Tuesday, July 28, 2015

ග්‍රීන් ටී සංවත්සරය

ඒ මම ග්‍රීන් ටී බීපු අති සාර්ථක පනස්වෙනි සංවත්සරය. එදා අපේ ගෙදර ජය මංගල ගී තාලෙට බට දඬු නලා පිඹ පිඹ - ජය පැන් බොන මී මැසි සෙබළ ‍රැලක් හඬ තලමින් හිටපු වෙලාව!

හැමෝම ජයටම වැඩ. ඒ අතරේ මම උන්නේ අතපය හතර අතට දාගෙන නිදගන්න පුළුවන් තරම්  ලොකූම ලොකු, මහතම මහත සැන්විච් පාන් පෙත්තක් උඩ මුණින් අතට වැතිරිලා.

කවුරුහරි දැක්කනම් කියන්නෙ මෙච්චර වැඩ අස්සේ මේකි නිදාගෙන ඉන්න අපූරුව කියල නම් තමයි. ඒත් ඇත්තටම මම හිටියෙ මගේ කිලෝ හැටකට ආසන්න පංචමහ භූතයොටික හදවතට යට කරගත්තම හදවතයි කනයි එකම තලයකට තෙරපිලා තියෙද්දී සද්දෙට ඇහෙන ඒ බීට් එක අහගෙන..

ලබ්-ඩබ්   ලබ්-ඩබ්  ...

ටික වෙලාවක් ඒ රිද්මය මගේ හිත සමාධියකට ගෙනල්ලයි තිබ්බේ... ඒත් ඒ ටිකම ටික වෙලාවයි. ටික...ම ටික වෙලාවයි. හැබැයි ඒ ටික වෙලාවෙ මම ඇත්තටම හොඳ භාවනාවක හිටියේ.. වටපිටාවෙ කිසි දෙයක් ඇහුණෙ නෑ. මගේ හද රිද්මය විතරමයි මට ඇහෙන්නේ.

ලබ්-ඩබ් ලබ්-ඩබ්...ඩබ්....__/\_/\/\___/\__

ටික ටික ඒ රිද්මය වෙනස් උනා.. හරියට හාවෙක් පස්සෙ බල්ලෙක් පනිනව වගේ.. එක පිම්මයි, දෙපිම්මයි, එක පිම්මයි දෙපිම්මයි.. ළබ් -ඩබ් ඩබ් --- ළබ්-ඩබ් ඩබ් (මෙතන 'ල'යන්න ලොකුවට සද්ද කරන්න ඕන, මොකද ඒ වෙලාවෙ නාලිකා වලින් රුධිරය පොම්ප කළෙත් හරි ලොකුවට)

''එන පොට හොඳ නෑ මුතුවෝ..''
 මගේ හිත් තුනෙන් එක හිතක් මට කියනවා ඇහුණා.. ඒත් ඒ මොන හිතද කියල ඒ වෙලාවෙ මට හරියට තෝරගන්න බැරිවුණේ හරි භයානක විදියට කියපු ඒ වචනෙ ගැන විතරක් මම කල්පනා කළ නිසා. ඇඟ ගල් ගෙඩියක් කරගෙන මම හදවතේ 'සා-බලු-පිමි' අධ්‍යනය කළේ හරියට, මම ගෙදරින් එළියට බැහැල පාරෙ ටිකක් දුර ගියාටත් පස්සෙ තාත්ත මගෙන් අහන 'දොර ලොක් කරලද ආවෙ?' ප්‍රශ්නයට මම ප්‍රතිචාර දක්වන විදියටමයි. කොටින්ම ඒ හැම අවස්ථාවකදිම මම ගල් ගැහිලා ඇත්තටම දොර ලොක් කරාද කියලා සහතික කරගන්න ලොකු වෙහෙසක් ගන්නවා.

කොයිහැටි වුණත් ඒ වෙලාවෙ මගේ හාට් බීට් එක නම් අක්‍රමවත්. අඹරුක්මුළ වෙද රාළ කිව්වෙ හාවෙක් පස්සෙ බල්ලෙක් පන්නද්දි ඇඟේ මුල් පොටවල් ගැන කම්පනාවෙන් ඉන්නය කියලා. මම තව කල්පනාවෙන් බීට් එකට ආයෙත්.., ආයෙ අයෙත් කන් දුන්නෙ ඒ නිසයි.

මම දන්නවා කවුරුවත් පන්දාහෙ කොළේකටවත් විස්වාස කරන එකක් නෑ...ඒත් ඒ වෙලාවෙ ඒක බීට් වුණේම, 'මල්සරාට ප්‍රේම ලෝකෙ මාළිගා තනා සිංදුවෙ තාලෙටමයි...'ඔව්.. ඒ තාලෙටමයි!

ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්..න්..
ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්..න්.....
ඩඩන් ඩන්...ලබ් ඩබ් ලබ් ඩබ් ලබ්....
ඩඩන් ඩන්....  ලබ් ඩබ් ලබ් ඩබ් ලබ්....

දවල් මඥ්ඥං කියන්නෙ මේවටද කියලා මම පොඩ්ඩක් සැලකිලිමත් වුණා. මේ කාලෙ මොනව කියල විස්වාසෙට ගන්න පුළුවන් කාලයක් ද? ඒත් මගේ සතර ඥ්‍යානයන්ටම ගෝචර වුණු එකම දේ මගේ හාට් බීට්ටෙක ඩ්‍රම් බීට් එකකට මාරු වෙලා කියන එක විතරයි.. ඉතින් මම මහ ගොඩක් හිතන්න ගත්තා.

ඔය අතරෙදියි චංචලා මගේ ළඟට කඩාගෙන දුවගෙන ආවෙ. ආපු විදියෙන්ම තේරුණා මේ කලබල දවසෙ මොකක් හරි නොසණ්ඩාල වැඩක් කරලා කාගෙන් හරි කොසු පාරක් කාලයි එන්නෙ කියල. චංචලාත් මගේ ළඟට ආවයින් පස්සෙ ආපු වේගෙ බාල කරල මගේ ඇඟේ දැවටෙන්න ගත්තා.

  ''චංචලෝ...'' මම දැන් හදන්නේ ඒ ලොකූ කතාව දිගාරින්න.

චංචලත් ඇගේ කවදත් කලබල වෙන පංචේන්ද්‍රියම සසල කරමින් මගේ දිහා ලොකූ බයකින් බැලුවා.

  ''යකූ, ඔහොම බලන්න එපා බං.. ටිකක් රිලැක්ස් වෙයන්කො.. මමයි හරිනම් බයවෙලා උඹ දිහා බලන්න ඕන, මේ වෙන අපභ්‍රංස වලට...''
 එහෙම කිව්ව කියලා චංචලා බය නොවී හිටියේ නෑ. ඇස්දෙක එහෙ මෙහෙ විසි කරමින් මගෙන් ඇහුවෙ;

   ''ඇයි මේ සැරේ මොකද?''

ඈ ඒක හරියට ඇහුව ප්‍රශ්නයක් නොවෙන වග මම දැනගත්තා. මොකද, මේ සැරේ මොකවත් වෙන්න, කලින් සැරවල්වල මට මෙහෙම දෙයක් වෙලාම නැති නිසා. ඔය වෙලාවට තමයි මට ඒකිගෙ රැවුලෙන් ඇදලා රිද්දන්න හිතෙන්නේ. ඒත් මට ඊට වඩා වැදගත් වෙන්න ඕන මගේ අලුත්ම වෙනස ඈට කියන එක.

  ''හොඳට අහගනින්.. හැමෝම මගේ ග්‍රීන්ටී සංවත්සරේට ලෑස්තිවෙන වෙලාවෙ., ඒ අය කලබල කරන්න මගේ කිසි අදහසක් නෑ. ඒත් උඹ හරි මේක දැනගෙන තියන එක හදිසියක් වුණොත් වටිනවා. එහෙම කියල මම ඇගේ දෑස් දිහා ලොකු වගකීමකින් බැලුවා.

  ''ඉතින් ඔය ඇස් දෙක එහාට ගනින්... උඹේ ඇස් දැක්කම මටත් නැති බයක් එනව බං...''

ඒකි මගේ වචනෙට බයෙන් කියන පරක්කුව ඇස් අහකට ගත්තා.

  ''හොඳයි එහෙනම්... අපි ඊයෙ රෑට කෑවෙ මොනාද?''

  ''කොත්තු..''

  ''අන්න හරි.. ඒ කොත්තු ගැනයි මම මේ කියන්නේ....  ...දන්නවද? කොත්තු කද්දි මම කොත්තුවෙකුත් කාල..''

  ''මොනවා.....??? '' චංචලා තව ඇස් ලොකු කර ගත්තා..

  '' හිටපන්කො කලබල නොවී..'' එහෙම කිව්ව කියල ඒකි කලබල නොවී ඉන්නෙ නෑ කියල මම දන්නවා.. ඒත් මට කීමට කියවුණා. ඒකි දිලිසෙන ඇස් ලොකු කරගෙන දිගින් දිගටම මං දිහා බලන් ඉන්නවා.

  ''ඒ කොත්තුව හදපු කොත්තුවාව නොදැනිම මට කැවිල, ගිලිලා බං..'' මම බොහොම කණස්සලයෙන් කිව්වා..

චංචලා කොයිතරම් චංචල වුණාද කිව්වොත් ඒකිට කෑගැහුණා..

  ''...ඥාආආආආආආආ.............ව්...ව්...ව්..ව්......''

මම ඒ වෙද්දි හිටියෙ සැන්විච් පාන් පෙත්ත උඩ කකුල්දෙක බිමට එල්ලෙන්න වාඩිවෙලා. ඇගේ කෑගැහිල්ල වහන්න කොට්ටෙ යට තිබුණු පොරෝන රෙද්ද අරන් මම චංචලාගෙ ඇඟට කඩා පනින්න හැදුව විතරයි.... එක පාරටම ලොකූ ඔක්කාරයක් ඇවිත් අයිස් බකට් චැලේන්ජෙකේ වතුර නාවනව වගේ මම චංචලාගේ මුළු ඇඟම කොත්තු මිශ්‍රණයකින් නෑව්වා..



ඔය අතරදි තමයි ඇහුණේ ජනේලෙ පැත්තෙන් ට්‍රම්පට් හඬක්.. ඒක හරියට පෙරදිග යුද ජයකදී ජය සක් පිඹිනව වගේ ජයග්‍රාහී හඬක්. ඒ එක්කම මුකුත් හිතන්නත් කලින් ක්ෂණයකින් කැරපොත්තො රොත්තක් කාමරේට කඩාපැනලා මුලු කාමරයම චෙක් කරලා අනතුරුව තැන තැන ස්ථානගත වුණා.. ටිකකින් තව කැරපොතු ගාඩ් එකක් එක්ක තෙල් කූඹි පෙරහැරක් කාමරේට එනවා ඒ  'ජයපත' ප්‍රධානය කරන්න.

එක කැරපොත්තෙක් ගුවන් ගත වී මගේ කනට ළඟ සාර්ථක අන්දමින් ගොඩබැස්සා .. ඒ වෙනකොටත් මගේ කට වටේට කොත්තු කෑලි. මම කට පිහිදාල කාරිය ටිකක් පිළිවෙලක් වුණා.

   ''තමුන් මුතුවද?''

   ''ඔව් සර්..''

   ''තමුන්ට ජයපතක් තියනව පිළිගන්වන්න..''

   ''ඒ.. ඒ මොකටද සර්...?''

   ''කොත්තුවා අල්ලල දුන්නට..''

   ''ඒහ්? ''

   ''ඔව්.. තමුන් කළේ ජාතික මෙහෙවරක්. මෙතුවක් කාලයක් මිනිස්සුන්ගේ හාට්බීට් එකට ලල් එකක් දීලා, විවිධ රෝග රැසකට වගකිවයුතු පුද්ගලයෙක් වුණු මේ අපරාධකරුවා, තමුන් විසින් භක්ෂණය කොට වමාරා දැමූ මහැඟි සේවයට, අප රජයෙන් තමුන්ට ජයපතක් ප්‍රධානය කරන්න තීරණය කරා. රැජිණගේ අතින් එය පිළිගන්න...''

මට ආයෙත් ඔක්කාරයට එන්න වගේ.. චංචලා කොත්තු මිශ්‍රණය මැද වැටිලා ඉඳන් ඇගේ නහය ඉස්සරහ එක එල්ලේ හරහට වැටිල ඉන්න කොත්තුවා දිහා ඇස් දෙක වපර කරගෙන  නැට්ටත් උස්සගෙන බලාගෙන ඉන්නවා.

තෙල්කූඹි පෙරහැර මගේ දෙපා මුළටම ඇවිත් සිරි ලංකා ගීය, සිංහල දෙමල මුස්ලිම් බර්ගර් ආදිවාසී භාෂා පහෙන්ම ගයලා මට ආචාර කරා. ඉන්පස්සෙ මම දෙකට නැමිලා තෙල්කූඹි රැජිණගෙන් ජයපත්‍රය ලබාගත්තා. නැමෙනකොට තමයි මම දැනගත්තේ තෙල්කූඹි රැජින චීනෙක් බව. දන්නවද? රැජින මට තේපැන් සංග්‍රහයකට ආරාධනා කරා නේ...

මම වෙනුවෙන් ගෙදර ලොකු උත්සවයක් තිබුණත් රැජිණකගෙ ඉල්ලීම අහකදාන්න බැරිකමටම මම ඇයත් එක්කම මාළිගාවට ගියා. එතකොට චංචලා? ඒක තමයි අනේ.. මම ඒකිට කිව්ව තේපැන් සංග්‍රහයට මගෙත් එක්ක යන්න එන්න, කොහෙද ඉතින් කොත්තු මිශ්‍රණෙන් නෑවිලා හිටපු නිසා ඒකි යන එක පස්සගැහුවා... මට හැබැයි සැකයි ඒකි බෑ කිව්වෙ ඒකටමද, නැත්නම් අර ඉලන්දාරි කැරපොතු ගාඩ්ල නිසාද කියලත්.... මේකි මේම හිටියට කොයිවෙලෙත් කැරපොත්තන්ට කෙළ හලාගත් ගමන් ම නේ ඉන්නේ.. !

ඒක නෙවෙයි අනේ කතාව.. බලන්න එපැයි මට තිබුණු පිළිගැනීම. කඩියො, දිමියෝ, ඇඹලයෝ, හින්නො, කළුකූඹි, තව මම ආස නැති ගඳ කූඹිත් මට තොප්පි උඩ දදා කෑගහමින් ඔල්වරසන් දුන්නු හැටි! පාටපාට දිලිසෙන කොලකෑලි, ක්‍රේප්පටි මගේ ඇඟ පුරාම.

රැජිණ හරිම සුහදශීලියි. ළෙංගතුයි. ඈ ආගිය තොරතුරු ගොඩක් කතා කරා. අපේ රටේ දේශපාලනය ගැන කතා කරන්න එනකොටම මම කතාව  වෙන පැත්තකට හරවන්න ඈ අත ඇති සෙංකෝලය ගැන කතා කළා. අන්තිමේ දි ඈට අහපු ප්‍රශ්නෙ අමතක වුණා.

ඔන්න රජෝ දැන් තමයි වෙලාව! එක පාරටම පොළොව යටින් සුදු රෙද්දකින් වහපු මේසයක් හෙමි හෙමින් මතු වුණා... සම්පූර්ණෙන්ම මේසය උඩට ආවට පස්සෙ, ඔලිම්පික් උළලේදි මහ පතාක ඔලිම්පික් කොඩිය ඈතින් බැලුවම පුංචි මිනිස්සු ටිකක් උස්සන් යනව වගේ, කූඹියො රොත්ත බුරුත්තක් ඇවිත්, හරිම ලස්සනට සුදු රෙද්ද ඇරලා, තේ මේසෙ නිලවශයෙන් විවෘත කළා.

   ''හම් බේ...... ඒක තේ මේසයක්ද දිව්‍ය භෝජනගාරයක් ද?''

මගේ ඛේට ධාරිතාවය වැඩිවෙලා රැළිගහන්න පටන් ගත්තෙ ඔන්න ඔය වෙලාවෙ. මම නන්ස්ටොප් කෙළ ගිලිල්ලක් ආරම්භ කළෙත් ඒ නිසා කියමුකො. ඒ නම් මදෑ, මගේ දිවත් බ්‍රේක් ඩාන්ස් කරන්න පටන්ගෙන හත් මඟුලයි..! අපොයි මම ඉක්මනට අතින් කට වහගත්තෙ නැහැදිච්ච කමක් මෙතනට වද්දගන්න කොහෙත්ම අවශ්‍ය නැති නිසා.

   ''අනේ මගේ දිව පැටියෝ.. චුට්ටක් ඔය නැටිල්ල නවත්තගෙන හැදිච්ච තාලෙට ඉන්න..''

විශ්වාස කරන්න.. මට එහෙම කියන්නවත් බැරි තරමට දිව ඩොපේ ඩෝප් වෙලා ඩාන්ස් කරනවා. මේක හරියන්නෙ නෑ. මම තේ මේසෙ දිහාවට ඇස් විසි කරලම දැම්මා මොකක් හරි පිළියමක් හොයන් වර කියලා. ඔය ගමනෙදි තමයි ඇස් දෙකට මහාගොඩක් කෑම අතරින් මාරි බිස්කට් ටික රත්තරං පාටට දිළිහි දිළිහි ඉන්නව හම්බුණේ!!  මාරි දීසිය දැක්කගමන්ම කරන්ට් වැදුණා වගේ මගේ ටිකිරි මොළේ ගැස්සුණා! ඒ ගැස්සිලා තියෙන්නේ මගේ දිහාට හැරෙන්න පුටුව කරකවද්දි..

ටිකිරි මොළේත් ඔන්න ටිකක්  හරි බරි ගැහිලා මෙහෙම කියාපි.

  ''උඹේ දිව නළියන්නේ... තේ මේසෙ දකින කොට නෙව...දිවට කෑම මේසෙ නොපෙන්නුවොත් මොකද වෙන්නේ... දිව නලියන්නෙ නෑ නෙව? ඉතින් මගේ ආදරණීය වසු පැටියෝ, කටවහගන්නකෝ ගොන් රජෝ...''

මොළේ හැමෝටම ආදරේට කතාකරන්නේ වෘෂභ බසින් නෙවෙන්නං... ඉතින් මම එකපාරටම කටවහගත්තා. හරියට පොඩි කාලේ, කළේ බිදින්න කට පුම්බගත්ත වගේ. එතකොටයි දිවේ ඩාන්ස් එක නැවතුණේ. ඒත් අනේ දන්නවනේ ආයතන පහෙන් තුනක්ම මේ වගේ වෙලාවට 24 අවර්ස් වැඩ කියල.

ඔන්න ඉතින් ඇස් දෙක ආයෙ රස්තියාදු ගහන්න යන්න දගලනවා. කිව්වට නාහන නිසා මාත් ඔහේ යන්න ඇරලා හිටියේ හිතේ සතුටකින් නෙවෙයි.

මේ ආයතන අතර කලබල සිද්ධ වෙන්න තත්පර දෙකෙන් පංගුවක්වත් යන්න නැතුව ඇති.  ඔය අතරදි තමයි කූඹි රැජින මට කතා කළේ.

   ''මුතුණි.. එන්න ඇවිත් ඉන්දගන්න''

මම හුරතල් හිනාවක් දාගෙන ඈ ළඟින් අසුන් ගත්තා.

   ''මුතුහරිණි!! හරි ලස්සන නමක් නේ.''

ඔන්න මගේ මූණ රතුවෙන පොයින්ටෙක. 'අනේ රැජිණියනි.. අනවශ්‍ය කෙංගෙඩි බැහැර කරල කතාකරමු..' මගේ හාට් එක ඇතුලෙන් දෝංකාර දෙන්න පටන් ගත්තා.

   ''කවුද මුතුණිට ඒ නම දැම්මේ..''

මම හිතුව හරි. මගේ මූණ තවත් රතු වුණා.. ලොවි ගෙඩියක් වගේ. දැන් උත්තර නොදීත් බෑ.

   ''ඒ නම දාපු කෙනා පෙරේදා උදේ කොළඹ අයිසීයූ එකේදි අන්තරා වුණා රැජිණියනි!!!''

   ''ඛවුද?......
......අර කාටුනිස්ට්?''

මගේ ඇස් අග්ගිස්ස පිටාර ගලන්න හදන්න ඔන්න මෙන්න.

   ''එහෙමයි''

''ඕ.. හරි කණගාටුයි.. මමත් එයාගෙ චිත්‍රකතා බලල තියනවා. සමාජසමයං, හුලවාලි! ෂුෂ්! ඒවා මරු ආ!  ටැලන්ටඩ් කාටුනිස්ට්.. ''

   ''එහෙමයි''

   ''ඉපදෙන හැමෝම මැරෙනව.... අපේ අය නම් කොයිවෙලෙත් ඉන්නෙ මැරෙන්න බලාගෙන... ඒත් එහෙම කියල නෑ..., ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි හරියට මහන්සි වෙලා වැඩකරනවා...''


   ''..හරි දැන් ඕව අමතක කරලා ඔයාගෙ සේවයට අපෙන් දෙන මේ සුළු තෑග්ග භුක්ති විඳින්න..''

   ''එහෙමයි''

ඇය අත්පොඩියක් ගහපු සැණින් ලස්සන ඇඳුමක් ඇඳගත්තු පුංචි කූඹිච්චියෙක් මේ ලෝකේ තියන ඔක්කොම පැණිරස කෑම දමාපු පිඟානක් ගෙනාවා.


සෙවන් ඉලව්වට ගැහුව ඉස්කෝප්පෙ කිව්ව වගේ  ඔය වෙලාවෙදි මගේ ඇඟ ඇතුළින් මිනියොන් කෙනෙක් බල්බ් තොප්පියකුත් දාගෙන එළියට පැන්නෙ නැතෑ..!!!

   '' බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ''



   ''ගින්නක්....? ''

   ''ගින්නක්....? අපෝයි ගින්නා...ක්.....''

   ''මගේ ඇඟ ඇතුළේ ගින්නක්..''

මම කොයිතරම් කලබල වුණාද කිව්වොත් කූඹිරැජිණ කඩි හේවායෝ දෙන්නෙක් ගෙන්නුවා මාව සංසුන් කරන්න. ඔවුන්ගේ විස දළවලට බයේ මම ටිකක් මෙල්ල වුණා.

ඒත් මම ඉවසගන්න බැරිතරමට ලොකු ගින්නකට අහුවෙලා..... ඒත්... ඒත්.. කිසිම කෙනෙක් ඒ ගැන වගකට නොගෙන දඟලන මං දිහා බලාගෙන ඉන්න හැටි...!

   ''අනේ කවුරුහරි මට උදව් කරන්නෝ... මට ඉවසගන්නම බැරියෝ...''

මම ලාවට දැක්කා රැජින ඇස්වලින් යමෙකුට යමක් ඉඟි කරනවා..  ටික වෙලාවකින් කඩි හේවායෙක් යකඩ බන්දේසියක තියාගෙන සුදුපාට මැටි කෝප්පෙකට කොළපාට දියරයක් ගේනවා.

   ''මේක කුමන්ත්‍රණයක්.. හපොයි මේක කුමන්ත්‍රණයක්.. මම කුමන්ත්‍රණයකට අහුවෙලා... අනේ චංචලෝ.... කවුරුත් නැද්දෝ... මාව කූඹි උගුලකට අහුවෙලෝ... '''

තඩි කඩි අඬු වලින් සර්වාංගෙම තදවෙනකොට නොදැනුවත්වම කෑගැහෙන එක සාධාරණයි. මම කඩි හේවායො දෙන්නට කෑගැහුවා.. 

   ''අතෑරපන් කඩියෝ...මට යන්න දිපන්....''

 මුළු වැරම යොදල  කඩි හේවයො  දෙන්නගෙ දඬු අඬු වලින් ගැලවෙන්න සටන් කරමින් ඉන්න අතරෙදියි රැජිණගෙ අණින්, කඩි හේවායා මට කොළපාට දියරය පොවන්න ගත්තේ..

   ''උඹලට ලේසියෙන් බෑ මාව මරන්න.... මම ලේසියෙන් මැරෙන්නෙත් නෑ..  කවදාවත් හිතල කූඹීයෙක්වත් මැරුවෙ නැති මට ඇයි උඹලමෙහෙම කරන්නේ.... උඹල දැනගන්න ඕන.. මම කොයිතරම් උඹලව බේරල තියනවද?...ඕන්නම් මට හරි ලේසියෙන්ම... හරිම ලේසියෙන්ම... තේ මණ්ඩියට, බනිස්ගෙඩියට, සීනි බෝතලේට  හොටදාපුවට විතරක් නෙවෙයි.... ඇඳුම් අල්මාරියෙ ඉන්දන්... ටී ෂර්ට් හිල් කරපු හිලව්වට.... ඇඳේ මෙට්ටෙ අස්සෙ ඉඳල රෑ ගණනාවක් අවදියෙන් තිබ්බ හිලව්වට..... උඹලව විස්සෙ කොළේකට මායම් නොකර මැරෙන්න අරින්න තිබ්බා..... එහෙම නොකරපු මටද මේ විස පොවන්නේ.... ඈ යකුනේ...  ''

මේ වෙනකොට කොළපාට දියරය පෙවිලා මගේ කටින් නොනවත්වා වස් කවි පිටාර ගලමිනුයි තිබුණේ... පුරා රැයක් කවි ගායනයේ කෙළවර මට මහන්සියත් එක්ක ලොකු නිදිමතක් ඇවිත්... ඉතින් මම අර කඩි හේවායෝ දෙන්නට මාව වත්තම් කරගන්න කියලා මම හොඳටම බිම වැටුණා.

ඇත්තමයි, ඒක හරි ලස්සන වැටිල්ලක්.. මම වැටුණේ අවුරුද්දට මහ ගත්තු මල් ගවුම උඩට. මම ගවුම උඩ කුමර දුටුගැමුණුගෙ වකුටු සෙය්‍යාවෙන්ම නිදාගත්තා. මොකද  ඒ වෙනකොටත් මට අතපය දිග ඇරගන්න බැරි කාරණා දෙකක් තිබ්බා. එකක්, මල් ගවුමෙ එක පැත්තක් ලොකු බොත්තම් පේළියක් තිබීම. . අනෙක් පැත්ත ලොකු වාටි බැම්මක් තිබීම. ඒ දෙකට මැදිවෙලයි මම හිටියේ. ඔව්.. හරිම තදට හිරවෙලා.

හිරට වුණත් මම හොඳට නිදාගත්තා. හරිම සංවරව. ඒ සංවර කමට එනවත් එක්කම තමයි මගේ පිටට කවුද තට්ටු කළේ...

   ''මොකද ළමයෝ මේ දවාලට නිදාගන්නෙ? අනෙක අද කලබල දවසෙ? පාටි එකට කට්ටිය ජමරෙට වැඩ.. ගිහින් ටිකක් උදව් වෙන්නකෝ.. '' අම්ම අනවශ්‍ය විදියටම මාව අවදිකළා. මට ඉතින් කබ කඩ කඩ ග්‍රීන් ටී හදන තැනට යන්න වුණානේ.

   ''ආ ගුඩ් මොර්නින් මැඩම්.. ටී එකක් හදන්නද?''

   ''නෑ ඕන්නෑ..''

   ''ඔව් ඉතින් ඕනවෙන එකක් නෑ.  අද මේ ඩිංගට කාපු බීපු වස ජාතිවල හැටියට අපි අමාරුවෙන් හරි ග්‍රීන් ටී එක පෙව්වෙ නැත්නම් තාම බඩ දැවිල්ලෙ උඩපනිනව බලන්න තිබ්බ.. නේද අනේ.. ''

   ''අනේ මේ යනව අහකට, සීනි කාල ලෙඩහදාගන්නෙ නැතුව.. ''

සීනි බෝතලේ උඩ කටවහගෙන හිනාවෙමින් උන්නු තෙල් කූඹි ජෝඩුවම මම ජනේලෙන් එලියට විසි කරලා රැයක් පෙඟෙන්න තිබ්බ උළුහාල් වතුර කෝප්පෙ හුස්මට බී නැවත කාමරේට ගියේ ත්‍රීඩී මූවී එකක් බලන්න...

2 comments:

බස්සි (Yash) said...

අහා! ඔන්න හොයාගත්ත කාටූනිස්ට්ව. :)

ඔයාගෙ ලියවිල්ල මරු මුතු අක්කේ. ත්‍රීඩී මූවි එකක් බලනව වගේම තමයි.

මම දන්නෑනෙ පාන් පෙති උඩ ඔය තරම් සනීපෙට නින්ද යනව කියල. අදම ගිහින් නින්දක් දාල බලන්න ඕනෙ. මම හිතන්නෙ අර වායුසමනය කරපු ලොකු සිදුරු නිසා වෙන්ට ඇති. චීස් බෙඩ්ෂීට් එක උඩ, තක්කාලි කොට්ටෙට ඔලුව තියන්, සලාද කොලයක් පොරවගත්තම කොහොමද සැප?

මුතූ said...

මට වගකීමෙන් කියන්න පුළුවන් ඔයා තාම කාටුනිස්ට්ව හොයාගත්තෙ නෑ කියලා.

බස්සි මට පයින් ගහල අවදි කල පාරට තමයි ඉතින් මගේ ඇඟේ හිරවෙලා තිබ්බ කතා විසික් වුණේ.. ඒකට තැන්කූ! :)