"අඩෝ... කවුද ඩෝ අපේ පාර කොන්ක්‍රීට් කරන්නෙ..... අපි කොන්ක්‍රීට් එකට විරුද්දයි ඩෝ... අපේ විරුද්දෙන් ඕක කොන්ක්‍රීට් කරන්න දෙන්න බෑ ඩෝ...ඉතින් පලයල්ලා හොඳ හිතින්!" මම ජනේලයට මුවා වී ගිරිය පිප්පුවෙමි.
අපේ ගේට්ටුව ළඟට මිනිසෙක් ආවේ ය. ඔහුගේ මුහුණ ගේට්ටුවට මුවා වී ඇති නිසා මට ඔහුව නොපෙනුණේ ය.
"යකෝ.. තොපිට ඇහෙනවද ඩෝ මම කියන දේ... අහගනියව්... හොඳ හිතින් ඔය ගල් ටිකත් අරගෙන පලයව්.. මෙහෙ කොන්ක්‍රීට් කරන්නෙ නෑ... මේ පාර මේ පැත්තෙ මිනිස්සුන්ට ඕන විදියට යකෝ.."
ගේට්ටුව දෙසින් හඬක් ඇසුණි.
"ලොක්කගෙ ඕඩරේට පිටින් යන්න එන්න තොපි කවුද යකෝ??"
ඒ ගැඹුරු හඬට නම් මා තිගැස්සිණි. ඒත් මාගේ තිගැස්සීම දුටුවේ මා පමණි. ඇඳ හුන් පිජාමා කලිසං කකුල උස්සා මම ගේට්ටුව දෙසට අත උළුක් කර කෑ ගැසීමි.
"යකෝ වැඩිය කෑ ගහන්න එපා ඩෝ මොටයියට කියනවා......"
"කවුද යකෝ උඹේ මොටයියා ඌ වැඩ්ඩෙක්ද ඩෝ...?"
එයට නම් මට මළෙනුත් මළ පැන පැන ගොස් උගේ හොම්බ රිවර්ට් කරන්නට තරමට අත් මිටමෙල විණි. මම පිජාමා කලිසං කකුල් දෙකම උස්සා උඩ පැන දෙකට නැමී නහර එළියට පනින තෙක් ගිරිය පුප්පා කෑ ගැසීමි...
"අඩෝ.... තොපි දන්නෑ යකෝ අපේ මොටයියා... යකෝ.....එක ටෙලිෆෝන් කෝල් එකයි...!! එ-ක-කෝ-ල් එකායි හරී.... ඊට පස්සෙ.. ඊට පස්සෙ තොපි ඔක්කොටම ගෙදර ඉඳන් ගෑණිට පොල් ගාන්න තමයි ඩෝ වෙන්නෙ.. දැනගනියව් නරියෝ...!!"
මේ දෙබස තෙවැනි පාර්ෂවයක් මිදුලේ පැත්තකට වී නරඹයි නම් එය හරියටම ගෙයක් සහ ගේට්ටුවක් අතර ඇති සංවාදයක් බඳු ය. පේන කෙනෙකුන් නැත. ගෙයකින් සහ ගේට්ටුවකින් පමණක් හඬ ඇසේ.
මගේ අවසන් කෑගෑම ට ගේට්ටුව දෙසින් ආ හඬ නතර විය. මගේ වෙව්ලන දෑතේ ඇඟිලි දහයම කට ඇතුලේය.
විනාඩියක පමණ නිහඬතාවයකි.
ට්‍රැක්ටරය පණ ගන්වන හඬ ඇසුණි. ඉන්පසු එම හඬ කෙමෙන් මගේ දෙසවනෙන් ඈතින් ඈතට යන්නට විය. වැලවරකා ගෙඩියකට කොටන කපුටෙක් එළවන බට්ටිච්චාගේ කිචිබිචියක් ඇසිණි. මා නැවතත් කාමරයට ඇදුණේ, මොටයියාට කළගුණ දක්වන්නට මූණු පොතට ලොග් වීම සඳහා ය.