Showing posts with label පඬි කතා. Show all posts
Showing posts with label පඬි කතා. Show all posts

Tuesday, June 6, 2017

මේක මව් කුසකින් බිහි වූ ආපදාවක්!

කාපට් එකක එක කොණක් උඩ මනුස්සයෙක් ඉන්නවා. කාපට් එකේ අනෙක් කොණ ළඟ තව මිනිහෙක් ඉන්නවා. අර මිනිහ ඉන්දෙද්දිම ඒ මිනිහට නොදන්වාම මේ මනුස්සයා කාපට් එක අඳිනවා ඔහුගෙ ප්‍රයෝජනය සඳහා. එහෙම ඇද්දම මොකෝ වෙන්නෙ. කොණේ මිනිහ වැටෙනවා.
ඒ වගේ තමයි.
මිනිහෙක් සොබාදහම් පද්ධතිය තමන්ගෙ වාසියට අකුලනව නම්, ඒකෙ උඩ හිටං ඉන්න "පරිසරයට හිතැති" මිනිස්සු වුණත් වැටෙනවා. වැටිලා මැරෙනවා. එහෙම හිටං ඉන්න මිනිහව වැට්ටුවට පස්සේ ඇදපු මිනිහා තනිවෙනවා.
ඇයි ?
පරිසරය විනාශයෙන් මිනිස්සු වැටුණට මොකෝ විනාශ කළ පරිසර සම්පත් වලින්, විනාශය සිදු කළ පොරට ලොකු ලාභයක් ලැබෙනවා. ඒ වුණාට විනාශය කළ මිනිසාට සමාජයේ ගණු දෙනු කරන්න මිනිසෙක් නැති වෙනවා. අන්තිමේ ලාභයත් එක්ක තමන් සමාජයෙ තනි වෙනවා.
ඔය තියරිය මගේ යාලුවොන්ට පවා දැනෙනව අඩුයි. එහෙම වුණාම උන්ගෙ පොඩි එවුන් ගැන කවර කතා ද? අපි පොඩි කාලෙත්, අපේ අම්මල පොඩි කාලෙත් කළේ දරුවන්ගෙ ඔළුව ඇරලා බලෙන් එබ්බෙව්වා "අධ්‍යාපන තරඟකාරිත්වය" කියන ගුලියක්. අපි පොඩි කාලෙම පුරුදු වුණා විභාග තරඟෙට දුවන්න. දැන් ඉන්න පොඩි උන් ඒකාලෙට වඩා හපන්. උන් දුවන දිවිල්ලෙ වේගය දැක්කම එක අතකට මර බයයි. අනෙක් අතට හරි සතුටුයි.
බය තියෙන්නෙ මේ යන ස්පීඩ් එකේ හැටියට උන්ට උන්වම කොන්ට්‍රෝල් නැති නිසා බාධකයක් ආපු ගමන් හැප්පිලා මැරෙණ ප්‍රවණතාවය වැඩි වේගෙන යන නිසා.( ඒ කියන්නෙ ඉතා කුඩා ජීවිත ගැටළු ගැන නිවීහැනහිල්ලෙ ලබපු අත්දැකීම් නැති නිසා අත්දැකීම් විරහිතව ක්ෂණික තීරණ ගෙන විනාශ වෙන එක. නිවීහැනහිල්ලෙ හිතන්න ඔවුන්ට පුරුදු නැත්තෙ ඔවුන් එතරම්ම වේගවත්)
අනෙක් අතට තියන සතුට තමයි ඔවුන් අපේ කාලෙට වඩා ඉක්මනට හිතන්න දක්ෂයන්/ Fast thinkers ලා නිසා. උන් ඇකඩමිකලි පමණක් ඕනම ප්‍රශ්නයක් ඉතා ඉක්මන් විසඳනවා.
නමුත් අවාසනාව තමයි ඔවුන් බිත්ති හතරකින් බිත්ති හතරකට පමණක් මාරුවෙන්න දන්න, එළියෙ තියන ගස් මල් හඳුනන්නැති තත්වෙකට ඒ දරුවන්ගෙම අම්මල තාත්තල ඒකලව හදල තිබීම. මොකද අම්මල තාත්තලගෙ ඔලුවල ඊට කලින් පරම්පරාවෙ දෙමාපියන් පැලකරල තියෙන්නෙ එහෙම මානසික විෂබීජයක් නිසා. ඉතින් දැන් එයාල ඒක තමන්ගෙ දරුවන්ටත් වපුරනවා. උන්ට ඒ විෂබීජය දෙගුණයක් වැඩියෙන් තමයි පරිණාමිකව සැකසෙන්නෙ. ඉතින් අපෙන් බිහි වෙන පොඩි උන් අනෙකා තල්ලුකර පාගා යන්නෙ අපිටත් වඩා අතිශය තරඟකාරී, අසංවේදී, ඉතා වේගවත් 'උගත්' චින්තකයෝ විදියට පමණයි. උගත් කියන්නෙ ඉගෙන ගත් කියන එකට.
දරුවෙක් බඩට ආපු දා ඉඳලම අම්මලා පොඩි එකාව බිත්ති හතරකින් තවත් බිත්ති හතරකට මාරු වෙන අසංවේදී සත්තු විදිහට පුරුදු කරන්න හිතනවා. ඉන් පස්සෙ එහෙම කරවනව.
ගහක වැලක අත්දකීමක් දෙන්නෙ නෑ. ඒව පෙන්නන්නෙත් අර බිත්ති හතර ඇතුළෙ ඉඳන් වීඩියෝවකින්. මෙන්න පුතේ ගස්. මෙන්න පුතේ කඳු. ඉතින් උන්ට ඒවා දැනෙන්නෙ නෑ. ඤාණනය වෙන්නෙ නෑ. හැබැයි උන් ඒවල විද්‍යාව දන්නව. විද්‍ය්‍යාත්මක සංයුතිය, විද්‍යාත්මක නාමයන් දන්නවා. ඒවයෙ ප්‍රභවය සහ විභේදනයත් දන්නවා. ඕන වෙලාවක ඇහුවොත් කියන්න තරම් කටපාඩම්. ඒත් දැනෙන්නෙ නෑ. සංවේදී නෑ. ඒව ස්පර්ශයෙන් හෝ දැක සතුටු වීමෙන් හෝ ඒ සමඟ සිට ලබපු අත්දැකීම් ඤාණයක්, මානසික ඤාණයක් හෝ ලැබිල නෑ. අන්න එතනයි වරද!
අපි මේ ලෝකෙ ජීවත් වෙනවා. මේ ලෝකෙ කියන්නෙ මොකක්ද කියල ආයෙ හිතන්න බලන්න. හරිතය සමඟ පස.., ජලය.. වායුව සහ මේවා නිසාම බිහි වුණු මෙන්ම මේවා භුක්ති විඳින සතා සිව්පාවා. ඉතින් ජීවත් වෙනව කියලා අපි ජීවත් විය යුත්තේ අන්න ඒ "මේ ලෝකේ දේවල්" එක්ක මිස,, ඔය කියපු පද්ධතියෙන් වෙන් වුණු කුටීර ඇතුලෙද?
මෑත කාලයේ දෙමාපියන් ළමයින්ට කියා දෙන්නෙ, එළියෙ පරිසරයෙ ගහ කොළ, කෙසේ හෝ සල්ලි කොළ බවට හරවලා.. පරිසරයෙන් වෙන්වුණු කුටීර හදාගෙන අන්න ඒ කුටීර ඇතුළෙ අර සල්ලි වියදම් කරමින් ජීවත් වෙයන් කියලා.
ඔය තියරිය නිසා එළියෙ පරිසරයෙ දේවල් ටික ටික අඩුවෙනවා. ඒත් ඒ අඩුවෙන ප්‍රමාණයට සාපේක්ෂව කුටීරෙ ඇතුලෙ සැප සම්පත් වැඩි වෙනවා. ඒ ඇතුළෙ මිනිස් ගහණයත් වැඩි වෙනකොට තව තව පරිසර සම්පත් විනාශ වෙනවා.
ඔන්න කුටීරයෙන් පිට පරිසරයෙ ඉතුරු වෙන අන්තිම ගහත් එක දවසක අර කාපට් කොණෙන් ඇද්ද වගේ අදිනවා.. තමන්ගෙ වාසිය තකා පරිසර සමතුලිතතාවය බේර ගැනීමට.( පරිසර සමතුලිතතාවය බේරගැනීම වාසියක්!). ඉතින් දන්නෙම නැතුව අර කුටීරෙ පිටින්ම පරම්පරාවක් හෝ වර්ගයක් එහෙම් පිටින්ම වැටිලා විනාශ වෙනවා. මතක් කරන්න ව්‍යසන වලදී ගර්භනීන්, කුඩා දරුවන් මැරුණු හැටි. ගම්පිටින් අතුරුදන් වූ හෝ මැරුණු හැටි. ජාතියක පරම්පරාවක් විනාශ වී යෑමක්. පරිසරය ඔහොම සෙල්ලමක් කරන්නේ 'විනාශකාරී' මානසිකත්වය තියන අයගෙන් මිදිලා පරිසරයට තනිවෙන්න. තනිවෙලා ලෝකේ ලෝකයක් විදියට හඳුන්වන පරිසරය රැක ගන්න. මොකද පරිසරය කියන දේට මිනිස්සු කියන ජීවි වර්ගයා ඉතා සරල එක දෙයක් විතරයි.
මෙහෙම "ජීවී ග්‍රහලොවක්" විශ්වයේ හැදුණම ඒ හැදෙන්නේ යම් දේකට. මානවයා කියන බුද්ධි සතාට තමන්ගේ මානවීය දහම ප්‍රගුණ කරන්න වාසස්ථානයක් විදියට. ඒත් ඒකෙ ඉපදෙන උන්ගෙ කිරි කෑ මුත්තලාගෙත් කිරි කෑ මුත්තෝ ඒ කියන්නේ මුතුන් මිත්තෝ අර කලින් කිව්ව සොබාවික ලොවත් එක්ක ඉඳලා ලබපු සොබාවික ඤාණයෙන්, පරිසරය සමඟ යාලු මිත්‍රකමින් ඉන්න ඕන කොහොමද කියන එක තම මුණුබුරොන්ට කියා දුන්නා.
ඒත් අද වෙද්දි ඒ දේවල් ඔක්කොම කණ පිට හැරිලා.
මිනිස් පැටව් මෙලොවට බිහි කරන්න පුළුවන්. නමුත් උන් බිහිවූ පසු උන්ගෙ චින්තනය හැඳීමේදී ඉතා කල්පනාකාරී වන්න!!
කෑමක් බීමක් නැතුව කියා හෝ දුක් මහන්සියෙන් කියා හෝ ඔබ හදන ඔබේ දරුවාගේ "චින්තනය" නිර්මාණය විය යුත්තේ යම් දවසක මුළු ලොවකටම යහපතක් උදා කර දීමටයි! එය,, ජාත්‍යන්තරය ජය ගන්නවා යැයි හෝ ජාත්‍යයන්තරයේ "නාමයක්" තබන ක්‍රියාවලියක් නොව, තමන්ගේ සුබ සිද්ධිය තකා පරිසරයට කරන යම් සුළු යහපත් ක්‍රියාවක් විය හැක.
හිතන්න. ඔබේ,සොබාවික ලෝකය ගැන අසංවේදී සහ නිවැරදි චින්තනයක් නැති දරුවා...පාරට ටොෆි කොළයක් දැම්මොත්? එතනට තව කුණු එකතු වී.. කුණු ගොඩක් වී.. කුණු අවහිර වී.. පරිසර පද්ධතියේ දෝෂ ඇති වී... පාරිසරික ආපදා වී.. එම ජාතික ව්‍යසනය ලෝක ව්‍යසනයක් විය හැක.
එනිසා කරුණාවෙනි. ඔබේ දරුවා මේ බුද්ධි ලෝකයේ දී සොබාවිකත්වයට සංවේදී කරවන, නිස්කාන්සුවේ මේ ලෝකය දෙස බලන්න පුරුදු කරවන, හැඟීම් දැනීම් ඇති "මිනිස් දරුවෙක්" කර දෙනු මැනවි! එවිට පවුල් ප්‍රශ්න, සමාජමය අක්‍රමිකතා, ජාතික කලකෝලාහල, ලෝක විපත් සිදු නොවනු ඇත. එවැනි කලබල නැති නිසා වූ නිස්කාන්සුවම මිනිසාට මිනිසා නොදත් බොහෝ දෑ කතා කිරීමට මාතෘකා සපයනු ඇත!

(2017 මැයි ගංවතුර පසු සටහන)


Wednesday, August 17, 2011

සස්ටජන්


'සස්ටජන්' අප නිවස දැන හැඳින ගත්තේ මීට අවුරුදු තුනකට පමණ පෙර ය. එදින, ඔහු මැසූ කොට්ටඋර දුසිම විකුණාගත නොහී අහම්බෙන් අප නිවසට රැගෙන ආවේ ය. ගෙන ආ ඒ කොට්ට උර සියල්ලෙන් අඩක්ම අපේ තාත්තා මිළදී ගත්තේ, කෙසඟ පුද්ගලයා තම දිවි ගැට ගසා ගැනීමට දරන වීරිය අසා ඒ ගැන වූ අනුකප්පාවෙනි. එහෙත් මව එයට එතරම් මනාප නොවුණේ කොට්ට උර, ඔහු නැති බැරි කමට මැසූවක් හෙයින් හොඳ නිමාවක් නොමැතිකමත් එපමණ කොට්ට උර මිළදී ගත් පසු අපවම විකුණාගෙන කෑමට නැවත ඒමට ඉඩ ඇති බැවින් ය. එනිසා එක කොට්ට උරයක් ගැනීම ප්‍රමාණවත් බව මව ගේ අදහස විය. එහෙත් අපේ තාත්තා කොට්ටඋර දුසිම් භාගයක්ම මිළ දී ගත්තේ අසරණ කලාකාරයෙකුට සරණක් ලෙසට ය.


ඔහු තබ්ලා වාදකයෙකි. අප නිවසේ තබ්ලාවක් තිබුණෙන් තාත්තාගේ නියමයෙන් එය වැයීමට ඔහුට දුනිමු. වෙව්ලන දුබල ඇඟිලි නලවා ඔහු එය අපූරුවට වාදනය කර පෙන්වී ය.පෙර දා කීර්ති පැස්කුවෙල් ගී ගයනා විට එයට තබ්ලා නාදය මුසු කලෝ මොවුහු ය. පැස්කුවෙල් මහතා මොහුට උදව් කළ ඇති මුත් මොහුට නැවත නැවත එතුමා හමුවීමට කොළඹට යෑම දුක්ෂකර කටයුත්තක් විය. තව කලාකරුවන් කීප දෙනෙක් සමඟ හැඳුනුම්කම් තිබූ මුත් මොහුට ඔවුන් තමා හමුවීමට එන්නැයි කීවිට යන්නට තරම් හයියක් මොනම අයුරකින් හෝ නොවීය. තම අසනීපයෙන් ඇඳට වී හුන් බිරිය රැක ගැනීමට අන් පිළිසරණක් නැති මොහු කොට්ට උර මසා විකුණා ඇගේ අසනීපය වෙනුවෙන් වියදම් කරන්නේ ය.


මොහු අන් පිළිසරණක් නොමැත්තෙක් වන්නේ ඔහුට දූවරු දෙදෙනෙක් සිටිය දී ය. දූවරුන් දීගතල ගොසිනි. සැමියන් ඔවුන්ට දෙමාපියන් බැලීමට තහංචි පනවා ඇත. කන බත ගුලි උගුරේ හිර වී දියණියන් විස්සෝප වන්නේ දෙමාපියන්ගේ බඩගින්න ඔවුන්ට නොදැනී නොවේ. එහෙත් එය ද තවත් දුක්බර කතාවකි.


මේ කතා සියල්ල ඔහු, අප හමු වූ මුල් දින කී පසු ඔහු ගැන දැඩි කණගාටුවක් අප තුළ විය. ඔහුට යම් ලෙසිකින් උදව් කිරීමට හැකිවීම ගැන සතුටු වීමු. එය එසේ තිබියදී ටික දවසකට පසු නැවත ඔහු පැමිණියේ ය. ඒ කොට්ට උර නොමැතිව ය. එදා අත් පත්‍රිකා බෙදීමට අප ප්‍රදේශයේ ගුරුවරයෙක් ඔහුට නියම කර ඇති බැවින් ඔහු හමු වීමට ගොස් හමු නොවුණු තැන අප නිවසට ගොඩ වී එදා වේල පිරිමසා ගැනීමට යම් මුදලක් ඉල්ලී ය. පියා සුළු මුදලක් ඔහුට දුන්නේ ය.


මෙසේ කලක් තිස්සේ අප ගෙදරට එන්න යන්නට පුරුදු වූ ඔහුට අප නිවසෙන් සුළු මුදලක් සමඟ තේ වතුර කෝප්පයක් ද ලැබුණි. ඒ ඔහු ගේ ඉතා හීන්දෑරි වියපත් කෙසඟ සිරුර ඉතා විඩාබර ස්වරූපයක අපට නොසලකා නොහැරිය හැකි වූ නිසා ය. යම් විටක ක්‍රීම් ක්‍රැකර් කීපයක්ද ගෙන යෑමට දුනිමු. තවත් දවසක උදේ සිට බත් නොකෑ බව කී විට බත් පැකැට්ටුවක්ද ඔතා දුනිමු. ඔහු ඒ දෙන දේ තම ලෙඩින් උන් බිරිඳ සමඟ බෙදා කන බව නැවත එන දිනයේ දී පවසන්නේ ය. ඒ කෙසේ වුවත් මොහුගේ මේ නොනැවතෙන ඒම අප පවුලේ ප්‍රධාන ගැටළුවක් වී තිබුණේ ය. එහෙත් සුළු මුදලක් දී ඔහුව හරවා යැවීමේ මට්ටමක අපි සිටිමු.


එසේ කලක් ගිය තැන ඔහුගේ බිරිඳ ඉතා අසාධ්‍ය තත්වයේ යැයි කියා ලොකු මුදලක් බලාපොරොත්තුවෙන් ආ දා ඔහුගේ පැමිණීම අපට රුචි නොවීමු. 'ඇයි දැන් අපි විතරද මෙයාට සල්ලි දෙන්න ඕන.. තව ගෙවල් ටිකකට ගියානම් අපෙන් මේ ගන්න ගානම පොඩ්ඩ පොඩ්ඩම එකතු කරගතෑකි නේ'
එහෙත් නොදී බැරිම තැන ඉල්ලූ ගණනින් අඩක් අඩු කොට දුනිමු. එහෙත් ඔහු ඉල්ලූ රුපියල් පන්සීයක මුදලම දෙන්නේ නම් එය වෙලාවේ හැටියට ලොකු උදව්වක් බව ඔහු පැවසීය. එදා නම් අපේ අම්මාට ඔහු සමඟ නුරුස්සම වැඩි විය. තාත්තා ඔහු ඉල්ලූ ගණනින් අඬක් දී ඔහු පිටත් කර හැරියේ ය.


දැන්නම් මොහුගේ ඒම නො එන තැනට වැඩ කිරීමට කවුරුත් කතිකා කොට ගත් හ. ඔහු දෘ‍ෂ්‍යමානයේදී අපි අතුරුදහන් වෙමු. සල්ලි නොදී හරවා යවන්නෙමු. ටික කලක් මෙසේ හැසිරීම් සිදු වූයෙන් ඔහුගේ පැමිණීම නතරව විය.


මාස ගණනකට පසු නැවතත් ඔහු අප නිවසට එනු දුටු අප විමසිලිමත් විය.. ඔහුගේ මූණෙහි වඩා දුක්බර සෙයකි. ඔහු පෙරට වඩා රෝගී වී ඇති බව පෙනිනි. ඔහුම කතාව පටන් ගත්තෙන්, අපි අසා සිටිමු. ඔහුගේ බිරිඳ සතියකට පෙර මිය ගොසින් ය. මිය යාමට පෙර ඉතාමත් අසාධ්‍ය තත්වයේ හුන් ඇයට, ඇගේ දුවණිවරුන්ගෙන් වතුර උගුරක් කටට දමා ගැනීමට අවස්ථාවක් විවාහක පිරිමින් දෙදෙනා ලබා දී නොමැත. අවසන, තමාට අන්පිළිසරණක් අනිවාර්ය ලෙසකින් නොමැති හෙයින් තමාගේ පිළිසරණ තමාම බව අවබෝධ කරවමින් ඕ තොමෝ එක් දුකක් කෙළවර කරගත්තා ය.


එහෙත් ඔහු, තවම දුක කර ගසාගෙන යයි. ඔහුගේ සිරුර බෙහෙවින් අබලන් තත්වයක ය. ඔහු මුමුණා පවසන දෙයින් කියන්නේ ඔහුට වකුගඩු රෝගයක් මෙන්ම හතිය ද ඇති බව ය. එබැවින් නැවත ඔහු දුබල සිරුරත් රැගෙන තවමත් අප පිහිට පතා පැමිණේ.


අපි ඔහුට 'සස්ටජන්' නාමය ප්‍රදානය කලේ මෙ කල ය. දිනක් ඔහු, වෛද්‍ය නියමයෙන් සස්ටජන් (SUSTAGEN) ටින් එකක් මිළදී ගැනීමට මුදල් ඉල්ලාගෙන පැමිණියේ ය. අපේ අත්තම්මාටත් සස්ටජන් පානය ලබා දෙන බැවින් අත්තම්මාගේ සස්ටජන් ටින් එක ඔහුට ලබා දුන්නේ එහි ඔහුට සෑහෙන්න කිරිපිටි ප්‍රමාණයක් ඉතිරිව තිබූ බැවිනි. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ අලුතින් ටින් එකක්ම ගැනීමට මුදල් අවශ්‍ය බව පවසමිනි. සස්ටජන් ටින් එකක් එකල රු.960 විය. එතරම් මුදලක් ඔහු අපෙන් ගන්නවාට වඩා හතරෙන් එකකටත් වඩා වැඩියෙන් කිරිපිටි තිබූ ඒ සස්ටජන් ටින් එක අරගෙන යෑම තැනේ හැටියට අවශ්‍ය බව ඔහුට නොතේරුනේ ඔහුගේ අවාසනාවට ය. ඉදින් ඔහු හිස් අතින්ම නික්ම ගියේ ය.


මේ අතර අපේ ගෙදර 'සස්ටජන්' සහ 'සස්ටජන්ලා' ගැන වට මේස සාකච්ඡාවක් පැවැත්විණි. ඒ වන විට අපේ ගෙදරටම මෙවැනිම අබ්බැහි වූවන් පිරිසක් ඉන්නා අතර ඔවුන් සස්ටජන් තරම් දරුණු ගණයේ අය නොවීය. දෙන දෙයක් අරගෙන යන අය විය. ඒ අතර 'පාකින්සන්' නැමැත්තෙක්ද වේ. ඔහුගැන කීමට වෙනම කතාවක් ඇත. ඔහු අපේ තාත්තාගේ මඟුල් ඇඳුම මැසූ ටේලර් ය. දැන් ඔහු පාකින්සන් රෝගයට ගොදුරු වුණු අසරණයෙකි. ඔහු අප නිවසට පැමිණි මුල් දින මම බෙහෙවින් ඔහු ගැන දුක් වුණෙමි. පාකින්සන් රෝගයේදී රෝගියාට තම අත් පා පාලනය කර ගත නොහැකිය. අත් පා එහෙ මෙහෙ විසි වේ. කකුල තිබිය යුතු තැන නොතැබේ. ඔහුට දිනකට රු.60 ක පමණ මුදලක් බෙහෙත් සඳහා වියදම් වේ යැයි කියයි. දිනපතා නො එතත් දවසින් දවස ගෙයින් ගෙට ගොස් අප නිවසට එන දා ඔහු පැමිණි විට රු.40ක්  හෝ 60ක් දීම එතරම් අයහපත් නොවන බව අපේ අදහස විය. ඔහු කීයක් දුන්නත් එය රැගෙන යයි. ඒත් සස්ටජන් එසේ නොවේ. සස්ටජන් පැමිණෙන්නේ අප නිවසටම ය. දෙන දේ භාරගෙන යන්නේද නැත. ඇයි මොහු අපටම කරදර කරන්නට අප නිවසටම පැමිණේන්නේ? එයට ඉතා සරල පිළිතුරක් අපේ අම්මාට විය.

'මුලදිම වරද්ද ගත්තනේ.. '
කතාව ඇත්ත ය. අපේ තාත්තා, 'අසරණ කලාකරුවෙකුට යන කල' ගැන අනුකම්පාවෙන් ඔහුට අත දීමට ගොස් අත හපා-කා ගන්නට දුන් සැටියකි. අම්මා එසේ කීවත් තාත්තාගේ අදහස වෙනකකි.

'පාරෙ මඩ ගොඩක එක පුංචි තැනක් තියනව නම් කකුල තියල යන්න පුළුවන්.., අන්න එතනට තමයි හැමෝම කකුල තිය තිය යන්නෙ.. අපිටත් වෙලා තියෙන්නෙ ඒකමයි.'

තාත්තාගේ කතාව ද සැබෑවකි. අන් නිවැසියෝය, අපේ අම්මා කියන ලෙසට මුලදිම යම් ප්‍රමාණයට ඔවුන් හසුරුවා ගත් අය වූ‍යෙන් ඔවුන්ට වැඩි කරදරයක් විදීමට සිදු නොවුනි. එසේනම් ඔවුන් තාත්තාගේ කතාවට අනුව මඩ ගොඩවල් විය යුතු බව මාගේ අදහස වුණි. අපි, මඩෙන් නිදහස්, සැමටම පය ගසා යා හැකි තැනක සිටියා වුවත්, සස්ටජන්ලාගෙන් එල්ලවන පය තැබීම් හමුවේ දැඩි ලෙස තැලී පොඩිවී සිටින්නෙමු. දැන් තාත්තාගේ සීමාවද ඉක්ම ගොස් ය. එහෙත් සස්ටජන්ගේ බෙහෙත් තුන්ඩු දික් කිරීම් වලට නොසලකා හැරීමද යුතු නොවන තැන ඔහු ද සුළු මුදලක් දික් කරයි. සස්ටජන්නොයෙක් වර කියන්නේ නැවත අපට කරදර කිරීමට නොපැමිණෙන බවයි. නමුත් බොහෝ කාලයකට පසු නැවත පැමිණ වෙව්ලන දුබල දෙ අතින් පවසන්නේ තමන්ට වැඩි දුර ඇවිදීමට නොහැකි බැවින් එකම තැනකින් මුදල් ඉල්ලා යෑමට පැමිණෙන නිසා එයට ඔහුට සමාව දෙන්නට ය කියා ය.


කාරණා කෙසේ වුවත් තවමත් ඔහු අප නිවසට පැමිණේ. අපද ඔහුට සුළු මුදලක් දී පිටත් කර හරියි. ඒ අතරට ඔහු අපට නුරුස්සන මුදල් නොඉල්ලන්නේද නොවේ. එවිට අපද ඔහු නුරුස්සන මුදලක් දී හරවා පිටත් කරගනියි.


ලෝ දහම මෙයයි. කෙනෙකු මෙය සමාජ විද්‍යාත්මක දෘෂ්ටියෙන්, සමාජවාදී දෘෂ්ටියෙන්, දේශපාලන දෘෂ්ටියෙන් හෝ මනෝවිද්‍යාත්මක දෘෂ්ටි ආදී නානාවිධ දෘෂ්ටීන්ගෙන් බලා අන් අයට ඇඟිලි දික් කර හෝ ඇඟිලි උලුක් කර ඔවුන්ගේ වැරැද්දෙන් මෙය වූවා යැයි චෝදනා කළ හැකි වුවත් බුදු දහමට අනුව මෙය පුද්ගල විෂයෙහි පුද්ගල සිත සමඟ ගොඩ නැඟෙන වරදකි. මෙවැනි පුද්ගලයන් මේ සමාජයේ අතීතයේ, වර්තමානයේ මෙන්ම අනාගතයේ ද සිටී. අප දීම ගැන සතුටු වනවා සේම දී, ඒ ගැන පසුවිපරම් කිරීම් අනවශ්‍ය ය. එහෙත් දෙන්නේ කාටදැයි බලා ඒ අනුව දානය කරනවා නම් එයින් දෙගොල්ලන්ටම යහපතක් සලසා ගත හැකි ය.

Monday, November 22, 2010

මිතුරු එකතු


මට මෙහෙම හිතෙනවා. අපි හැදුණු පරිසරයෙ ඉන්න අය එක්ක අපි ඉන්නෙ සාම්ප්‍රදායිකව. අපිට ඒ අයව ඕන හිතවතුන් විදියට. ඒත් අපේ සිතුම් පැතුම්  සමඟ හාවෙන හිතවතුන් ඇසුරු කරන්නට ලැබෙන්නෙ බොහෝ දුරට මේ කිව්ව හැදුණු පරිසරයෙන් එපිටින්.  අපි හිතන විදියට හිතන, අපි කරන දේවල් ඇඟයීමට තරම් රසයක් දන්න අය මේ කියන එපිට පරිසරයෙන් තමයි සැබැවින්ම හොයා ගන්න පුළුවන් වෙන්නෙ. ඒත් ඒ පරිසරය, නානාප්‍රකාර විදියෙන් සමාජගත වෙලා තියෙන්න පුළුවන් නමුත් ඒ සමාජ ඇසුර ගැන වැඩිහිටි ආකල්පයන් විවිධ හැඩරූ ගැනීමේ හැකියාව ගොඩක්ම වැඩියි. ඒත් ඒ වැඩිහිටි මතය යටටම වෙලා ඉන්න පිරිසක් අපට හොයා ගන්න බැරි කලෙක සම්ප්‍රදායික බැමි කඩාගෙන අර කිව් මිතුරු හවුල් කරා යන ප්‍රවණතාවය දැන් නව ආරකින් නම් බෙහෙවින්ම වැඩි වෙලා තියනවා. 

කොහොම උනත්, මට මේක ලියන්න හිතුණෙ නම් කාලයක් තිස්සෙ මේ ගැන මට හෙමි හෙමින් දැනුණු නිසා. මට මේ කියන සාම්ප්‍රදායික පරිසරය තුළ, මගේ ගොඩට වැටෙන්නට හිටියෙ අපේ ගෙදර අය විතරයි. අපි අපේ හැඟීම් දැනීම් තේරුම් ගත් අය වීම නිසා ඒක අපේ හිතවත්කම  තර කර ගන්න ගොඩක්ම හේතු උනා. ඒත් සමවයස් කණ්ඩායම් එක්ක එකතු වීමේදී එහෙම සම අදහස් බෙදාගෙන රස විදින්න තරම් මිතුරු කැළක් නොලැබීම ගැන මට නම් ඇත්තේ සතුටක් නම් නොවේ.
ඉතින් මේ කිව්ව වගේ මිතුරු සමාජ තියන එකේ වැදගත්කම එයයි. එය අනිවාර්යෙන්ම පුද්ගලයෙක් තුළ තියන රසවත් කම් බෙදා ගන්න තියන තෝතැන්නක් වගේම තම නිමැවුම් හැකිකම්, දැනූම් ලබා ගැනීම් නිරායාසයෙන්ම සිදුවන තැනක්. ඒත් ඉතින් මේ රසවත් මිතුරු එකතුව මනා සේ හසුරුව ගන්න බැරිවීම ගැන නම් වග කියන්න වෙන්නෙත් තම තමන්ටම තමයි. මේ, අපේ සමාජයේ අතීතයේ සිටම ලොකු පොඩි ප්‍රමාණයෙන් තියෙන දෙයක් උනත් කිසිවෙක් ඒ ගැන වැඩි තැකීමක් නොකරන කාරණයක්.  

මේ ගැන ලිපිය ලියල අහවර කරන්න මාන බලමින් උන්නු මට හරි අපූරු වැඩක් වුණා. ඒකත් හරිම අපූරු විදියට.. පුරාණ යක්ක, ආර්ය කතාවක් ගැන, වැඩිමල් සොහොයුරෙක් සමඟ ඇති කර ගත් කතාවේ අවසන, ඔහුගේ කියුමකට සිත් අමනාප කමක් ඇති කරගෙන ඔහු සමඟ නොදොඩා පලා ගිය මා හා නැවත මිතුරු වීමට ඔහු ගත් අපූරු තැත මේ ලිපිය දිගු වීමට නම් අනිවාර්ය හේතුවක් වුණා. සැබැවින්ම එය හරිම සුන්දර උත්සාහයක්!

පසු දින ඔහු දුටු මම, අමනාපය දිගු නැති බව පෙන්වන්නට ඔහු සමඟ කතා කළා. ඒත් පෙර ලෙස මාගේ කතාවේ පුරුදු ස්වරය නොතිබුණු නිසාදෝ, ඔහු විටින් විට ඇසූවේ තවම ඔහු සමඟ අමනාපයෙන්දැයි යනුවෙන්. මම එසේ නොවන බව කිව්වත් ඔහුට එය හරි නැත... 

"එහෙම නම් අපි ගිහිල්ලා දේදුන්න කෙළවර තැන ඉන්න ලස්සන සුරංගනාවි ගුහාවේ හංඟපු දියමන්ති කළය හොයමු..?
හරී..  

හැබැයි එතැන්ට යන්න කළින් වයස් ගත අඟුටු මිටි පඬි තුමා අහන ප්‍රශ්ණ තුනට හරියට උත්තරේ දෙන්න ඕන..උත්තර වැරදුණොත් එතුමා මැජික් බලෙන් එන අයව ගල් කරනවා..

හිහි.. හා

අඟුටු මිටි පඬිතුමා ඉන්නේ උස කන්දක් මුදුනේ..එතනට යන්නත් හරිම අමාරුයි...දිලිසෙන මුවා පස්සෙන් දුවන්න ඕන..එහෙම දුවන්න නම් විලෝ ගහේ බෙණයේ තියෙන ධාවක පානය ටිකක් අපි දෙන්නත් බොන්න වෙනවා..

බොමු.. ඒත් ඒව මත් වෙන ජාතියක් නෙවෙයි නෙ?? 

නෑ..ඒවා හදලා තියෙන්නේ ගිම්හාන කාලෙට තමන්ගේ පෙම්වතා නැතිවීමේ දුකට අඬන ෆීනික්ස් කිරිල්ලියන්ගේ කඳුළු වලින්

ඉතින්?

ඉතින් දැන් පඬිතුමාගේ ප්‍රශ්ණවලට හරියට උත්තර දුන්නොත් එතුමා ගල් දොරටුව ඇරලා දෙනවා යන්න කියලා ඇතුළට..

ම්ම්

හරි

ගල් දොරටුව වැටෙන්නේ උමඟකට..ඔය උමඟේ ඉන්නවා ඔළු හතරක් තියෙන රාස්සියක්..
රාස්සිගෙන් කාටවත් බේරිල්ලක් නෑ...හැබැයි රාස්සිගේ එක දුර්වල කමක් තියෙනවා..එයාට "සුරංගනාවියො" ගැන කියන සින්දු ගෑණු ලමයෙක්ගේ කට හඬින් ඇහුවොත් නින්ද යනවා ඉක්මණින්

හිහි

ඒ නිසා එයාට නොපෙනෙන්න ඉඳගෙන අපි දෙන්නා සිංදු කියන්න ඕන

හරී.. කියමු

සිංදුත් කිව්වයි කියමුකෝ ඊට පස්සේ එයාට නින්ද ගියාට පස්සේ තමයි අමාරුම කොටස තියෙන්නේ එයාගේ මායා කැඳ එක හදන හැන්ද අපි ගන්න වෙනවා..මොකද ඉස්සරහට ඒකෙන් කරන්න වැඩක් තියෙනවා ඔය ගමනෙදි...

හිහි.. නියමයි!! මාත් එකපයින්!


ඒක ගන්න එක මම කරන්නම්...හැබැයි එයා ළඟ ඉන්න කටකාර මීයාව ඔයා අල්ලගෙන ඉන්න ඕන..නැත්නම් ඌ කෑ ගහලා මායාකාරිව ඇහැරවනවා..

හරී මම කරන්නම්


දැන් එතනිනුත් පැන්නා කියමුකෝ...ඊට පස්සේ ගුහාව කෙළවර තියෙන්නේ වළාකුළ් වලින් වැහුණු ගැඹුරු ආගාධයක්..එතැනින් එහා ඈත පේනවා කඳු ගැටයක මුදුනක්..ඕතෙන්ට යන පාලමක් තියෙනවා..දිරපු එකක්..ඔයා බිම බලන්නේ නැතුව ඉන්න ඕන..බිම බලන්න පුළුවන් පිරිමි ළමයෙකුට විතරයි..ඒක ඒ තරම් ගැඹුරුයි..

මම කොහොමත් උස තැන් වලට බයයි

පාලමෙන් ගොඩ උනා කියමුකෝ..ඔතැන්දි එනවා නිදි ආතාගේ රටට..නිදි ආතා ඇහැරවලා එයාගෙන් පාර අහන්න ඕන..මොකද එතැන පාරවල් දෙකක්..එකකින් යන්නේ සර්ප විමානෙට..අපි හරි පාර අහ ගන්න ඕන...
නිදි ආතා ඇහැරවන එක අන්තිම අමාරු වැඩක්...ඒකට එයාගේ කණට අලියෙක් ලවා සද්ද කරවන්න ඕන..අලියෙකුත් ඉන්නවා ඒ ළඟම ඌ කැමති කරව ගන්න නම් වැඩේට ඌට මී පැණි එක්ක උගේ ළඟ තියෙන අල්ලන්න බැරි බෙහෙතක් කවලම් කරලා දෙන්න ඕන..හැන්ද ඕන ඒකට තමයි..

හරිම අමාරු වැඩක්

දැන් ඉතින් ආතාව ඇහරවෙගෙන පාරත් අහගත්තයි කියමුකෝ..
අර අලියා අපිව ගී කියන ගස් තියෙන කැලේ මායිමට යන කල් ගෙනිහින් බස්සයි..

හරි

ඕතෙන්දි අපි කූඹින්ගෙන් මැලියම් ඉල්ලගෙන කන් වල උලා ගන්න ඕන..නැත්නම් ඒ ගී කියන ගස් වල සද්දෙට අපේ කන් පැලෙනවා...

හ්ම්ම් 

ඒකට කූඹින්ගේ රජ්ජුරුවන්ට තෑග්ගක් දෙන්න ඕන අමතක නොවෙන..අපි එයාට සෙංකෝළයක් හැටියට පාව්ච්චි කරන්න ඔයාගේ රත්තරන් කොණ්ඩ කටුවක් දෙමු..

හරි.. මම කැමතී   :)

කූඹින්ගේ මැලියම් කණේ උලාගෙන ගී කියන ගස් තියෙන කැලේ මැදින් ගිය ගමන් හම්බ වෙනාවා විශාල විලක්..
ඕකෙන් එතෙර වෙන්න බෑ..ඒකට යෝධ උකුස්සාගේ දෙපයේ එල්ලිලා යන්න ඕන..ඌට ඒ හැටි වැටහීමක් නෑ කවුරු හරි එල්ලුණත්..නමුත් ඌ විදුලි වේගෙන් ඒ ළඟ තියෙන ගහක අත්ත උඩින් ඉගිලෙන කොටම අපි එල්ලෙන්න ඕන..බැරි උණොත් ඌ ආයේ එන්නේ අවුරුදු සීයකින්..අවුරුදු සීයක් යනතුරු අපිව එතනම පිළිම බවට පත් වෙනවා..

ඕහ් 
එහෙනම් එක සැරෙන්ම යමු..

ඔව්..ඒක කර ගත්තොත් අපිව ඌ අහසින් අරන් යයි..ඒත් සීතල සුළං කොච්චර වැදුණත් "අනේ මට සීතලයි" කියලා කීම තහනම්..මොකද කථා කළොත් උකුස්සාට ඇහිලා අපිව වතුරට අත අරිනවා..ඒක නිසා වෙව්ල වෙව්ල හරි කට පියාගෙන යන්න ඕන..

ඉබ්බ වරද්ද ගත්තු තැන

අනිත් පැත්තේ තියෙන ලස්සන දිය ඇල්ල පාමුල තමයි දේදුන්නේ කෙළවර තියෙන්නේ...ලස්සන සුරංගනාවිගේ පළතුරු වත්ත මැදට තමයි උස දිය ඇල්ල වැටෙන්නේ...
හැබැයි ඒකත් ගැටළුවක් තියෙන තැනක්..
පිරිමි ළමයෙක්ට ඒ සුරංගනාවි එක්ක කථා කරන්න බෑ..මොකද පිරිමි ළමයෙක් එයාගේ මූණ දිහා බැලුවොත් වශී වෙලා එයා ආපු කාරණේ අමතක වෙනවා..සුරංගනාවි එක්ක කථා කරන්න පුළුවන් ගෑණු ළමයට විතරයි...

හරි මම කතා කරන්නම්

හරි දැන් ඔය සුරංගනාවි අහවි ඔයාගෙන් "මේ ලෝකෙ වැඩියෙන්ම ලස්සන කොණ්ඩේ තියෙන්නෙ කාටද කියලා

එතකොට?

ඔයා කියන්න ඕන "මගේ කොණ්ඩේ තමයි වැඩියෙන්ම ලස්සන" කියලා.."වැඩියෙන්ම ලස්සන කොණ්ඩේ ඔයාගේ කිව්වොත් ගෑණු ළමයෙක් කවදාවත් එහෙම දෙයක් අවංකව වෙන ගෑණු ළමයෙකුට කියන්නෙ නෑ" කියන එක දන්න නිසා සුරංගනාවි ඔයාව කුරුල්ලෙක් කරයි

හිහි 

ආයෙත් සුරංගනාවි අහයි.."මේ ලෝකෙ වැඩියෙන්ම බර උස්සන් ඉන්නේ කවුද?" කියලා..ඔයා කියන්න ඕන "තාත්තා" කියලා..

හරි 

තුන් වෙනි වතාවට සුරංගනාවි අහවි.."මේ ලොකෙ සම්පූර්ණයෙන්ම අනුන් වෙනුවෙන් කැප වුනු එකම එක්කෙනා කවුද? කියලා"..ඔයා කියන්න ඕන "අම්මා" කියලා

ඇත්ත නේන්නං! 

සුරංගනාවි කිව්ව තමයි ඕනම දෙයක් ගන්න කියලා..හැබැයි මතක තියා ගන්න..එයා එළියේ ඉඳන් බලන් ඉන්නේ..එයාට ඔයාව පේනවා..තමන් ගන්න ආවේ නැති, තමන් නො ඉල්ලපු, තමන්ට අයිති නැති කිසිම දේකට අත නොතියා එතෙන්ට ළමයෙක් ගියොත් ඒ මල නටුවෙන් නැමිලා කළය ඔයාගේ දෝතින් තියනවා..හැබැයි එතනට යන පාර දෙපැත්තේ තියන මොනවාම හරි දෙයක් කොච්චර ආස හිතුණත් ඇල්ලුවොත් ඒ මොහොතේම ඔයත් එතන තියෙන වටිනා භාණ්ඩයක් බවට පත්වෙනවා..ඔය කාමරේ පිරිලා තියෙන අනිත් දේවල් ඔයාට පෙර එහෙම ආපු රජවරු, රැජිණියෝ

හරි මම අයිති නැති දේවල් ගන්නෙ නෑ 

එහෙනම් මල ඔයාට නැමිලා කළය දෝතට දෙයි..ඒක ගත්ත ගමන් සුරංගනාවි අත්පුඩි ගහයි දියමන්ති කළයේ අයිතිකාරි ආවා කියලා..ඊට පස්සේ එයා සුදු පාට, ඝණ දිග තටු තියෙන අශ්වයෙක්ව ගෙන්නලා දෙයි අපිට ආපහු ගෙදර යන්න..මම ඒත් සුරංගනාවි දිහා බලන්නේ නෑ..ඔයා ඕන මාවත් අස්සයා පිටේ නග්ගගෙන සුරංගනාවිටත් අත වනාගෙන යන්න..අස්සයාගේ කණට කරලා "ලස්සන සුදු අස්සයෝ..මාව ගෙදර ඇරලන්කෝ" කියලා තුන් පාරක් කිව්වම ඌ ඉගිලෙන්න පටන් ගන්නවා..ආයෙ නවතින්නේ අපි ගමන පටන් ගත්තු තැන..හැබැයි එතනින් බැස්සම අස්සයටත් දෙන්න කැරට් අලයක් ගමනට ගෙනියන්න අමතක කරන්න එපා..

අපේ ගෙදරට අම්ම ගෙනාව සුප් හදන්න රස කැරට් අලයක්.. මම ඒක ගේන්නම්..

එහෙනම් ගමන සම්පූර්ණයි..!" 

...මින් පෙරත් අප දෙදෙනා ළමා කතා ගැන අදහස් හුවමාරු කරගත් අය නිසාවෙන්ම මා සතුටු කිරීමට ඔහු ගත් උපායද ළමාකතාන්දරයක්. එය සැබැවින්ම රසවත් ය.. මගේ සිතේ අමනාපයක් මෙයට පෙර තිබුණා හෝ නොතිබුණා, මේ කතාන්දරයෙන් පසු මගේ සිත බෙහෙවින් ප්‍රමෝදමත් වුණා. ඒ කොපමණදැයි කිව්වොත් මම එදින නින්දට ගියේද ඒ සුරංගනා කතාවෙන් හිත පුරෝගත් මටසිළුටු ආස්වාදයකින් යුතුවයි. එය හීනෙන් පේන තරමට සැයකුත් මගේ හිතේ සතුට අතරෙ හැංගිලා හිනා වුණා.

මේ ගැන මසිතින් මෙලෙස අකුරට පැන්න තැනදී ඒ ගැන කතා කරන්න සිටි  මිතුරා වූයේත් ඔහුයි. ඉදින් මම ඔහුට මේ ගැන කිවූ තැන ඔහු, මෙයට අපූරු වූ අරුත් පිරවීමක් එක් කළා.  ඔහුගේ වදනින්ම එය ලියැවී තිබුණේ මෙලෙසිනි.

"සම්ප්‍රදාය, විශේෂයෙන්ම සිංහල වැනි ප්‍රතාපවත් ජන කොට්ඨාශයක් වෙත උරුම වූ සම්ප්‍රදායක් වෙතොත් එය, අනිවාර්යෙන්ම ආරක්ෂා කළ යුතුය..එයට යම් වෙනසක් සිදු කරතොත්, ඒ කළ යුත්තේ එහි දැවැන්ත මුල් කිසිවකට හානියක් නොවන පරිද්දෙන්ය..එසේ වූ සම්ප්‍රදාය හා ඒ ඔස්සේ ගොඩ නැඟෙන සංස්කෘතිය තුළ යමෙකු තබා ඇත්තේ, මේ ලිපියට පාදක වූ මුතුහරිණි නැඟණිය විසින් සම්පාදිත "මිතුරු එකතු" ලිපියේ ඇති පරිදි, අපගේ සමීපතමයන්, අපගේ "ඇතුලත් වෘත්තය" තුළ ජීවත් වන්නෝමය..
නමුත්, අප ජාතියක් ලෙස මහා සංස්කෘතියකට හා ප්‍රාදේශික වසයෙන්, පවුල් වශයෙන්, පසුබිම් වශයෙන් උප සංස්කෘතීන්ට හසුවී සිටින්නා වුවද, අපේ සිතුවිලි, එහෙම නැතිනම් සෑම මොහොතකම හිතට දැනෙන දේ පෙළක් ලෙස සැකසුවොත්, ඒ සිතුවිලි චිත්‍රපටියක රූප රාමු ලෙස සැකසුවොත්, එතැනම, අපි එකිනෙකාට සීමාවූ, වෙනම පුද්ගලික සංස්කෘතියක් හැදෙනවා...අපේම "පුංචි" සංස්කෘති පොඩ්ඩක් හැදෙනවා..බුදුරජාණන් වහන්සේ "නානත්ථ කායා..නානන්ථ සංඤා" ලෙස දෙසා වදාළ සේම ඒ, ඒ "පැටි සංස්කෘතීන්", ඒවා බිහිවන කායේ සංඥා අනුව වෙනස් වෙනවා...අන් අයගේ "පැටි සංස්කෘතීන්ට" කැමති, අකමැති කම් ඇති වෙන්නේත් ඒ ඔස්සේමයි...උදාහරණයක් කිව්වොත්, මගේ චරිතයේ ඇළුණු ඒ මගේ පුද්ගලික සංස්කෘතිය දැක්කොත් "ඒක හරිම ලස්සනයි" කියන අය වගේම "මොකෙක්ද උඹ?" කියන අයත් ඉන්න පුළුවන්..

ගතින් මහා සම්ප්‍රදාය රැක්කත්, සිතින් එහි උත්තුංග ලක්ෂණ අගය කරත්, එයිනුත් ඔබ්බට, ඔබ සිර ගත වෙලා ඉන්න ඒ සාම්ප්‍රදායික ඇවතුම් පරිශ්‍රයෙනුත් ඔබ්බට, සිතුවිලි වලට පුපුරා විසිරී යන්න ඉඩ දෙන එකේ වරදක් නෑ..ඇතැම් විට ඔබේ සිතුම් පැතුම් වලට, ඔබේ ඒ පැටි සංස්කෘතියට ගැළපෙන රූප රාමු, එවැනි කථා, එවැනි ජන කථා, එවැනි ඇවතුම්, එවැනි පසුබිම් සැබවින්ම තියෙන්නේ ඔබේ රටෙනුත් ඔබ්බේ වෙන්න පුළුවන්..

එතෙන්දි මම, මේ ලිපියට පාදක උනු මුතුහරිණියගේ ලිපියේ ඇති "මිතුරු එකතු" යන වචනයට, (එතුමියගේ අවසරය ලැබෙයි කියලා හිතෙනවා මේකට ) වඩා පුළුල් අර්ථ නිරූපණයක් කරන්න කැමතියි..මිතුරු එකතු විය යුත්තේ කථා බස් කළ හැකි ජීවමාන, සම වයස් ඛාණ්ඩිත මිතුරන් පමණක් නොවේ...ඔබේ ඒ පැටි සංස්කෘතික සිතුවිලි පෙළට සමපාත වන සිතුවිලි ඇති, අද ජීවතුන් අතර නො ඉන්න අය ඉන්න පුළුවන්..මහා ලේඛකයන්, ගත් කතුවරුන්, ඒ අය අතරේ ඉන්න පුළුවන්..ඔබේ සිතුවිලි පෙළ ඒ මීට වසර ගණනාවකට පෙර මිය පරළොව ගිය ගත් කතුවරුන්, බුද්ධිමතුන් හා අද ඉන්නා ඔබේ ජීවමාන මිතුරු, මිතුරියන්ට වඩා සියට අනූවක්ම සමපාත වෙන්නත් පුළුවන්...

උදාහරණයක් ලෙස පොඩි දරුවන්ගේ විචිත්‍ර වූ, අමරණීය, අරුම පුදුම ලෝකයේ සිතුවිලි, සිතේ නිතරම ජනිත වෙන කෙනෙකුට අපේ රටේ මාර්ටින් වික්‍රමසිංහ, කුමාරතුංග මුණිදාස ශූරීන්, අලවු ඉසි සැබිහෙළයන් වගේම, අපේ දූපතෙන් ඔබ්බේ සිටින, ජේකබ් ග්‍රීම්, විල් හෙල්ම් ග්‍රීම් හෙවත් අප දන්නා "ග්‍රීම් සහෝදරයන්", හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්, එනිඩ් බ්ලයිටන්, ජොඈන් කැත්ලීන් රෝව්ලින්, ඇලෙක්සැන්ඩර් ඇෆානසෙයෙව් ( "ලස්සන වසිලිස්සා" කතුවරයා ), ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, ආර්නි තොම්සන්, මාර්ක් ට්වේන්, ඉන්දියාවේ ආර්.කේ.නාරයන් වැනි ශ්‍රේෂ්ඨ ළමා කථා සාහිත්‍ය කුළුණු සමඟ දේශ සීමාවන් පැනලා, ශබ්දයේ වේගයට වඩා වේගයෙන් ගිහින් එකතු වෙන්න පුළුවන්..ඒ අය දැන් ජීවතුන් අතර නැතත්, ඒ අයගේ සිතිවිලි හෙවත් එයාලාගේ පැටි සංස්කෘතීන් විසින් බිහි කරපු ඒ සාහිත්‍ය කියලා අද අපි කියන සිතිවිලි පෙළ පොත් සාප්පු වල, පුස්තකාල වල අදටත් ඕනෑ තරම් දකින්න තියෙනවා...
ඔබට ලස්සන වසිලිස්සා පොත එක්ක එන මායාකාරියෝ, ඇන්ඩ්‍රේ, වසිලිස්සා, බබායිගා මායාකාරිය, ග්‍රීම් සහෝදරයන්ගේ සිතිවිලි පෙළින් ඉපදුණු "හිම කුමාරි සහ අඟුටු මිට්ටන් සත් දෙනා", මාර්ක් ට්වේන් ගේ පුස්තක පුත්‍ර හක්ල්බරි ෆින්, ජේ.කේ.ආර් ගේ මනෝ පුත්‍ර හැරී පොටර්, මේ අයවළුන් සමඟ ඔබේ සිතිවිලි පෙළ සමපාත වේ නම්, ඔබේ පුංචි ලෝකය, ඔබේ පැටි සංස්කෘතිය සමපාත වේ නම් , ඒ ගත් කතුවරුන් ඔබේ මිතුරු එකතුව තමයි..ඒ අය ඔබට වසර ගණනාවකට පෙර ඉඳලා මියැදුණත්, ඒ අය ඔබව "තේරුම් ගත්, ඔබව වටහා ගත්" මිතුරු එකතුවේ ඇසුර ලැබිය යුත්තෝ තමයි...එඩ්ගාර් රයිස්බරෝස් (ටාසන් කතුවරයා) සමඟ මිතුරු ඇසුරක් පවත්වාගෙන ගහකින් ගහකට වැලක එල්ලිලා යන්නත් පුළුවන්..හියු ලොෆ්ටින්  මහත්තයාත් (දොස්තර හොඳ හිත - Doctor Dolittle කතුවරයා ) එක්ක මිතුරු උනොත් දොස්තර කෙනෙක් වෙලා සත්තුත් එක්ක කථා කරන රහසකුත් දැන ගන්න පුළුවන්..
අපි ජාතිවාදීන් උනත්, අපේ අර උපවිඤ්ඤාණිත අපි හැම කෙනෙකුටම ආවේණික වුණු, හැම කයක් ඇතුළේම හිරවී ඇති ඒ සිතුවිලි පෙළපතට, නැතිනම් පැටි සංස්කෘතියට ජාතිවාදයක් තබා දේශීය වාදයක් වත් සීමා මායිම් පැණවිය යුතු නෑ..( එහෙම සීමා බන්ධන දා ගන්න තරම් මෝඩයන් විය හැක්කේත් අපිටමයි )..ඒ සිතිවිලි පෙළ තේරුම් ගත්ත අය ඉන්න, ඒ සිතිවිලි පෙළට වසන්නට පුළුවන් පසුබිමක් සොයා ගෙන එය මහාද්වීපයෙන් මහාද්වීපයට බැරි නම් චක්‍රාවාටත් ඉක්මවා දිව්‍ය ලෝක වලටත් ගියාට වරදක් නෑ..
මේ අපේ අභ්‍යන්තර දරුවාගේ ළමා නොමැරෙන ළමා ලෝකය ගැන මම කිව්වේ එක උදාහරණයක් හැටියට විතරයි..ඒක එහෙම කිව්වොත්, මේ ලිපියේ පාදක ලිපිය ලියාපු කතුවරියගේ හිතට හොඳින්ම දැනෙයි කියලා මට හිතුණු නිසයි එහෙම ලිව්වේ..ඔබට වඩා ගැඹුරු වූ ඔබේ වැඩිහිටි පුද්ගලික සංස්කෘතිය සමපාත වන තැන් සොයා යා යුතු නම්, වික්‍රමසිංහයන්, සයිමන් නවගත්තේගමයන්, මඩවල එස් රත්නායකයන්, කවියෙන් මහගම සේකරයන්, මතු නොව උවමනා නම්, ඉනුත් ඔබ්බට කාලිදාසයන්, ගාම්භීර ලේඛණයෙන් චාර්ල්ස් ඩිකන්ස්, ජැක් ලන්ඩන්, විලියම් වර්ඩ්ස්වර්ත්, ෂේක්ස්පියර්, යථාවාදී ලේඛනයෙන් ඇන්ටන් චෙකෝෆ්, පියදෝර් දොස්ත්‍රොවොස්කි, ලියෝ ටෝල්ස්ටෝයි, භීභස්‍ය රසයෙන් බර්ට්‍රන්ඩ් රසල්, දේශපාලනයෙන් ව්‍යත්ස්‍ය, චානක්‍ය, කාර්ල් මාක්ස්, ඇඩම් ස්මිත්, ෆ්‍රෙඩ්‍රික් නයිට්ෂේ, සුන් සූ වැනි අය එක්ක උනත් මිතුරු ඇසුරක් පිහිටුවා ගන්න පුළුවන්..

මේ ඉහතින් සඳහන් කරපු කතුවරුන් අපිට ළං වෙන්න බැරි "පොරවල්" කර ගන්න එපා...එහෙම කර ගෙන ඒ අය අපිට දිරවන්නේ නැති, මහප්‍රාණ කියවාපු අය හැටියට ඈත් කර ගන්න එපා..මොකද ඒ අයගෙත්, සමාජයේ සෙසු අයගේත් වෙනස, ඒ අයට තමාට දැනුණු දේ, තමා නිරීක්ෂණය කළ දේ අන් අයට වඩා හොඳින් භාෂාව භාවිතා කරලා ලියා ගන්න ඇති හැකියාව විතරයි...ඔය පොත් පත් වල තියෙන වචන වලින්ම එලි දා ගන්න බැරි උනත් අපිටත් දැනෙන්නේ ඔය කතුවරුන්ට දැනුණු දේම තමයි විවිධ විදියට...මේ අය එක්ක අපේ කවුරු හරි කෙනෙක් මිතුරු ඇසුරක් සාදා ගන්න යනවා නම් අප අවට ඉන්න, ඒ ඇත්තන්ව වෙනම කුළකයට දාගෙන තමුන්ව ඊට බොහොම පහළින් තියාගෙන ඉන්න අය මෙන්න මෙහෙම දේ කියාවි මෙහෙම.."හපෝ ඔය මහප්‍රාණ අපිට තේරෙන්නේ නෑ..අපි මේ සරල මනුස්සයෝ..", "පිස්සුද? හැටිද?".."ඕවා කියවන්න ගියොත් පිස්සු හැදෙයි..", "උඹලා ජීවත් වෙන්නේ හීන ලෝක වල"...
අපි හැම කෙනෙක්ම කැමතියි අපිව වැඩියෙන්ම තේරුම් ගන්න පුළුවන් අය සොයාගෙන ඉගිලෙන්න..ඒක කයින් කරන්න බැරි උනත් හදවතින් කරන්න පුළුවන්..එහෙම ගිහිල්ලා අපිට පුළුවන් අද සජීවි නොවන ඒත් අපිට පෙර අපිව තේරුම් ගත්තු අය සමඟ එකතු වෙන්නත්...

සාහිත්‍යත් එකම එක උදාහරණයක් විතරයි..කලාවෙනුත් පුළුවන්, සංගීතයෙන්, සිනමාවෙන්, මහා වේදිකා රංගනයෙන් වගේ සියුම්, මට සිළුටු, මල් පෙති වගේ ක්ෂේත්‍රයන්ගෙන් විතරක් නෙමේ, විද්‍යාවෙන්, වෛද්‍ය විද්‍යාවෙන්, ගණිත විද්‍යා වලින්, නීතියෙන්, දේශපාලන විද්‍යාවලින්,( යුධ ශාස්ත්‍රයත් කලාවක් ), ආර්ථික විද්‍යාව වගේ ගොරහැඩි ක්ෂේත්‍ර වලින් මේ හැම එකකින්ම අපිට පුළුවන් අපිව වත්මනදී හෝ ඉන් පෙරදී හෝ තේරුම් ගත්ත මිතුරු, මිතුරියන් සොයා ගන්න..එහෙම කළොත් අද මේ අපිට හම්බ වෙන මිතුරු ඇසුරකට වඩා වැඩි යමක් ලබා ගන්නත්, වැඩි ආත්මීය සැනසීමකින් අර කියපු "පැටි සංස්කෘතිය" සතපවා ගන්නත් පුළුවන්..ඒ අය සොයා යන්න සීමා මායිම් දා ගන්න එපා...

සම වයස් කණ්ඩායමක් ඉතිරි නොවීම ගැන පසු තැවෙන්න එපා..ඔබට සියවස් ගණනකට පෙර හිටපු ශ්‍රේෂ්ඨ මිනිසුනුත් හිටපු ගමන් ඔබේ සම වයස් කණ්ඩායමට "සෙට්" වෙනවා වගේ ඔබටම දැනෙයි, ඒ මිනිස්සු තියලා ගියපු ඔවුන්ගේ සිතුවිලි කියවන කොට...
ඔබ ප්‍රශ්ණය අසන්නටත් පෙර ඒ අය ඔබට පිළිතුරු සපයා ඇති බව පෙනේවි...."



ඉදින්,  මගේ මේ කියුමට අරුත් පිරවූ මේ යාළුවා අපේ ඩීකේ සොයුරා මිස වෙන කවරෙක්ද? :)