Showing posts with label පැටි කතා. Show all posts
Showing posts with label පැටි කතා. Show all posts

Friday, August 4, 2017

එකමත් එක මහන්සියක් (පැටි කතා)

ඔන්න එකමත් එක මහන්සියක් තිබුණා. දවසක් මහන්සියට බස්සෙකක යන්න ඕන වෙලා, බසෙකක ගියා. ටික වෙලාවක් බස් එකේ යනකොට... මෙන්න බොලේ!! බස් එකේ උන්නු මිනිස්සුන්ගෙ ඇඟේ හැප්පිල මහන්සිය ගොඩක් මහත් වෙන්න ගත්තෙ නැතෑ.


ඔහොම මහත් වෙලා මහත්වෙලා ගෙදර එනකොට මහන්සියගෙ මහතෙ වැඩිකමට මහන්සියටත් ලොකූ කාංසියක් දැනුණා. ඇවිදගන්නත් බැරුව හතරගාතෙ ඇවිත් ගෙදර තිබ්බ පුටුවකට වැටුණම, ඔන්න ටික වෙලාවකින් මහන්සියගෙ මහත ටිකක් බැස්සා. මහත බැස්සට මොකෝ මහන්සියගෙ කාංසිය නම් ඉවර උනේ නෑ.
මහන්සිය ඔහොම ටිකක් පුටුවෙ ඇලවෙලා ඉන්නකොට මහන්සියගෙ ඔඩොක්කුවට හුරතල් බිස්කට් පැකට් එකක් පැන්නා.
ඒ හුරතල් බිස්කට් පැකට් එක එදා ඉදන් මහන්සිය එනකල් ගේ දොරකඩට වෙලා බලන් ඉන්න හිතාගෙනයි හිටියේ. ඒත් ඒ බලාපොරොත්තුව ලත් තැනම ලොප් වෙන සෙයියාවකුයි ඊළඟට මතු වුණේ.
මේකයි වුණේ. ඔන්න මහන්සියත් කාංසිය යන්න ය කියලා බිස්කට් පැකට් එක හුරතල් කරන්න ගත්තා. ඒකෙ කවරෙ කඩන්න හැදුවා. හරි ගියේ නෑ. ආයෙත් කඩන්න හැදුවා. ෂුහ්!
ආයෙ ආයෙත් හැදුවා.
ම්හු! 😰
වැඩේ හරි ගියේම නෑ.
ඒ සැණින්ම මහන්සියට මතක් වුණේ එකම එක දෙයයි. මේක එයාගෙ තරහ කාරයෙක් තමන්ට නව නිංගිරාවක් වෙන්න කරපු වැඩක් කියන එක විතරයි!
ඔව්!! අඬු හතරෙන්ම කඩන්න හැදුවත් කඩන්න බැරි තරම් බිස්කට් කොලේ තද කරපු එකා!!
'හයිය!'
'ඕකා තමයි අම්මපා මාව නැති කරන යකා!!'
තරහව වැඩි වෙලා මහන්සිය ඔන්න ආයෙ මහත් වෙන්න ගත්තා.
'යකාගෙ හයියෙක් නේ යකෝ ඒ!.. මෙහෙම තද කරපු බිස්කට් පැකට් එවල මාව මහන්සි කරවන්න ඌ හිතුව මදි!'
'කරන්නම් වැඩක්!' එහෙම හිතලා මහන්සිය පුටුවෙ වාඩි වෙලා තැන්පත් වුණා. පැය ගාණක් ගියා. හෙල වුණේවත් නෑ. ටික වෙලාවකින් මහන්සියට අමුත්තක් දැනුණා. මොකක් නමුත් ලොකු දෙයක්..


කායික විපර්‍යාසයක් සිද්ධ වෙලා!!
මෙන්න! ඒ ගමන මහන්සිය හයියෙක් වෙලා!!
අන්තිමේ 'මහන්සිය' නැතිවෙලා 'හයියෙක්' ප්‍රාදූර්භූත වුණු ඒ සතුට දරාගන්න බැරුව, කුඩු වෙන්නම උඩ පැන්නෙ මේ ඔක්කොම බලාගෙන ඉඳපු, හුරතල් බිස්කට් පැකට් එක!

Wednesday, July 19, 2017

එකෝමත් එක ගැටලුවක් සහ විසඳුමක්! (පැටි කතා)

ඔන්න එක ගැටලුවක් තිබුණා. ඒ ගැටලුව හරිම ලස්සනයි. වර්ණවත්!
දවසක් මේ ගැටලුව පාරෙ යනකොට දැක්කා එක මනුස්සයෙක් වැඩක් කරමින් ඉන්නවා. වැඩේ තමයි ලස්සන ලොකු ෆෝන් එකකට මූණ ඔබං ඉඳීම. ඉතින් ගැටලුව හෙමි හෙමින් මිනිහට ළං වෙලා මෑන්ස්ගෙ පිටට පොඩි තට්ටුවක් දැම්මා.
ම්හු. කිසිම ප්‍රතිචාරයක් නෑ. ගැටලුව ආයෙ ටිකක් සැරේට පාරක් ගහල කතා කළා. අනපේක්ෂිත පහර හමුවේ මිනිහ තිගැස්සිලා උඩ විසික් වුණා. විසික් වුණු උඩ ඉන්දෙද්දිම මෑන්ස් බැලුව කවුද ඒ ගහපු එකා කියල. මෙන්න බොලේ ගැටලුවෙක් දිළිහි දිළිහි ඉන්නවා! මිනිහ තිබ්බ කලබලේට පොලොවට එන්නත් කලින් අහසෙ ඉඳන්ම පස්ස නොබල දුවන්න ගත්තා.
ගැටලුවට හරිම දුකයි. ගැටලුව ආයෙත් හෙමි හෙමින්.... හෙමි හෙමින්... පාර දිගේ යනවා. ඔහොම යනකොට ගැටලුව දැක්කා ලස්සන ගෙවත්තක්! ඒ ගෙවත්ත අයිනේ ගහක් යට ගාඩ්න් බෙන්ච් එකක් උඩ සුරංගනාවියක් වගේ ලස්සන ගෑණු ළමයෙක් පොතක් කියවනවා.
ගැටලුව හෙමීට ඒ සුරංගනාවි ළඟට කිට්ටු වුණා. සුරංගනාවිටත් යමක් දැනිලා පොතෙන් ඔලුව උස්සල බැලුව.
"ආනේ.. මේ බලන්නකෝ!!"
එයා එහෙම කිව්වත් වටපිටාවෙ කවුරුවත් ම හිටියෙ නෑ. ඒත් ගෑණු ළමයට එහෙම කියවුණා.
"මේ පොඩි හුරතල් ලස්සන ගැටලුවක් නේ..!!"
ගෑණු ළමයා ගැටලුව වඩා ගෙන උකුලේ තියා ගත්තා.
ගැටලුවට හරි සතුටුයි.
ඔන්න ඉතින් එදා ඉඳන් ගැටලුවට අලුත් නවාතැනක් ලැබුණා. ඒ අර ගෑණු ළමයගෙ ගෙදර නම් නෙවෙයි. ඒ ගෙදර ඉන්න ගෑණු ළමයගෙ නිදන කාමරේ විතරයි.
ගැටලුව ආපු දවසෙ ඉඳන් ගෑණු ළමයා හිටියෙ හරිම සතුටෙන්. කොටින්ම එයා ගෙදරින් එළියටවත් බැස්සෙ නෑ. ගැටලුව එක්කමයි හිටියේ.
මේක ගෑණු ළමයගෙ ගෙදරට නුපුරුදු දෙයක්. වෙනද එළි පෙහෙළියෙම ඉන්න දැරිවි මොකද මේ කාමරේටම වෙලා? අසනීපයක්වත් ද? ගෑණු ළමයගෙ අම්මා ටිකක් මේ ගැන හොයල බැලුවා.
"හෙව්ව බැලුව එක හොඳයි" අම්ම තාත්තට කිව්වා.
"අන්න අපේ දැරිවි ගැටලුවක් බදා ගෙන!"
"මොනවා!?"
තාත්ත ඔන්න සුපුරුදු පරිදි පුදුම වුණා.
තාත්තයි අම්මයි තේ මේසෙ ඉඳන් මේ ගැන කතා වෙනව. හිස් තේ කෝප්ප දෙක මේසෙ උඩින් තියල ඉඟුරු බිස්කට් තුනක් කාල, හතර වෙනි එක කටට අරන් හපන කොටම තාත්තගෙ ඔළුව උඩ බල්බ් එකක් පත්තු වුණා.
"අපේ කෙලීගෙ කළ වයසත් හරි නේ?" තාත්ත කිව්වා.
"ඉතින්? " අම්මත් ඉඟුරු බිස්කට් එකක් හප හප ඇහුවා.
"අපි කෙලීට විසඳුමක් හොයල දුන්නොත් මොකද?"
"අපි කොහෙන්ද විසඳුමක් හොයල දෙන්නෙ මේ කලබලේ." අම්ම කකා හිටපු බිස්කට් එකත් පැත්තකට දාල කිව්වා.
"බැරි වෙන එකක් නෑ. අපි මූණුපොතෙන් හොයල දෙමු?"
"ෆේක් ප්‍රොෆයිල්ස් හදාගෙන?"
"ඔව්. එහෙම හොඳයි නේ?"
"හොඳයි එහෙනම්. එහෙමවත් කරමු."
ඔන්න අම්මයි තාත්තයි මූණුපොතේ ගිණුම් දෙකක් හදන්, ඒකට තරුණ කාලෙ ෆොටෝ දෙකක් දාගෙන තරුණ කෙල්ලෙකුයි කොල්ලෙකුයි වගේ මූණුපොත එහෙ මෙහෙ පෙරළනවා.
ටික කාලයක් ගියා. තාත්තටත් කලින් පළවෙනියටම විසඳුමක් හම්බුණේ ගෑණු ළමයගෙ අම්මට.
"මේ බලන්නකෝ.. මේ මේ.. මට හොඳ විසඳුමක් හම්බුණා." අම්මට සතුටට කෑගැහුණා.
"කෝ බලන්න!! කෝ බලන්න.!!" තාත්ත කණ්ණාඩියත් දාගෙන මූණුපොතට එබුණා.
"ෂා!!...මේක නම් නියම විසඳුමක් නේ!! "
අපි අද හෙටම දුවගෙ ගැටලුව වෙනුවට විසඳුම ගේමු.
ඔන්න පහුවදාම ඔන්ලයින් පේ කරලා අම්මයි තාත්තයි ගෑණු ළමයට විසඳුමක් ගෙදරටම ඩිලිවර් කර ගත්තා.
ගෑණු ළමයා ඔළුව උස්සල බැලුවා.
"Mmmm..."
අම්මයි තාත්තයි ගෑණු ළමයගෙන් ඇහුව කොහොමද කියලා.
ගෑණු ළමය 👍 කිව්වා.
අන්තිමේ අම්මයිතාත්තයි විසඳුම දිහා බැලුවා.
එයත් හිනා වෙවී ❤️ එකක් දැම්මා.
අනේ.. අන්තිමේ ගෑණු ළමයා ගැටලුව අහකට දාල විසඳුමත් එක්ක දීග ගියා.
ගැටලුව ආයෙත් පාරට වැටුණා. පාර දිගේ හෙමි හෙමින් ගැටලුව යනවා. යද්දි ගැටලුව දැක්කා එක මනුස්සයෙක් වැඩක් කර කර ඉන්නවා. වැඩේ තමයි ලස්සන ලොකු පොතකට මූණ ඔබං ඉඳීම.
ඒත් ගැටලුව ඒ මිනිහ ළඟ නැවතුණේ නෑ. ගැටලුව එයාව මඟ ඇරල ඉස්සරහටම ගියා. ආයෙ කිසි තැනක නැවතුණේ නෑ.
ගැටලුව ගැන හොයපු කෙනෙකුට, ගැටලුව දැකපු හැමෝම කිව්වෙ කලුපාට ගැටලුවක් පාරෙ පැද්දි පැද්දි යනව දැක්ක කියල විතරමයි!



Saturday, May 6, 2017

හාද්දයි හාදියි (පැටි කතා)

ඔන්න එකමත් එක හාද්දෙක් හිටියා. හැන්දෑවෙ හන්දියෙ කඩේට යන්න ගිය හාද්දා දැක්කා හඳ හාවියෙක් වගේ හැඩ හාදියෙක් ඉන්නවා. හාද්දා හාදි ළඟට කිට්ටු වෙලා හාද්දක් දුන්නම, හාදි හාද්දත් එක්ක හාද වුණා. 

පහුවදාම හාද්දයි හාදියි හද්ද පිටිස‍ර හද්ද කැලයක් මැද්දෑවට ගිහින්, හරිහමන් විදියට දෙන්නට ඉන්න හිටින්න හඩු ගෙයක් හදන්න හිතුවා. හඩුගේ හදන්න වඩුවෙක් නැති නිසා හාදි, ගස් කඳන් - වැල් පටි වගේම, පස් මැටි එක්කත් හාද වුණා. එතකොට හාද්දා, ඒවට හාදු දීලා හඩු ගේ හදන්න යන තැනටම කටයුතු ලෑස්ති කර ගත්තා. 

ඔන්න ඉතින් හාද්දයි හාදියි හඩු ගේ හද හද ඉන්නකොට, හාද්දගෙ අයියා හඩ්ඩා, වැඩ දාලා අල්ල ගත්තු දඩ හාවෙක් කුදලගෙන හාද්දයි හාදියි බලන්න නෑගම් ආවා. හාද්ද, හඩ්ඩට හාද්දක් දීල හද හද හිටපු හඩුගෙට වද්ද ගත්තා. හාදි ත් වැඩ්ඩ වගේ බතක් ඉදෝලා, මාලු පිණිත් එක්ක හඩ්ඩට කවන්න ගත්තා. 

හත්දෙයියනේ..! හෝන්දු මාන්දු වෙලා වගේ මේ හද්ද විගඩම බලාගෙන හිටපු හාද්දා, හාදිට තමන්ගෙ අල්ලෙන් හාදු පිට හාදු දීලා හඩ්ඩව ගෙදරින් පන්න ගත්තා. හඩ්ඩව පන්නන කොටම හඩ්ඩගෙ අතේ හුන්, හා-බැඳි රැහැනට දබර ඇඟිල්ලෙන් හා මාපටැඟිල්ලෙන් හාදු දෙකක් දීලා දඩ හාව ව හාද්දා තමන් ළඟට ගත්තා. එදා දවල්ට හාදි, හා හොද්දක් හැදුවයින්, හාද්දා හාදි එක්ක ආපහු හාද වෙලා, හාදිට හාදු වරුසාවක් දෙන්න ගත්තා, හරියට හාවෙක් වගේ හීලෑවට. බැලින්නම් හා මාලුව කාපු හාමත් බඩට, හද පුරෝගෙන ආපු සතුට දරාගන්න බැරුව, හාමත් බඩ හාවෙක් වෙලා! හාමත් බඩ හාවෙක් වුණ හින්ද, හාද්දත් හාවෙක් වෙලා! හාදිට හරි පුදුමයි. හාදිට කියල වෙන කරන්න දේකුත් නෑ. අන්තිමේ හාදි 'හා-හාද්දත්' එක්ක හාද වෙලා හා-හාද්දගෙ හාදු වරුසාව මැද හරි සතුටින් ජීවත් වුණා.




Monday, February 13, 2017

ලලයියයි හූයියයි (පැටි කතා)

ඔන්න ලලයියයි හූයියයි කියලා නිවුන්නු දෙන්නෙක් හිටියා. ලලයියා, අම්මගෙ ඔඩොක්කුවට පනිද්දි හූයියා බිල්ඩින් බ්ලොක්ස් ගොඩට පැනලා සෙල්ලං නගර හැදුවා. ලොකු වුණාම ලලයියා අම්ම එක්ක ගමේම ඉන්නෝන කියල ගමේ නැවතුණා. හූයියා සැප ගන්නෝන කියල නගරෙට ගියා. ලලයියගෙ අම්මගෙ කෑම හරි සැරයි. ඒවගේම හරි රසයි. නගරෙ කෑමාම්මගෙ කෑමකඩේ කෑමත් හරි සැරයි. ඒවගේම හරි රසයි. එකට උපන්, එකට වැඩුණු දෙන්නා, දවසක් දෙතැනක ඉඳන් එකම එළෝලු එක්ක එකම විදියට හදපු බත් ව්‍යාංජනයක්, එක වෙලාවෙදි ම කෑවා. කාලා කට පිහදාගෙන පුටුවෙන් නැගිට්ටෙත් එකට.
ටිකකින් ලලයියා සින්දුවක් උරුවම් බාමින් අම්ම ළඟට ගිහින් අම්මට හාද්දක් දුන්නා. ටිකකින් හූයියා ආමවාතෙ පිටකරමින් කෑමාම්මගෙන් කැසිකිළියට යන පාර ඇහුවා.
ලලයියට අම්මා දිවුල්කිරි කෝප්පයක් හදල දුන්නා. ජූල් කිරි බීලා අන්නාසි පලුවකුත් කාලා ලලයියා පලු ගහ යට බංකුවේ ඉඳගෙන වෙල්යාය දිහා බලං හූයියා ගැන කල්පනා කරන්න ගත්තා.
කැසිකිළියෙන් ගොඩ ආපු හූයියට කෑමාම්මා යෝගට්ටෙකක් දික් කළා. යෝගට්ටෙකත් අරන් පාක් එක ඉස්සරහට ආපු හූයියා පාක් බෙන්ච් එකේ වාඩි වෙලා ලලයියා ගැන හිතන්න පටන් ගත්තා.
දෙන්නම දෙන්න ගැන හිත හිත, දෙන්න දෙතැනක සතුටින්™ ජීවත් වුණා.


Wednesday, February 8, 2017

බුබුයෙලෝ (පැටි කතා)


ඔන්න එකෝමත් එක බුබුයෙලෝ කෙනෙක් හිටියා. දවසක් බුබුයෙලෝ ගමනක් ගියා. ගමන ගිහින් ගෙදර ආව. ගෙදර ආවම, ගෙදර තිබ්බෙ නෑ. තිබ්බෙ වලක්. බුබුයෙලෝ වලට බැහැල ගෙදර හෙව්ව. අන්තිමේදි ගෙදර හොයාගන්න බැරි වුණා. ඉතින් බුබුයෙලෝ සතුටින් වල ඇතුලෙ ජීවත් වුණා. ඒත් කොහෙන්දෝ ඉඳන් ආපු ප්‍රශ්නාර්ථයෙක් බුබුයෙලෝගෙ ඔලුවෙ වැහුවා. එතකොටම බුබුයෙලෝගෙ කට මිසර පිරමීඩයක් වුණා. එදා ඉඳන් අද වෙනකල් බුබුයෙලෝ ප්‍රශ්නාර්ථයෙකුයි පිරමිඩ් කටකුයි එක්ක වල ඇතුලෙ සතුටින් ජීවත් වෙනවා.