තව ටිකක් හිටිය නම් මම බහින්නෙ මෙහෙම නෙවෙයි.. සුපිරි කෙළ පැමිණියෙක් විදියට,
 ඕක් දාලා!


Monday, February 13, 2017

ලලයියයි හූයියයි (පැටි කතා)

ඔන්න ලලයියයි හූයියයි කියලා නිවුන්නු දෙන්නෙක් හිටියා. ලලයියා, අම්මගෙ ඔඩොක්කුවට පනිද්දි හූයියා බිල්ඩින් බ්ලොක්ස් ගොඩට පැනලා සෙල්ලං නගර හැදුවා. ලොකු වුණාම ලලයියා අම්ම එක්ක ගමේම ඉන්නෝන කියල ගමේ නැවතුණා. හූයියා සැප ගන්නෝන කියල නගරෙට ගියා. ලලයියගෙ අම්මගෙ කෑම හරි සැරයි. ඒවගේම හරි රසයි. නගරෙ කෑමාම්මගෙ කෑමකඩේ කෑමත් හරි සැරයි. ඒවගේම හරි රසයි. එකට උපන්, එකට වැඩුණු දෙන්නා, දවසක් දෙතැනක ඉඳන් එකම එළෝලු එක්ක එකම විදියට හදපු බත් ව්‍යාංජනයක්, එක වෙලාවෙදි ම කෑවා. කාලා කට පිහදාගෙන පුටුවෙන් නැගිට්ටෙත් එකට.
ටිකකින් ලලයියා සින්දුවක් උරුවම් බාමින් අම්ම ළඟට ගිහින් අම්මට හාද්දක් දුන්නා. ටිකකින් හූයියා ආමවාතෙ පිටකරමින් කෑමාම්මගෙන් කැසිකිළියට යන පාර ඇහුවා.
ලලයියට අම්මා දිවුල්කිරි කෝප්පයක් හදල දුන්නා. ජූල් කිරි බීලා අන්නාසි පලුවකුත් කාලා ලලයියා පලු ගහ යට බංකුවේ ඉඳගෙන වෙල්යාය දිහා බලං හූයියා ගැන කල්පනා කරන්න ගත්තා.
කැසිකිළියෙන් ගොඩ ආපු හූයියට කෑමාම්මා යෝගට්ටෙකක් දික් කළා. යෝගට්ටෙකත් අරන් පාක් එක ඉස්සරහට ආපු හූයියා පාක් බෙන්ච් එකේ වාඩි වෙලා ලලයියා ගැන හිතන්න පටන් ගත්තා.
දෙන්නම දෙන්න ගැන හිත හිත, දෙන්න දෙතැනක සතුටින්™ ජීවත් වුණා.


Wednesday, February 8, 2017

බුබුයෙලෝ (පැටි කතා)


ඔන්න එකෝමත් එක බුබුයෙලෝ කෙනෙක් හිටියා. දවසක් බුබුයෙලෝ ගමනක් ගියා. ගමන ගිහින් ගෙදර ආව. ගෙදර ආවම, ගෙදර තිබ්බෙ නෑ. තිබ්බෙ වලක්. බුබුයෙලෝ වලට බැහැල ගෙදර හෙව්ව. අන්තිමේදි ගෙදර හොයාගන්න බැරි වුණා. ඉතින් බුබුයෙලෝ සතුටින් වල ඇතුලෙ ජීවත් වුණා. ඒත් කොහෙන්දෝ ඉඳන් ආපු ප්‍රශ්නාර්ථයෙක් බුබුයෙලෝගෙ ඔලුවෙ වැහුවා. එතකොටම බුබුයෙලෝගෙ කට මිසර පිරමීඩයක් වුණා. එදා ඉඳන් අද වෙනකල් බුබුයෙලෝ ප්‍රශ්නාර්ථයෙකුයි පිරමිඩ් කටකුයි එක්ක වල ඇතුලෙ සතුටින් ජීවත් වෙනවා.

Tuesday, July 28, 2015

ග්‍රීන් ටී සංවත්සරය

ඒ මම ග්‍රීන් ටී බීපු අති සාර්ථක පනස්වෙනි සංවත්සරය. එදා අපේ ගෙදර ජය මංගල ගී තාලෙට බට දඬු නලා පිඹ පිඹ - ජය පැන් බොන මී මැසි සෙබළ ‍රැලක් හඬ තලමින් හිටපු වෙලාව!

හැමෝම ජයටම වැඩ. ඒ අතරේ මම උන්නේ අතපය හතර අතට දාගෙන නිදගන්න පුළුවන් තරම්  ලොකූම ලොකු, මහතම මහත සැන්විච් පාන් පෙත්තක් උඩ මුණින් අතට වැතිරිලා.

කවුරුහරි දැක්කනම් කියන්නෙ මෙච්චර වැඩ අස්සේ මේකි නිදාගෙන ඉන්න අපූරුව කියල නම් තමයි. ඒත් ඇත්තටම මම හිටියෙ මගේ කිලෝ හැටකට ආසන්න පංචමහ භූතයොටික හදවතට යට කරගත්තම හදවතයි කනයි එකම තලයකට තෙරපිලා තියෙද්දී සද්දෙට ඇහෙන ඒ බීට් එක අහගෙන..

ලබ්-ඩබ්   ලබ්-ඩබ්  ...

ටික වෙලාවක් ඒ රිද්මය මගේ හිත සමාධියකට ගෙනල්ලයි තිබ්බේ... ඒත් ඒ ටිකම ටික වෙලාවයි. ටික...ම ටික වෙලාවයි. හැබැයි ඒ ටික වෙලාවෙ මම ඇත්තටම හොඳ භාවනාවක හිටියේ.. වටපිටාවෙ කිසි දෙයක් ඇහුණෙ නෑ. මගේ හද රිද්මය විතරමයි මට ඇහෙන්නේ.

ලබ්-ඩබ් ලබ්-ඩබ්...ඩබ්....__/\_/\/\___/\__

ටික ටික ඒ රිද්මය වෙනස් උනා.. හරියට හාවෙක් පස්සෙ බල්ලෙක් පනිනව වගේ.. එක පිම්මයි, දෙපිම්මයි, එක පිම්මයි දෙපිම්මයි.. ළබ් -ඩබ් ඩබ් --- ළබ්-ඩබ් ඩබ් (මෙතන 'ල'යන්න ලොකුවට සද්ද කරන්න ඕන, මොකද ඒ වෙලාවෙ නාලිකා වලින් රුධිරය පොම්ප කළෙත් හරි ලොකුවට)

''එන පොට හොඳ නෑ මුතුවෝ..''
 මගේ හිත් තුනෙන් එක හිතක් මට කියනවා ඇහුණා.. ඒත් ඒ මොන හිතද කියල ඒ වෙලාවෙ මට හරියට තෝරගන්න බැරිවුණේ හරි භයානක විදියට කියපු ඒ වචනෙ ගැන විතරක් මම කල්පනා කළ නිසා. ඇඟ ගල් ගෙඩියක් කරගෙන මම හදවතේ 'සා-බලු-පිමි' අධ්‍යනය කළේ හරියට, මම ගෙදරින් එළියට බැහැල පාරෙ ටිකක් දුර ගියාටත් පස්සෙ තාත්ත මගෙන් අහන 'දොර ලොක් කරලද ආවෙ?' ප්‍රශ්නයට මම ප්‍රතිචාර දක්වන විදියටමයි. කොටින්ම ඒ හැම අවස්ථාවකදිම මම ගල් ගැහිලා ඇත්තටම දොර ලොක් කරාද කියලා සහතික කරගන්න ලොකු වෙහෙසක් ගන්නවා.

කොයිහැටි වුණත් ඒ වෙලාවෙ මගේ හාට් බීට් එක නම් අක්‍රමවත්. අඹරුක්මුළ වෙද රාළ කිව්වෙ හාවෙක් පස්සෙ බල්ලෙක් පන්නද්දි ඇඟේ මුල් පොටවල් ගැන කම්පනාවෙන් ඉන්නය කියලා. මම තව කල්පනාවෙන් බීට් එකට ආයෙත්.., ආයෙ අයෙත් කන් දුන්නෙ ඒ නිසයි.

මම දන්නවා කවුරුවත් පන්දාහෙ කොළේකටවත් විස්වාස කරන එකක් නෑ...ඒත් ඒ වෙලාවෙ ඒක බීට් වුණේම, 'මල්සරාට ප්‍රේම ලෝකෙ මාළිගා තනා සිංදුවෙ තාලෙටමයි...'ඔව්.. ඒ තාලෙටමයි!

ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්..න්..
ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්..න්.....
ඩඩන් ඩන්...ලබ් ඩබ් ලබ් ඩබ් ලබ්....
ඩඩන් ඩන්....  ලබ් ඩබ් ලබ් ඩබ් ලබ්....

දවල් මඥ්ඥං කියන්නෙ මේවටද කියලා මම පොඩ්ඩක් සැලකිලිමත් වුණා. මේ කාලෙ මොනව කියල විස්වාසෙට ගන්න පුළුවන් කාලයක් ද? ඒත් මගේ සතර ඥ්‍යානයන්ටම ගෝචර වුණු එකම දේ මගේ හාට් බීට්ටෙක ඩ්‍රම් බීට් එකකට මාරු වෙලා කියන එක විතරයි.. ඉතින් මම මහ ගොඩක් හිතන්න ගත්තා.

ඔය අතරෙදියි චංචලා මගේ ළඟට කඩාගෙන දුවගෙන ආවෙ. ආපු විදියෙන්ම තේරුණා මේ කලබල දවසෙ මොකක් හරි නොසණ්ඩාල වැඩක් කරලා කාගෙන් හරි කොසු පාරක් කාලයි එන්නෙ කියල. චංචලාත් මගේ ළඟට ආවයින් පස්සෙ ආපු වේගෙ බාල කරල මගේ ඇඟේ දැවටෙන්න ගත්තා.

  ''චංචලෝ...'' මම දැන් හදන්නේ ඒ ලොකූ කතාව දිගාරින්න.

චංචලත් ඇගේ කවදත් කලබල වෙන පංචේන්ද්‍රියම සසල කරමින් මගේ දිහා ලොකූ බයකින් බැලුවා.

  ''යකූ, ඔහොම බලන්න එපා බං.. ටිකක් රිලැක්ස් වෙයන්කො.. මමයි හරිනම් බයවෙලා උඹ දිහා බලන්න ඕන, මේ වෙන අපභ්‍රංස වලට...''
 එහෙම කිව්ව කියලා චංචලා බය නොවී හිටියේ නෑ. ඇස්දෙක එහෙ මෙහෙ විසි කරමින් මගෙන් ඇහුවෙ;

   ''ඇයි මේ සැරේ මොකද?''

ඈ ඒක හරියට ඇහුව ප්‍රශ්නයක් නොවෙන වග මම දැනගත්තා. මොකද, මේ සැරේ මොකවත් වෙන්න, කලින් සැරවල්වල මට මෙහෙම දෙයක් වෙලාම නැති නිසා. ඔය වෙලාවට තමයි මට ඒකිගෙ රැවුලෙන් ඇදලා රිද්දන්න හිතෙන්නේ. ඒත් මට ඊට වඩා වැදගත් වෙන්න ඕන මගේ අලුත්ම වෙනස ඈට කියන එක.

  ''හොඳට අහගනින්.. හැමෝම මගේ ග්‍රීන්ටී සංවත්සරේට ලෑස්තිවෙන වෙලාවෙ., ඒ අය කලබල කරන්න මගේ කිසි අදහසක් නෑ. ඒත් උඹ හරි මේක දැනගෙන තියන එක හදිසියක් වුණොත් වටිනවා. එහෙම කියල මම ඇගේ දෑස් දිහා ලොකු වගකීමකින් බැලුවා.

  ''ඉතින් ඔය ඇස් දෙක එහාට ගනින්... උඹේ ඇස් දැක්කම මටත් නැති බයක් එනව බං...''

ඒකි මගේ වචනෙට බයෙන් කියන පරක්කුව ඇස් අහකට ගත්තා.

  ''හොඳයි එහෙනම්... අපි ඊයෙ රෑට කෑවෙ මොනාද?''

  ''කොත්තු..''

  ''අන්න හරි.. ඒ කොත්තු ගැනයි මම මේ කියන්නේ....  ...දන්නවද? කොත්තු කද්දි මම කොත්තුවෙකුත් කාල..''

  ''මොනවා.....??? '' චංචලා තව ඇස් ලොකු කර ගත්තා..

  '' හිටපන්කො කලබල නොවී..'' එහෙම කිව්ව කියල ඒකි කලබල නොවී ඉන්නෙ නෑ කියල මම දන්නවා.. ඒත් මට කීමට කියවුණා. ඒකි දිලිසෙන ඇස් ලොකු කරගෙන දිගින් දිගටම මං දිහා බලන් ඉන්නවා.

  ''ඒ කොත්තුව හදපු කොත්තුවාව නොදැනිම මට කැවිල, ගිලිලා බං..'' මම බොහොම කණස්සලයෙන් කිව්වා..

චංචලා කොයිතරම් චංචල වුණාද කිව්වොත් ඒකිට කෑගැහුණා..

  ''...ඥාආආආආආආආ.............ව්...ව්...ව්..ව්......''

මම ඒ වෙද්දි හිටියෙ සැන්විච් පාන් පෙත්ත උඩ කකුල්දෙක බිමට එල්ලෙන්න වාඩිවෙලා. ඇගේ කෑගැහිල්ල වහන්න කොට්ටෙ යට තිබුණු පොරෝන රෙද්ද අරන් මම චංචලාගෙ ඇඟට කඩා පනින්න හැදුව විතරයි.... එක පාරටම ලොකූ ඔක්කාරයක් ඇවිත් අයිස් බකට් චැලේන්ජෙකේ වතුර නාවනව වගේ මම චංචලාගේ මුළු ඇඟම කොත්තු මිශ්‍රණයකින් නෑව්වා..



ඔය අතරදි තමයි ඇහුණේ ජනේලෙ පැත්තෙන් ට්‍රම්පට් හඬක්.. ඒක හරියට පෙරදිග යුද ජයකදී ජය සක් පිඹිනව වගේ ජයග්‍රාහී හඬක්. ඒ එක්කම මුකුත් හිතන්නත් කලින් ක්ෂණයකින් කැරපොත්තො රොත්තක් කාමරේට කඩාපැනලා මුලු කාමරයම චෙක් කරලා අනතුරුව තැන තැන ස්ථානගත වුණා.. ටිකකින් තව කැරපොතු ගාඩ් එකක් එක්ක තෙල් කූඹි පෙරහැරක් කාමරේට එනවා ඒ  'ජයපත' ප්‍රධානය කරන්න.

එක කැරපොත්තෙක් ගුවන් ගත වී මගේ කනට ළඟ සාර්ථක අන්දමින් ගොඩබැස්සා .. ඒ වෙනකොටත් මගේ කට වටේට කොත්තු කෑලි. මම කට පිහිදාල කාරිය ටිකක් පිළිවෙලක් වුණා.

   ''තමුන් මුතුවද?''

   ''ඔව් සර්..''

   ''තමුන්ට ජයපතක් තියනව පිළිගන්වන්න..''

   ''ඒ.. ඒ මොකටද සර්...?''

   ''කොත්තුවා අල්ලල දුන්නට..''

   ''ඒහ්? ''

   ''ඔව්.. තමුන් කළේ ජාතික මෙහෙවරක්. මෙතුවක් කාලයක් මිනිස්සුන්ගේ හාට්බීට් එකට ලල් එකක් දීලා, විවිධ රෝග රැසකට වගකිවයුතු පුද්ගලයෙක් වුණු මේ අපරාධකරුවා, තමුන් විසින් භක්ෂණය කොට වමාරා දැමූ මහැඟි සේවයට, අප රජයෙන් තමුන්ට ජයපතක් ප්‍රධානය කරන්න තීරණය කරා. රැජිණගේ අතින් එය පිළිගන්න...''

මට ආයෙත් ඔක්කාරයට එන්න වගේ.. චංචලා කොත්තු මිශ්‍රණය මැද වැටිලා ඉඳන් ඇගේ නහය ඉස්සරහ එක එල්ලේ හරහට වැටිල ඉන්න කොත්තුවා දිහා ඇස් දෙක වපර කරගෙන  නැට්ටත් උස්සගෙන බලාගෙන ඉන්නවා.

තෙල්කූඹි පෙරහැර මගේ දෙපා මුළටම ඇවිත් සිරි ලංකා ගීය, සිංහල දෙමල මුස්ලිම් බර්ගර් ආදිවාසී භාෂා පහෙන්ම ගයලා මට ආචාර කරා. ඉන්පස්සෙ මම දෙකට නැමිලා තෙල්කූඹි රැජිණගෙන් ජයපත්‍රය ලබාගත්තා. නැමෙනකොට තමයි මම දැනගත්තේ තෙල්කූඹි රැජින චීනෙක් බව. දන්නවද? රැජින මට තේපැන් සංග්‍රහයකට ආරාධනා කරා නේ...

මම වෙනුවෙන් ගෙදර ලොකු උත්සවයක් තිබුණත් රැජිණකගෙ ඉල්ලීම අහකදාන්න බැරිකමටම මම ඇයත් එක්කම මාළිගාවට ගියා. එතකොට චංචලා? ඒක තමයි අනේ.. මම ඒකිට කිව්ව තේපැන් සංග්‍රහයට මගෙත් එක්ක යන්න එන්න, කොහෙද ඉතින් කොත්තු මිශ්‍රණෙන් නෑවිලා හිටපු නිසා ඒකි යන එක පස්සගැහුවා... මට හැබැයි සැකයි ඒකි බෑ කිව්වෙ ඒකටමද, නැත්නම් අර ඉලන්දාරි කැරපොතු ගාඩ්ල නිසාද කියලත්.... මේකි මේම හිටියට කොයිවෙලෙත් කැරපොත්තන්ට කෙළ හලාගත් ගමන් ම නේ ඉන්නේ.. !

ඒක නෙවෙයි අනේ කතාව.. බලන්න එපැයි මට තිබුණු පිළිගැනීම. කඩියො, දිමියෝ, ඇඹලයෝ, හින්නො, කළුකූඹි, තව මම ආස නැති ගඳ කූඹිත් මට තොප්පි උඩ දදා කෑගහමින් ඔල්වරසන් දුන්නු හැටි! පාටපාට දිලිසෙන කොලකෑලි, ක්‍රේප්පටි මගේ ඇඟ පුරාම.

රැජිණ හරිම සුහදශීලියි. ළෙංගතුයි. ඈ ආගිය තොරතුරු ගොඩක් කතා කරා. අපේ රටේ දේශපාලනය ගැන කතා කරන්න එනකොටම මම කතාව  වෙන පැත්තකට හරවන්න ඈ අත ඇති සෙංකෝලය ගැන කතා කළා. අන්තිමේ දි ඈට අහපු ප්‍රශ්නෙ අමතක වුණා.

ඔන්න රජෝ දැන් තමයි වෙලාව! එක පාරටම පොළොව යටින් සුදු රෙද්දකින් වහපු මේසයක් හෙමි හෙමින් මතු වුණා... සම්පූර්ණෙන්ම මේසය උඩට ආවට පස්සෙ, ඔලිම්පික් උළලේදි මහ පතාක ඔලිම්පික් කොඩිය ඈතින් බැලුවම පුංචි මිනිස්සු ටිකක් උස්සන් යනව වගේ, කූඹියො රොත්ත බුරුත්තක් ඇවිත්, හරිම ලස්සනට සුදු රෙද්ද ඇරලා, තේ මේසෙ නිලවශයෙන් විවෘත කළා.

   ''හම් බේ...... ඒක තේ මේසයක්ද දිව්‍ය භෝජනගාරයක් ද?''

මගේ ඛේට ධාරිතාවය වැඩිවෙලා රැළිගහන්න පටන් ගත්තෙ ඔන්න ඔය වෙලාවෙ. මම නන්ස්ටොප් කෙළ ගිලිල්ලක් ආරම්භ කළෙත් ඒ නිසා කියමුකො. ඒ නම් මදෑ, මගේ දිවත් බ්‍රේක් ඩාන්ස් කරන්න පටන්ගෙන හත් මඟුලයි..! අපොයි මම ඉක්මනට අතින් කට වහගත්තෙ නැහැදිච්ච කමක් මෙතනට වද්දගන්න කොහෙත්ම අවශ්‍ය නැති නිසා.

   ''අනේ මගේ දිව පැටියෝ.. චුට්ටක් ඔය නැටිල්ල නවත්තගෙන හැදිච්ච තාලෙට ඉන්න..''

විශ්වාස කරන්න.. මට එහෙම කියන්නවත් බැරි තරමට දිව ඩොපේ ඩෝප් වෙලා ඩාන්ස් කරනවා. මේක හරියන්නෙ නෑ. මම තේ මේසෙ දිහාවට ඇස් විසි කරලම දැම්මා මොකක් හරි පිළියමක් හොයන් වර කියලා. ඔය ගමනෙදි තමයි ඇස් දෙකට මහාගොඩක් කෑම අතරින් මාරි බිස්කට් ටික රත්තරං පාටට දිළිහි දිළිහි ඉන්නව හම්බුණේ!!  මාරි දීසිය දැක්කගමන්ම කරන්ට් වැදුණා වගේ මගේ ටිකිරි මොළේ ගැස්සුණා! ඒ ගැස්සිලා තියෙන්නේ මගේ දිහාට හැරෙන්න පුටුව කරකවද්දි..

ටිකිරි මොළේත් ඔන්න ටිකක්  හරි බරි ගැහිලා මෙහෙම කියාපි.

  ''උඹේ දිව නළියන්නේ... තේ මේසෙ දකින කොට නෙව...දිවට කෑම මේසෙ නොපෙන්නුවොත් මොකද වෙන්නේ... දිව නලියන්නෙ නෑ නෙව? ඉතින් මගේ ආදරණීය වසු පැටියෝ, කටවහගන්නකෝ ගොන් රජෝ...''

මොළේ හැමෝටම ආදරේට කතාකරන්නේ වෘෂභ බසින් නෙවෙන්නං... ඉතින් මම එකපාරටම කටවහගත්තා. හරියට පොඩි කාලේ, කළේ බිදින්න කට පුම්බගත්ත වගේ. එතකොටයි දිවේ ඩාන්ස් එක නැවතුණේ. ඒත් අනේ දන්නවනේ ආයතන පහෙන් තුනක්ම මේ වගේ වෙලාවට 24 අවර්ස් වැඩ කියල.

ඔන්න ඉතින් ඇස් දෙක ආයෙ රස්තියාදු ගහන්න යන්න දගලනවා. කිව්වට නාහන නිසා මාත් ඔහේ යන්න ඇරලා හිටියේ හිතේ සතුටකින් නෙවෙයි.

මේ ආයතන අතර කලබල සිද්ධ වෙන්න තත්පර දෙකෙන් පංගුවක්වත් යන්න නැතුව ඇති.  ඔය අතරදි තමයි කූඹි රැජින මට කතා කළේ.

   ''මුතුණි.. එන්න ඇවිත් ඉන්දගන්න''

මම හුරතල් හිනාවක් දාගෙන ඈ ළඟින් අසුන් ගත්තා.

   ''මුතුහරිණි!! හරි ලස්සන නමක් නේ.''

ඔන්න මගේ මූණ රතුවෙන පොයින්ටෙක. 'අනේ රැජිණියනි.. අනවශ්‍ය කෙංගෙඩි බැහැර කරල කතාකරමු..' මගේ හාට් එක ඇතුලෙන් දෝංකාර දෙන්න පටන් ගත්තා.

   ''කවුද මුතුණිට ඒ නම දැම්මේ..''

මම හිතුව හරි. මගේ මූණ තවත් රතු වුණා.. ලොවි ගෙඩියක් වගේ. දැන් උත්තර නොදීත් බෑ.

   ''ඒ නම දාපු කෙනා පෙරේදා උදේ කොළඹ අයිසීයූ එකේදි අන්තරා වුණා රැජිණියනි!!!''

   ''ඛවුද?......
......අර කාටුනිස්ට්?''

මගේ ඇස් අග්ගිස්ස පිටාර ගලන්න හදන්න ඔන්න මෙන්න.

   ''එහෙමයි''

''ඕ.. හරි කණගාටුයි.. මමත් එයාගෙ චිත්‍රකතා බලල තියනවා. සමාජසමයං, හුලවාලි! ෂුෂ්! ඒවා මරු ආ!  ටැලන්ටඩ් කාටුනිස්ට්.. ''

   ''එහෙමයි''

   ''ඉපදෙන හැමෝම මැරෙනව.... අපේ අය නම් කොයිවෙලෙත් ඉන්නෙ මැරෙන්න බලාගෙන... ඒත් එහෙම කියල නෑ..., ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි හරියට මහන්සි වෙලා වැඩකරනවා...''


   ''..හරි දැන් ඕව අමතක කරලා ඔයාගෙ සේවයට අපෙන් දෙන මේ සුළු තෑග්ග භුක්ති විඳින්න..''

   ''එහෙමයි''

ඇය අත්පොඩියක් ගහපු සැණින් ලස්සන ඇඳුමක් ඇඳගත්තු පුංචි කූඹිච්චියෙක් මේ ලෝකේ තියන ඔක්කොම පැණිරස කෑම දමාපු පිඟානක් ගෙනාවා.


සෙවන් ඉලව්වට ගැහුව ඉස්කෝප්පෙ කිව්ව වගේ  ඔය වෙලාවෙදි මගේ ඇඟ ඇතුළින් මිනියොන් කෙනෙක් බල්බ් තොප්පියකුත් දාගෙන එළියට පැන්නෙ නැතෑ..!!!

   '' බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ''



   ''ගින්නක්....? ''

   ''ගින්නක්....? අපෝයි ගින්නා...ක්.....''

   ''මගේ ඇඟ ඇතුළේ ගින්නක්..''

මම කොයිතරම් කලබල වුණාද කිව්වොත් කූඹිරැජිණ කඩි හේවායෝ දෙන්නෙක් ගෙන්නුවා මාව සංසුන් කරන්න. ඔවුන්ගේ විස දළවලට බයේ මම ටිකක් මෙල්ල වුණා.

ඒත් මම ඉවසගන්න බැරිතරමට ලොකු ගින්නකට අහුවෙලා..... ඒත්... ඒත්.. කිසිම කෙනෙක් ඒ ගැන වගකට නොගෙන දඟලන මං දිහා බලාගෙන ඉන්න හැටි...!

   ''අනේ කවුරුහරි මට උදව් කරන්නෝ... මට ඉවසගන්නම බැරියෝ...''

මම ලාවට දැක්කා රැජින ඇස්වලින් යමෙකුට යමක් ඉඟි කරනවා..  ටික වෙලාවකින් කඩි හේවායෙක් යකඩ බන්දේසියක තියාගෙන සුදුපාට මැටි කෝප්පෙකට කොළපාට දියරයක් ගේනවා.

   ''මේක කුමන්ත්‍රණයක්.. හපොයි මේක කුමන්ත්‍රණයක්.. මම කුමන්ත්‍රණයකට අහුවෙලා... අනේ චංචලෝ.... කවුරුත් නැද්දෝ... මාව කූඹි උගුලකට අහුවෙලෝ... '''

තඩි කඩි අඬු වලින් සර්වාංගෙම තදවෙනකොට නොදැනුවත්වම කෑගැහෙන එක සාධාරණයි. මම කඩි හේවායො දෙන්නට කෑගැහුවා.. 

   ''අතෑරපන් කඩියෝ...මට යන්න දිපන්....''

 මුළු වැරම යොදල  කඩි හේවයො  දෙන්නගෙ දඬු අඬු වලින් ගැලවෙන්න සටන් කරමින් ඉන්න අතරෙදියි රැජිණගෙ අණින්, කඩි හේවායා මට කොළපාට දියරය පොවන්න ගත්තේ..

   ''උඹලට ලේසියෙන් බෑ මාව මරන්න.... මම ලේසියෙන් මැරෙන්නෙත් නෑ..  කවදාවත් හිතල කූඹීයෙක්වත් මැරුවෙ නැති මට ඇයි උඹලමෙහෙම කරන්නේ.... උඹල දැනගන්න ඕන.. මම කොයිතරම් උඹලව බේරල තියනවද?...ඕන්නම් මට හරි ලේසියෙන්ම... හරිම ලේසියෙන්ම... තේ මණ්ඩියට, බනිස්ගෙඩියට, සීනි බෝතලේට  හොටදාපුවට විතරක් නෙවෙයි.... ඇඳුම් අල්මාරියෙ ඉන්දන්... ටී ෂර්ට් හිල් කරපු හිලව්වට.... ඇඳේ මෙට්ටෙ අස්සෙ ඉඳල රෑ ගණනාවක් අවදියෙන් තිබ්බ හිලව්වට..... උඹලව විස්සෙ කොළේකට මායම් නොකර මැරෙන්න අරින්න තිබ්බා..... එහෙම නොකරපු මටද මේ විස පොවන්නේ.... ඈ යකුනේ...  ''

මේ වෙනකොට කොළපාට දියරය පෙවිලා මගේ කටින් නොනවත්වා වස් කවි පිටාර ගලමිනුයි තිබුණේ... පුරා රැයක් කවි ගායනයේ කෙළවර මට මහන්සියත් එක්ක ලොකු නිදිමතක් ඇවිත්... ඉතින් මම අර කඩි හේවායෝ දෙන්නට මාව වත්තම් කරගන්න කියලා මම හොඳටම බිම වැටුණා.

ඇත්තමයි, ඒක හරි ලස්සන වැටිල්ලක්.. මම වැටුණේ අවුරුද්දට මහ ගත්තු මල් ගවුම උඩට. මම ගවුම උඩ කුමර දුටුගැමුණුගෙ වකුටු සෙය්‍යාවෙන්ම නිදාගත්තා. මොකද  ඒ වෙනකොටත් මට අතපය දිග ඇරගන්න බැරි කාරණා දෙකක් තිබ්බා. එකක්, මල් ගවුමෙ එක පැත්තක් ලොකු බොත්තම් පේළියක් තිබීම. . අනෙක් පැත්ත ලොකු වාටි බැම්මක් තිබීම. ඒ දෙකට මැදිවෙලයි මම හිටියේ. ඔව්.. හරිම තදට හිරවෙලා.

හිරට වුණත් මම හොඳට නිදාගත්තා. හරිම සංවරව. ඒ සංවර කමට එනවත් එක්කම තමයි මගේ පිටට කවුද තට්ටු කළේ...

   ''මොකද ළමයෝ මේ දවාලට නිදාගන්නෙ? අනෙක අද කලබල දවසෙ? පාටි එකට කට්ටිය ජමරෙට වැඩ.. ගිහින් ටිකක් උදව් වෙන්නකෝ.. '' අම්ම අනවශ්‍ය විදියටම මාව අවදිකළා. මට ඉතින් කබ කඩ කඩ ග්‍රීන් ටී හදන තැනට යන්න වුණානේ.

   ''ආ ගුඩ් මොර්නින් මැඩම්.. ටී එකක් හදන්නද?''

   ''නෑ ඕන්නෑ..''

   ''ඔව් ඉතින් ඕනවෙන එකක් නෑ.  අද මේ ඩිංගට කාපු බීපු වස ජාතිවල හැටියට අපි අමාරුවෙන් හරි ග්‍රීන් ටී එක පෙව්වෙ නැත්නම් තාම බඩ දැවිල්ලෙ උඩපනිනව බලන්න තිබ්බ.. නේද අනේ.. ''

   ''අනේ මේ යනව අහකට, සීනි කාල ලෙඩහදාගන්නෙ නැතුව.. ''

සීනි බෝතලේ උඩ කටවහගෙන හිනාවෙමින් උන්නු තෙල් කූඹි ජෝඩුවම මම ජනේලෙන් එලියට විසි කරලා රැයක් පෙඟෙන්න තිබ්බ උළුහාල් වතුර කෝප්පෙ හුස්මට බී නැවත කාමරේට ගියේ ත්‍රීඩී මූවී එකක් බලන්න...

Saturday, August 30, 2014

කූඹිච්චි


තවම කාපට් නොකරපු ගුරු පාර අයිනේ වැටිල තිබුණේ පෙගිච්ච රුපියල් පනහෙ නෝට්ටුවක්. පස් වැලි වලට යට වෙලා පාරෙන් උඩට මතු වෙලා තිබුණේ නෝට්ටු කොළයෙන් භාගයයි.

දුඹුරු පාටට වේලිච්ච දූලි ගැහුණු පුංචි අතක් පනහෙ කොළේ ඇදලා ගත්තා. පනහෙ නෝට්ටු කොළේ මතින් ඒ ළග තිබුණු කූඹි ගුල වෙත යමින් උන්නු කළු කූඹිච්චි, පනහේ නෝට්ටුවත් එක්කම අභ්‍යාවකාශ ගත වෙන්න පටන් ගත්තම කූඹිච්චි ඇස් දෙක තදින් වහ ගත්තෙ ඔක්කාරෙට වගේ ආපු නිසා වෙන්නැති.

කෝකවෙතත් කූඹිච්චි එක ඇහැක් ඇරල බැලුවා. ඊළගට ඇස් දෙකම ඇරල බැලුවා. වැදුණු හුළං පාර නිසා ගතට සුවයි. මෙන්න බොලේ ඒ එක්කම පුංචි මැලවිච්ච ඇස් දෙකක් කූඹිච්චි දිහා බලනවා! ඇත්තටම නම් කූඹිච්චි දිහා නෙවෙයි, කූඹිච්චි වාඩිවෙලා උන්නු රුපියල් පනහෙ කොළේ දිහායි බලල තියෙන්නෙ.

එක පාරට භූමිකම්පාවකට අහු වුණා වගේ කූඹිච්චිට අඩු හයෙන්ම නෝට්ටුව තදින් අල්ල ගන්න වුණේ අර දුඹුරු පාටට වේලිච්ච පුංචි අත් පොඩිත්ත නෝට්ටු කොළය ගුලි කර ගත්තු නිසයි.

සැණෙකින්, දවාලේ ඇස් කඩාගෙන යන්න තිබුණු ඉර එළිය අඩු වෙලා හෙවනකට ආව වගේ කූඹිච්චිට දැණුනා. දැන්නම් පනහෙ නෝට්ටුව තියෙන්නෙ කුණු ගැහිලා අත්වලටම ගෙවිච්ච ලෑල්ලක් උඩ. මේ මොකක්ද මේ වෙන්නෙ? කූඹිච්චිට නම් මොකවත් තේරෙන්නෙ නෑ.

මොක වුණත් කූඹිච්චිත් බලාන උන්න. සිලි සිලි සද්දෙත් එක්ක ඔන්න ලොකු පාර්සලයක් ලෑල්ල උඩට ආව විතරයි කූඹිච්චි හොදටම පෙරළිලා, නෝට්ටු කොලේ ඉදන් පියාඹලා වගේ උඩින් විසි වෙලා වැටුණෙ අර සිලි සිලි මල්ලට. කූඹිච්චි දැක්කා නෝට්ටු කොළේ, ලෑල්ල යට තිබුණු තවත් ලෑලි පෙට්ටියක් ඇතුලට යනවා. කූඹිච්චිට එච්චරයි බලන්න උනේ, ආයෙත් කූඹිච්චි අව්වකට ආවා.

සිලි සිලි සද්දෙ එක රටාවකට ඇහෙනවා. ඉහල බැලුවම කූඹිච්චිට පෙනුනේ පොඩිත්තෙක් කූඹිච්චි ළග ඉහළින් ඉන්නවා. කූඹිච්චි වටපිට බැලුවා. දෙපැත්තෙ ගස් මේ මොකද පිටිපස්සට දුවන්නේ?

''අම්මේ......ඒ.........ඒ............. මේන් කෑම ගෙනාවෝ...''

"කොහෙන් ගෙනාවේ?"

"කඩේ.. ඒ.. න්.. "

"මොනවයි ඉතින් පුතේ? ".

"පා...ආ...න්"

"තුනකට කපන් වරෙන් පුතේ"

කූඹිච්චි සාවධානෙන් අහගෙන උන්නේ මේ මොකක්ද වෙන්නෙ කියල තේරුම් ගන්න.

දුං වැදිල කළු ගැහුණු කාමරයේ බිම සිලි සිලි මල්ල තියලා පොඩිත්තා පාන් කපනවා කෑලි තුනකට!

"මෙන්න අම්මගෙ කොටහ.."

"එක කොටහක් ඉතුරු කරලයි, ඉතින් ඔය කන්නේ?"

"ඒක අන්න සිලි බැග්ගෙක ඇතුළෙ.."

"මයෙ පුතේ කියන් කොහොමෙයි මේ ගෙනාවේ?"

"පාරෙ වැටිල තිබ්බ පනහෙ කොලයක්"

"අනේ මයෙ රත්තරනේ...!? "

"නංගි පරක්කු වෙනවනන් මං ඉතිරි කෑල්ලත් කනෝ හොදේ? "

"බඩගිනි වුනත් බෙදාගෙන කන්න පුරුදු වෙයන් දරුවෝ.."

"ඒ උනාට ගිනිවත්තෙ විජේ අයිය හන්දියෙ ඉදන් යටිගිරියෙන් කෑගැහුවෙ එහෙනන් - අපි පරක්කු උනොත් අපිට හබ්බෙන්නෙ හුලන් බොන්න තමයි අයියේ මල්ලියෙ.. අපිව බඩගින්නෙ තියල මේ රටේ කොටහක් රහට කැම කන එකට අපි ඉඩ දෙන්න ඕන නෑ කියලා.."

"ඉතින් ඌ එහෙම කිව්ව කියල උඹ නන්ගිගෙ කොටහ කෑවම හරි යනව ය??? ...."

"...මයෙ පුතේ උඹ ආයෙ යනව හෙම නෙවෙයි ඔය ගිනිවත්තෙලගෙ කතාවට හොට දාන්න... මගේ කකුලෙ අමාරුව නැත්තන් මම උඹලට මෙහෙම වෙන්න දෙන්නෙ නෑ මයෙ රත්තරනේ.. මගෙ දෑතෙ හයිය තියනවා කොටන්න හේනක් උනත්.. මේ හයියම ඇති අපේ නෑ වරිගෙටම එකතු උනොත්.. මුන් ඔක්කොම බෑගිරි තලන වෙලේ හයියට ඉදගෙන මොනවද කරන්න බැරි පොලොවත් එක්ක ඔට්ටු වෙලා? කරපන්කො මන් කියන්නෙ කරල ඉවර වෙලා බැරියැ බලල අඩු පාඩු ඉල්ලන්න.."

කූඹිච්චිට ක්ලාන්තයි වගේ.. අපේ සනුහරේටවත් නැති ප්‍රශ්න මිනිස්සුන්ට? කූඹිච්චි කැඩිච්ච ඇද කකුල දිගේ ඇදට ගොඩ උනා... යන ගමන්ම හෙමින් හෙමින් ගැටළුව පෙළ ගස්ස ගත් නිසා ටිකෙන් ටික කරුණු කාරණා කූඹිච්චිට තේරුම් ගියා. ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් උනේ කූඹිච්චි මේ දවස් වල ලියන 'මිනිස් දහම' පර්යේෂණ නිබන්ධනයට කරුණු එකතු කරන්න, සම්ප්‍රදායක් ලෙස කුහුඹුවන් ප්‍රකෝටි ගණනක් සමග යන ගවේෂණ චාරිකා වලින් ලැබුණු තොරතුරු ඇසුරින්. කූඹිච්චි තවම ලෝකයට ලාබාල වුවත් මේ ටික කාලයට ඈ විස්මිත තොරතුරු සමූහයක් එක් කර ගත්තා මේ අධ්යන චාරිකාවලින්. මෙය දිවි නොතකා යන චාරිකාවක් නිසා බොහෝ යහළු කුහුඹුවන් කූඹිච්චිට නැති වුණා. මිනිස් ඇසුරේ ගැවසීමට පෙර ලබා දෙන වැඩමුළුවේ පුහුණු සමතුන් වුවත් මෙම චාරිකාවට සහභාගී වන්නේ, චාරිකාවට පෙර සියලු නෑ වරිගයාගෙන් ම සමුගැනීමේ සාදයකින් අනතුරුව, පැමිණීම බලාපොරොත්තු නොවන ගමනක් ලෙසට මේ ගවේෂණ චාරිකාව ඇරඹීම අනාදිමත් කලක පටන් ඇති සිරිතක්.


කූඹිච්චි බොහොම තද කල්පනාවකට වැටුණා. කූඹිච්චිගෙ අම්මා හොද ගෘහනියක්. ඈ ඉතා හොද සකසුරුවම් කාරිණියක්. 'සකසුරුවම්කරණය හා පරමාදර්ශී කුහුඹු දර්ශනය' පිළිබද උපාධිදාරිණියක්. ඈ 'ජීවිත සකසුරුවම, පවුලේ ආහාර ක්‍රමානුකූල පරිභෝජනය හා ලබාගත්තේ තෘප්තිය' පිළිබද පශ්චාත් උපධියට පාඩම් කරන ගමන් එහි මැනවින් ප්‍රායෝගික ව කටයුතු කරමින් යනවා. ඇත්තටම ඈ කියල මගේ අම්මව විතරක් මතක් කරන්න හොද දෙයක් නෙවෙයි. අපේ සනුහරේ සෑම කාන්තාවකටම මේ උපාධිය තියනවා. ඒක විවාහයෙන් පසුව පලමු සතියෙන් කුහුඹු ජනරජය විසින් කුහුඹු විවි ඒකාබද්ධ එකමුතුවෙන් ප්‍රදානය කරන්නක්.

කූඹිච්චි මේ ගැන ඉතාම සරලව හිතන්න ගත්තා.. ඇයි මේ මිනිසස්සුන්ට කුහුඹුවන් ආදර්ශයට ගන්න බැරි? ලද දෙය සකසුරුවම් කර ගන්නැතුව හැමට එක හැන්දෙන් බෙදන්න ඕන කියල කෑ කොස්සන් ගහන්නේ මොකද? තමන් කරන දේ මොකක් වුණත් ඒකට අවංක වෙනව නම් මිනිස්සුන්ට මෙහෙම කෑකොස්සන් ගහන්න තරම් දෙයක් නොවෙයි මේක. මේක දූෂිත හිත්වල තියන ප්‍රශ්නයක් මිස සමාජයට දොස් නගන්න ඕන දෙයක් නෙවෙයි. දූෂිත හිත් ගෝත්‍රික රැලක් වුණාම සාමන්ය හිතැත්තන්ට බලපෑම් කරනවා. පීඩාවට පත් වන ඒ හිත් රැළත්, පීඩනය නිසාම දූෂිත වෙනවා. එහෙම නැතිව තමාට ඇති හැකි අයුරින් ජීවිතය ජය ගන්න පුළුවන් කමක් මිනිස්සුන්ට තිබෙද්දි ආශාවන් පසු පස ගිහින් නස්තාර් වෙලා අන්තිමට කෑකොස්සන් ගහනවා. ඉක්මනින් දුවන මිනිස්සු ඉන්න ලෝකයේ මෙවැනි දේත් ඉතින් සුමටයි. කූඹිච්චි හොද හුස්මක් අරගෙන හිත හෑල්ලු කර ගත්තා.

මේ පොඩිත්තගේ අම්ම කියන කතාව ඇත්ත.. හයිය තියන කාලේ ලැබුණු දේ සකසුරුවම් කරගෙන ජීවත් වෙන්න ශක්තිය ලබා ගන්න ඕන හැටි ඈ දන්නවා. ඒත් තමන්ගෙ නෑයන්ගෙ සහය නැති තැන ඈ අසරණ වෙලා. අපේ කුහුඹුවන් ආදර්ශයට ගන්නට මිනිස්සුන්ට බැරි ඇයි? මිනිස්සු මේ පොලොවෙන් වැඩගත්තෙ වේගයෙන් දුවන්න ඕන දේ හදන්න මිස ජීවත් වෙන්න ඕන දෙයක් ගැන හිතන්න නෙවෙයි. ඒකෙන් මිනිස්සු අන්තිමට කිව්වේ, 'අනේ සංසාරේ අපට උනා විනාසේ.. උක් දණ්ඩෙන් යුෂ මිරිකා ගන්නා පරිද්දෙන් ශ්‍රමය සූරා ගනිද්දී.. සහෝදරවරුනි, ඇති හැකි පන්තිය නැති බැරි පන්තිය තරමට පල්ලං බස්සවා?.. ධනේශ්වර ආර්ථිකය බිත්තරයක් ගෙඩියක් කරවා එය කඩා අයිසින් කේක් එකක් සෑදීමට අප සමගින් එක් වෙයල්ලා.. කොහ්.. කොහ්.. කොහ්..' කියල බෑගිරි තලන එකයි.

මේක මම මෙතනින් පටන් ගන්න ඕනා. කූඹිච්චි කඩිසර උනා. ඈ ඉක්මනින් ඇදෙන් බැහැලා පොඩිත්ත සොයාගෙන ගියා.

ඊට පස්සේ වුණු කතාවමේකයි..,

කූඹියා පොඩි ළමයට කිව්වා පොඩ්ඩගෙ වත්තෙ කොනේ පොඩි වගාවක් දාන්න කියලා.. පස්සේ තමන්ගෙ කෘමි සනුහරේ ගෙනල්ලා සප් එක දෙන්නම් කියලා පස සරු කරන එකට. ඉතින් පොඩ්ඩ කැමති උනා. එයා පුදුමත් උනා එයාට කූඹියෙක් කතා කරනව කිව්වම.. එයා දොස්තර හොද හිතගෙ කතා පෙළවත් මොන පොතක්වත් බලල තිබ්බෙ නැති උනාට මේ ලෝකෙ වෙන්න බැරි දේවල් නෑ කියල දැනගන්න තරම් මේ පොඩ්ඩා උපන් ගෙයි පණ්ඩිතයෙක් වුණ නිසා ඒක ගැටළුවක් උනේ නෑ..


පස්සේදි කූඹියො ටික නොයෙක් බීජ වර්ග ගොවි බිම් වලින් උස්සගෙන ඇවිදින් පොඩි ළමයගේ වගා බිමේ පස් වලට යට කලේ වැහිකාලෙ බලලා ඊට සති දෙකකට කලින්. වැස්සත් එක්ක ඔන්න ටිකෙන් ටික බීජ පැල වෙලා දලු දාල හරි සාරෙට කොළ පාට බැබලෙන්න ගත්තම පොඩ්ඩට හරි සතුටුයි. පොඩ්ඩගෙ නංගිත් මේක දිහා බලා උන්නේ හරි පුදුමයකින්. අයිය නංගිට මේ රහස කිව්වෙ කාටවත්ම කියන්න එපා කියල පොරොන්දුව පිට.

ඔන්න ඉතින් ආයෙත් පොඩ්ඩට පාරෙ නෝට්ටු කොළ ඇහිදින්න ඕන උනේ නෑ. එයාලගෙම වත්තෙන් ගත්තු පලදාවෙන් එයලගෙ ආහාරය සරිකර ගත්තා. ඒවිතරක් නෙවේ, අතිරික්ත භෝගය පොළට ගෙනිහින් විකුණලා නංගිගෙ අධ්යාපනයට වියදම් කරන්න සෑහෙන්න මුදලක් හොයාගෙන ඒක ඉතුරු කරන්න බැංකුවෙත් දැම්මා. අම්මගෙ කකුලෙ අසනීපයට බෙහෙත් අරන් දීලා නැගිටල ඇවිදින්න පුළුවන් මට්ටමටම සනීප කරන්න පුළුවන් උනා. පස්සෙදි අම්මයි පොඩ්ඩයි එකතු වෙලා කූඹිච්චිගෙ සහයත් ඇතුව, ලොකූ ගොවි පොළක් දාල පරම්පරා ගණනාවක් එයාල සතුටින් ජීවත් උනා.

ඊට පස්සෙ හැම පෝය දවසකටම කජු ගහේ අත්තක් උඩ ඉදගෙන කූඹිච්චියි, පොඩ්ඩයි, පොඩ්ඩියි ඈත පෙනෙන දුවන නගරය දිහා බලාගෙන සුරංගනා කතා කියන්න පටන් ගත්තා..