Wednesday, July 24, 2019

කර්ණකලාදුරු විනිර්මුක්ති සැමරුම!

කර්ණකලාදුරු විනිර්මුක්ති සැමරුම!
හැඳින්වීමේ කතාව.
දැනට සති එකහමාරකට කලින් හෝ ඊට කීප දවසකට කලින් හෝ සිද්ධ වුණු සිදුවීම් සන්තෑසියක් නිසයි, මේ සැමරුම පවත්වන්නේ.
මගේ "දිය" නෑමෙන්, මා නා ගත් වැඩකි මේක.
දියාණෝ!
"දිය" ඕනෑ එකටත් එපා එකටත් අවශ්‍යම කෙනෙක් වුණායින්, ශරීරයේ සියළු පාර්ශවයන් ස්පර්ශයට ද, තුමූ ස්ව-කැමැත්තෙන්ම සහභාගී වූහ. එහෙයින්, දියඇලි නොමැති ලෝකයේ ශවරයක යට දිය නෑමකට ලක්වීමි.
වංගු ලතා ලලනාංග රිද්මයානුකූල ස්පර්ශය මතු නොව, මේකා ශරීරාභ්‍යන්තර සංචාරයක් ද මේ සමඟ නොමිලේ කරන්නට ගොස් කළ වින්නැහියකුයි, මේ කතාන්තරයේ හේතු කතන්දරය!!
කර්ණය!
මුඛය හැරුණු කොට ශරීරාභ්‍යන්තර සවාරියකට ඉතා හොඳ, කෙටි මඟක් නම් කර්ණයයි. දියාණෝ, නෑ අවසරෙන් තම සංචාරය ද නොමිලේම කර ගත්හ. දිය නෑමෙන් පසු දැඩි හිරු උණුසුමට ඇඟේ තෙත වේලී ගිය ද, අප දියාණෝගේ කර්ණය හරහා කළ සංචාරයේ 'තෙත පිරි' මං සටහන් නම් කන තුළ, එතැනම ය!
හතු!
හතු පිපෙන්නට තෙත නොවෙද හොඳ ම තැන? තෙතක් ඇත්තේ කොතැනද - හත්ත ඇත්තේ එතැන ය! ඉතින් පිපුණි හතු! කන තුළ! තෙත ගොඩේ! තෙතබරිත සංචාරකතැනගේ සංචාරක මඟ දිගේ!
හත්තෙ ලස්සන නොදුටිමි. වේදනාව නම් ඉවසුවෙමි. කන කස කසා, කැණීමේදී හතු කෑලි දුටිමි. හතු දුටු පසු දකින්නට ලස්සනක් නොතිබුණි. අනිච්චේ දුක්කේ'යි හොඳටෝම සිතුවෙමි.
'පිළිගැනීමේ' කතාව.
කනක මහිමෙ තේරුණෙ නෑසුණ දා ය
හනික ගමනෙ වැටුණෙ, සමබර නැති වී ය
කනක තිබුණෙ සමබර ඇවිදින ගුණ ය
පයක ගමනෙ යන්ට කන් දෙක ඕනෑ ය
ඉතින් පිළිගනිමි. නොවැටී ගමනක් යන්න දෙකනේ බැලන්ස් එක ඕනෑ-ම බව. කන ද දෙපයද බැතියෙන් පිළිගනිමි!අසමබර ව අබලන් වුවත්, වම් කකුලේ, නුඹ වටී මට!
ස්තූති කතාව සහ සැමරුම.
ඒ තමයි දවස! කර්ණකලාදුරු විනිර්මුක්ත දිනය!
වේදනා සංඥාව අහේතුකව වැඩීම නිෂ්පල නිසාවෙන්, ප්‍රතිකාර සොයා ගියෙමි.
දොස්තර තැන, හතු කිතූ කිතූ කොට ඉවතට ගන්නා ලදින් සැනසීමක් ලැබිණි.
"දැන් ඇසෙන්නේදැ"යි දොස්තරගේ විමසීමෙන් ඇහුම්කන් දුන්නෙමි. කුරුලු ගී නම් නො-ඇසුණි. ගස් සෙළවෙන සිලිසිලිය නො-ඇසුණි. මිනිස් බැන ගැනීම් ඇසුණි. සිව් දෙසින් රට කැඩෙන හඬ නම් ලෙසට-ම ඇසිණි. එහෙනං ඉතින්!
"අපොයි ඔව් ඩොක්! දැන් කලින් වගේම හොඳටම ඇහෙනවා!"
අහෝ එ-සනීපය! හතු ඉවත්කිරීමේ ප්‍රීතිය! කර්ණ කලාදුරු නොහොත් හත්තෙ විනිර්මුක්තික ප්‍රීතිය!
සැමරීමට ගියෙමි ඔසු ස්ටෝර්ස්. ගත්තෙමි හොඳවයින්, කන්බේත් කුප්පියක්; තව දින හතකට බේත්.
එහෙනම් සමරමු!
"කර්ණකලාදුරු විනිර්මුක්තයේ සැමරුම!"
සුව වේවා! සුව වේවා!! සැම සුවපත් වේවා!!
එසේනම් ඔබට දික් කර
ඕං මං බොනවා, බේත් ටික!
"දිය" ජෝගුවක් ගෙන උගුරට දෙකට!
ග්ලබ්! ග්ලබ්!
ගුඩුස්!
ෂුෂ්- ඈ!
_________"අනේ ඉතින්.. 'දිය' කළ විපතට, 'දිය' ම ආවේය පිහිටට!" කෝප්පතැන සැමරීම නිමා කරන එ-වදන් මාත්‍රය කෙඳිරී ය - හෙමිහිට.
සැමරීම නිමියේ ය.

Friday, August 4, 2017

එකමත් එක මහන්සියක් (පැටි කතා)

ඔන්න එකමත් එක මහන්සියක් තිබුණා. දවසක් මහන්සියට බස්සෙකක යන්න ඕන වෙලා, බසෙකක ගියා. ටික වෙලාවක් බස් එකේ යනකොට... මෙන්න බොලේ!! බස් එකේ උන්නු මිනිස්සුන්ගෙ ඇඟේ හැප්පිල මහන්සිය ගොඩක් මහත් වෙන්න ගත්තෙ නැතෑ.


ඔහොම මහත් වෙලා මහත්වෙලා ගෙදර එනකොට මහන්සියගෙ මහතෙ වැඩිකමට මහන්සියටත් ලොකූ කාංසියක් දැනුණා. ඇවිදගන්නත් බැරුව හතරගාතෙ ඇවිත් ගෙදර තිබ්බ පුටුවකට වැටුණම, ඔන්න ටික වෙලාවකින් මහන්සියගෙ මහත ටිකක් බැස්සා. මහත බැස්සට මොකෝ මහන්සියගෙ කාංසිය නම් ඉවර උනේ නෑ.
මහන්සිය ඔහොම ටිකක් පුටුවෙ ඇලවෙලා ඉන්නකොට මහන්සියගෙ ඔඩොක්කුවට හුරතල් බිස්කට් පැකට් එකක් පැන්නා.
ඒ හුරතල් බිස්කට් පැකට් එක එදා ඉදන් මහන්සිය එනකල් ගේ දොරකඩට වෙලා බලන් ඉන්න හිතාගෙනයි හිටියේ. ඒත් ඒ බලාපොරොත්තුව ලත් තැනම ලොප් වෙන සෙයියාවකුයි ඊළඟට මතු වුණේ.
මේකයි වුණේ. ඔන්න මහන්සියත් කාංසිය යන්න ය කියලා බිස්කට් පැකට් එක හුරතල් කරන්න ගත්තා. ඒකෙ කවරෙ කඩන්න හැදුවා. හරි ගියේ නෑ. ආයෙත් කඩන්න හැදුවා. ෂුහ්!
ආයෙ ආයෙත් හැදුවා.
ම්හු! 😰
වැඩේ හරි ගියේම නෑ.
ඒ සැණින්ම මහන්සියට මතක් වුණේ එකම එක දෙයයි. මේක එයාගෙ තරහ කාරයෙක් තමන්ට නව නිංගිරාවක් වෙන්න කරපු වැඩක් කියන එක විතරයි!
ඔව්!! අඬු හතරෙන්ම කඩන්න හැදුවත් කඩන්න බැරි තරම් බිස්කට් කොලේ තද කරපු එකා!!
'හයිය!'
'ඕකා තමයි අම්මපා මාව නැති කරන යකා!!'
තරහව වැඩි වෙලා මහන්සිය ඔන්න ආයෙ මහත් වෙන්න ගත්තා.
'යකාගෙ හයියෙක් නේ යකෝ ඒ!.. මෙහෙම තද කරපු බිස්කට් පැකට් එවල මාව මහන්සි කරවන්න ඌ හිතුව මදි!'
'කරන්නම් වැඩක්!' එහෙම හිතලා මහන්සිය පුටුවෙ වාඩි වෙලා තැන්පත් වුණා. පැය ගාණක් ගියා. හෙල වුණේවත් නෑ. ටික වෙලාවකින් මහන්සියට අමුත්තක් දැනුණා. මොකක් නමුත් ලොකු දෙයක්..


කායික විපර්‍යාසයක් සිද්ධ වෙලා!!
මෙන්න! ඒ ගමන මහන්සිය හයියෙක් වෙලා!!
අන්තිමේ 'මහන්සිය' නැතිවෙලා 'හයියෙක්' ප්‍රාදූර්භූත වුණු ඒ සතුට දරාගන්න බැරුව, කුඩු වෙන්නම උඩ පැන්නෙ මේ ඔක්කොම බලාගෙන ඉඳපු, හුරතල් බිස්කට් පැකට් එක!

Wednesday, July 19, 2017

එකෝමත් එක ගැටලුවක් සහ විසඳුමක්! (පැටි කතා)

ඔන්න එක ගැටලුවක් තිබුණා. ඒ ගැටලුව හරිම ලස්සනයි. වර්ණවත්!
දවසක් මේ ගැටලුව පාරෙ යනකොට දැක්කා එක මනුස්සයෙක් වැඩක් කරමින් ඉන්නවා. වැඩේ තමයි ලස්සන ලොකු ෆෝන් එකකට මූණ ඔබං ඉඳීම. ඉතින් ගැටලුව හෙමි හෙමින් මිනිහට ළං වෙලා මෑන්ස්ගෙ පිටට පොඩි තට්ටුවක් දැම්මා.
ම්හු. කිසිම ප්‍රතිචාරයක් නෑ. ගැටලුව ආයෙ ටිකක් සැරේට පාරක් ගහල කතා කළා. අනපේක්ෂිත පහර හමුවේ මිනිහ තිගැස්සිලා උඩ විසික් වුණා. විසික් වුණු උඩ ඉන්දෙද්දිම මෑන්ස් බැලුව කවුද ඒ ගහපු එකා කියල. මෙන්න බොලේ ගැටලුවෙක් දිළිහි දිළිහි ඉන්නවා! මිනිහ තිබ්බ කලබලේට පොලොවට එන්නත් කලින් අහසෙ ඉඳන්ම පස්ස නොබල දුවන්න ගත්තා.
ගැටලුවට හරිම දුකයි. ගැටලුව ආයෙත් හෙමි හෙමින්.... හෙමි හෙමින්... පාර දිගේ යනවා. ඔහොම යනකොට ගැටලුව දැක්කා ලස්සන ගෙවත්තක්! ඒ ගෙවත්ත අයිනේ ගහක් යට ගාඩ්න් බෙන්ච් එකක් උඩ සුරංගනාවියක් වගේ ලස්සන ගෑණු ළමයෙක් පොතක් කියවනවා.
ගැටලුව හෙමීට ඒ සුරංගනාවි ළඟට කිට්ටු වුණා. සුරංගනාවිටත් යමක් දැනිලා පොතෙන් ඔලුව උස්සල බැලුව.
"ආනේ.. මේ බලන්නකෝ!!"
එයා එහෙම කිව්වත් වටපිටාවෙ කවුරුවත් ම හිටියෙ නෑ. ඒත් ගෑණු ළමයට එහෙම කියවුණා.
"මේ පොඩි හුරතල් ලස්සන ගැටලුවක් නේ..!!"
ගෑණු ළමයා ගැටලුව වඩා ගෙන උකුලේ තියා ගත්තා.
ගැටලුවට හරි සතුටුයි.
ඔන්න ඉතින් එදා ඉඳන් ගැටලුවට අලුත් නවාතැනක් ලැබුණා. ඒ අර ගෑණු ළමයගෙ ගෙදර නම් නෙවෙයි. ඒ ගෙදර ඉන්න ගෑණු ළමයගෙ නිදන කාමරේ විතරයි.
ගැටලුව ආපු දවසෙ ඉඳන් ගෑණු ළමයා හිටියෙ හරිම සතුටෙන්. කොටින්ම එයා ගෙදරින් එළියටවත් බැස්සෙ නෑ. ගැටලුව එක්කමයි හිටියේ.
මේක ගෑණු ළමයගෙ ගෙදරට නුපුරුදු දෙයක්. වෙනද එළි පෙහෙළියෙම ඉන්න දැරිවි මොකද මේ කාමරේටම වෙලා? අසනීපයක්වත් ද? ගෑණු ළමයගෙ අම්මා ටිකක් මේ ගැන හොයල බැලුවා.
"හෙව්ව බැලුව එක හොඳයි" අම්ම තාත්තට කිව්වා.
"අන්න අපේ දැරිවි ගැටලුවක් බදා ගෙන!"
"මොනවා!?"
තාත්ත ඔන්න සුපුරුදු පරිදි පුදුම වුණා.
තාත්තයි අම්මයි තේ මේසෙ ඉඳන් මේ ගැන කතා වෙනව. හිස් තේ කෝප්ප දෙක මේසෙ උඩින් තියල ඉඟුරු බිස්කට් තුනක් කාල, හතර වෙනි එක කටට අරන් හපන කොටම තාත්තගෙ ඔළුව උඩ බල්බ් එකක් පත්තු වුණා.
"අපේ කෙලීගෙ කළ වයසත් හරි නේ?" තාත්ත කිව්වා.
"ඉතින්? " අම්මත් ඉඟුරු බිස්කට් එකක් හප හප ඇහුවා.
"අපි කෙලීට විසඳුමක් හොයල දුන්නොත් මොකද?"
"අපි කොහෙන්ද විසඳුමක් හොයල දෙන්නෙ මේ කලබලේ." අම්ම කකා හිටපු බිස්කට් එකත් පැත්තකට දාල කිව්වා.
"බැරි වෙන එකක් නෑ. අපි මූණුපොතෙන් හොයල දෙමු?"
"ෆේක් ප්‍රොෆයිල්ස් හදාගෙන?"
"ඔව්. එහෙම හොඳයි නේ?"
"හොඳයි එහෙනම්. එහෙමවත් කරමු."
ඔන්න අම්මයි තාත්තයි මූණුපොතේ ගිණුම් දෙකක් හදන්, ඒකට තරුණ කාලෙ ෆොටෝ දෙකක් දාගෙන තරුණ කෙල්ලෙකුයි කොල්ලෙකුයි වගේ මූණුපොත එහෙ මෙහෙ පෙරළනවා.
ටික කාලයක් ගියා. තාත්තටත් කලින් පළවෙනියටම විසඳුමක් හම්බුණේ ගෑණු ළමයගෙ අම්මට.
"මේ බලන්නකෝ.. මේ මේ.. මට හොඳ විසඳුමක් හම්බුණා." අම්මට සතුටට කෑගැහුණා.
"කෝ බලන්න!! කෝ බලන්න.!!" තාත්ත කණ්ණාඩියත් දාගෙන මූණුපොතට එබුණා.
"ෂා!!...මේක නම් නියම විසඳුමක් නේ!! "
අපි අද හෙටම දුවගෙ ගැටලුව වෙනුවට විසඳුම ගේමු.
ඔන්න පහුවදාම ඔන්ලයින් පේ කරලා අම්මයි තාත්තයි ගෑණු ළමයට විසඳුමක් ගෙදරටම ඩිලිවර් කර ගත්තා.
ගෑණු ළමයා ඔළුව උස්සල බැලුවා.
"Mmmm..."
අම්මයි තාත්තයි ගෑණු ළමයගෙන් ඇහුව කොහොමද කියලා.
ගෑණු ළමය 👍 කිව්වා.
අන්තිමේ අම්මයිතාත්තයි විසඳුම දිහා බැලුවා.
එයත් හිනා වෙවී ❤️ එකක් දැම්මා.
අනේ.. අන්තිමේ ගෑණු ළමයා ගැටලුව අහකට දාල විසඳුමත් එක්ක දීග ගියා.
ගැටලුව ආයෙත් පාරට වැටුණා. පාර දිගේ හෙමි හෙමින් ගැටලුව යනවා. යද්දි ගැටලුව දැක්කා එක මනුස්සයෙක් වැඩක් කර කර ඉන්නවා. වැඩේ තමයි ලස්සන ලොකු පොතකට මූණ ඔබං ඉඳීම.
ඒත් ගැටලුව ඒ මිනිහ ළඟ නැවතුණේ නෑ. ගැටලුව එයාව මඟ ඇරල ඉස්සරහටම ගියා. ආයෙ කිසි තැනක නැවතුණේ නෑ.
ගැටලුව ගැන හොයපු කෙනෙකුට, ගැටලුව දැකපු හැමෝම කිව්වෙ කලුපාට ගැටලුවක් පාරෙ පැද්දි පැද්දි යනව දැක්ක කියල විතරමයි!



Tuesday, June 6, 2017

මේක මව් කුසකින් බිහි වූ ආපදාවක්!

කාපට් එකක එක කොණක් උඩ මනුස්සයෙක් ඉන්නවා. කාපට් එකේ අනෙක් කොණ ළඟ තව මිනිහෙක් ඉන්නවා. අර මිනිහ ඉන්දෙද්දිම ඒ මිනිහට නොදන්වාම මේ මනුස්සයා කාපට් එක අඳිනවා ඔහුගෙ ප්‍රයෝජනය සඳහා. එහෙම ඇද්දම මොකෝ වෙන්නෙ. කොණේ මිනිහ වැටෙනවා.
ඒ වගේ තමයි.
මිනිහෙක් සොබාදහම් පද්ධතිය තමන්ගෙ වාසියට අකුලනව නම්, ඒකෙ උඩ හිටං ඉන්න "පරිසරයට හිතැති" මිනිස්සු වුණත් වැටෙනවා. වැටිලා මැරෙනවා. එහෙම හිටං ඉන්න මිනිහව වැට්ටුවට පස්සේ ඇදපු මිනිහා තනිවෙනවා.
ඇයි ?
පරිසරය විනාශයෙන් මිනිස්සු වැටුණට මොකෝ විනාශ කළ පරිසර සම්පත් වලින්, විනාශය සිදු කළ පොරට ලොකු ලාභයක් ලැබෙනවා. ඒ වුණාට විනාශය කළ මිනිසාට සමාජයේ ගණු දෙනු කරන්න මිනිසෙක් නැති වෙනවා. අන්තිමේ ලාභයත් එක්ක තමන් සමාජයෙ තනි වෙනවා.
ඔය තියරිය මගේ යාලුවොන්ට පවා දැනෙනව අඩුයි. එහෙම වුණාම උන්ගෙ පොඩි එවුන් ගැන කවර කතා ද? අපි පොඩි කාලෙත්, අපේ අම්මල පොඩි කාලෙත් කළේ දරුවන්ගෙ ඔළුව ඇරලා බලෙන් එබ්බෙව්වා "අධ්‍යාපන තරඟකාරිත්වය" කියන ගුලියක්. අපි පොඩි කාලෙම පුරුදු වුණා විභාග තරඟෙට දුවන්න. දැන් ඉන්න පොඩි උන් ඒකාලෙට වඩා හපන්. උන් දුවන දිවිල්ලෙ වේගය දැක්කම එක අතකට මර බයයි. අනෙක් අතට හරි සතුටුයි.
බය තියෙන්නෙ මේ යන ස්පීඩ් එකේ හැටියට උන්ට උන්වම කොන්ට්‍රෝල් නැති නිසා බාධකයක් ආපු ගමන් හැප්පිලා මැරෙණ ප්‍රවණතාවය වැඩි වේගෙන යන නිසා.( ඒ කියන්නෙ ඉතා කුඩා ජීවිත ගැටළු ගැන නිවීහැනහිල්ලෙ ලබපු අත්දැකීම් නැති නිසා අත්දැකීම් විරහිතව ක්ෂණික තීරණ ගෙන විනාශ වෙන එක. නිවීහැනහිල්ලෙ හිතන්න ඔවුන්ට පුරුදු නැත්තෙ ඔවුන් එතරම්ම වේගවත්)
අනෙක් අතට තියන සතුට තමයි ඔවුන් අපේ කාලෙට වඩා ඉක්මනට හිතන්න දක්ෂයන්/ Fast thinkers ලා නිසා. උන් ඇකඩමිකලි පමණක් ඕනම ප්‍රශ්නයක් ඉතා ඉක්මන් විසඳනවා.
නමුත් අවාසනාව තමයි ඔවුන් බිත්ති හතරකින් බිත්ති හතරකට පමණක් මාරුවෙන්න දන්න, එළියෙ තියන ගස් මල් හඳුනන්නැති තත්වෙකට ඒ දරුවන්ගෙම අම්මල තාත්තල ඒකලව හදල තිබීම. මොකද අම්මල තාත්තලගෙ ඔලුවල ඊට කලින් පරම්පරාවෙ දෙමාපියන් පැලකරල තියෙන්නෙ එහෙම මානසික විෂබීජයක් නිසා. ඉතින් දැන් එයාල ඒක තමන්ගෙ දරුවන්ටත් වපුරනවා. උන්ට ඒ විෂබීජය දෙගුණයක් වැඩියෙන් තමයි පරිණාමිකව සැකසෙන්නෙ. ඉතින් අපෙන් බිහි වෙන පොඩි උන් අනෙකා තල්ලුකර පාගා යන්නෙ අපිටත් වඩා අතිශය තරඟකාරී, අසංවේදී, ඉතා වේගවත් 'උගත්' චින්තකයෝ විදියට පමණයි. උගත් කියන්නෙ ඉගෙන ගත් කියන එකට.
දරුවෙක් බඩට ආපු දා ඉඳලම අම්මලා පොඩි එකාව බිත්ති හතරකින් තවත් බිත්ති හතරකට මාරු වෙන අසංවේදී සත්තු විදිහට පුරුදු කරන්න හිතනවා. ඉන් පස්සෙ එහෙම කරවනව.
ගහක වැලක අත්දකීමක් දෙන්නෙ නෑ. ඒව පෙන්නන්නෙත් අර බිත්ති හතර ඇතුළෙ ඉඳන් වීඩියෝවකින්. මෙන්න පුතේ ගස්. මෙන්න පුතේ කඳු. ඉතින් උන්ට ඒවා දැනෙන්නෙ නෑ. ඤාණනය වෙන්නෙ නෑ. හැබැයි උන් ඒවල විද්‍යාව දන්නව. විද්‍ය්‍යාත්මක සංයුතිය, විද්‍යාත්මක නාමයන් දන්නවා. ඒවයෙ ප්‍රභවය සහ විභේදනයත් දන්නවා. ඕන වෙලාවක ඇහුවොත් කියන්න තරම් කටපාඩම්. ඒත් දැනෙන්නෙ නෑ. සංවේදී නෑ. ඒව ස්පර්ශයෙන් හෝ දැක සතුටු වීමෙන් හෝ ඒ සමඟ සිට ලබපු අත්දැකීම් ඤාණයක්, මානසික ඤාණයක් හෝ ලැබිල නෑ. අන්න එතනයි වරද!
අපි මේ ලෝකෙ ජීවත් වෙනවා. මේ ලෝකෙ කියන්නෙ මොකක්ද කියල ආයෙ හිතන්න බලන්න. හරිතය සමඟ පස.., ජලය.. වායුව සහ මේවා නිසාම බිහි වුණු මෙන්ම මේවා භුක්ති විඳින සතා සිව්පාවා. ඉතින් ජීවත් වෙනව කියලා අපි ජීවත් විය යුත්තේ අන්න ඒ "මේ ලෝකේ දේවල්" එක්ක මිස,, ඔය කියපු පද්ධතියෙන් වෙන් වුණු කුටීර ඇතුලෙද?
මෑත කාලයේ දෙමාපියන් ළමයින්ට කියා දෙන්නෙ, එළියෙ පරිසරයෙ ගහ කොළ, කෙසේ හෝ සල්ලි කොළ බවට හරවලා.. පරිසරයෙන් වෙන්වුණු කුටීර හදාගෙන අන්න ඒ කුටීර ඇතුළෙ අර සල්ලි වියදම් කරමින් ජීවත් වෙයන් කියලා.
ඔය තියරිය නිසා එළියෙ පරිසරයෙ දේවල් ටික ටික අඩුවෙනවා. ඒත් ඒ අඩුවෙන ප්‍රමාණයට සාපේක්ෂව කුටීරෙ ඇතුලෙ සැප සම්පත් වැඩි වෙනවා. ඒ ඇතුළෙ මිනිස් ගහණයත් වැඩි වෙනකොට තව තව පරිසර සම්පත් විනාශ වෙනවා.
ඔන්න කුටීරයෙන් පිට පරිසරයෙ ඉතුරු වෙන අන්තිම ගහත් එක දවසක අර කාපට් කොණෙන් ඇද්ද වගේ අදිනවා.. තමන්ගෙ වාසිය තකා පරිසර සමතුලිතතාවය බේර ගැනීමට.( පරිසර සමතුලිතතාවය බේරගැනීම වාසියක්!). ඉතින් දන්නෙම නැතුව අර කුටීරෙ පිටින්ම පරම්පරාවක් හෝ වර්ගයක් එහෙම් පිටින්ම වැටිලා විනාශ වෙනවා. මතක් කරන්න ව්‍යසන වලදී ගර්භනීන්, කුඩා දරුවන් මැරුණු හැටි. ගම්පිටින් අතුරුදන් වූ හෝ මැරුණු හැටි. ජාතියක පරම්පරාවක් විනාශ වී යෑමක්. පරිසරය ඔහොම සෙල්ලමක් කරන්නේ 'විනාශකාරී' මානසිකත්වය තියන අයගෙන් මිදිලා පරිසරයට තනිවෙන්න. තනිවෙලා ලෝකේ ලෝකයක් විදියට හඳුන්වන පරිසරය රැක ගන්න. මොකද පරිසරය කියන දේට මිනිස්සු කියන ජීවි වර්ගයා ඉතා සරල එක දෙයක් විතරයි.
මෙහෙම "ජීවී ග්‍රහලොවක්" විශ්වයේ හැදුණම ඒ හැදෙන්නේ යම් දේකට. මානවයා කියන බුද්ධි සතාට තමන්ගේ මානවීය දහම ප්‍රගුණ කරන්න වාසස්ථානයක් විදියට. ඒත් ඒකෙ ඉපදෙන උන්ගෙ කිරි කෑ මුත්තලාගෙත් කිරි කෑ මුත්තෝ ඒ කියන්නේ මුතුන් මිත්තෝ අර කලින් කිව්ව සොබාවික ලොවත් එක්ක ඉඳලා ලබපු සොබාවික ඤාණයෙන්, පරිසරය සමඟ යාලු මිත්‍රකමින් ඉන්න ඕන කොහොමද කියන එක තම මුණුබුරොන්ට කියා දුන්නා.
ඒත් අද වෙද්දි ඒ දේවල් ඔක්කොම කණ පිට හැරිලා.
මිනිස් පැටව් මෙලොවට බිහි කරන්න පුළුවන්. නමුත් උන් බිහිවූ පසු උන්ගෙ චින්තනය හැඳීමේදී ඉතා කල්පනාකාරී වන්න!!
කෑමක් බීමක් නැතුව කියා හෝ දුක් මහන්සියෙන් කියා හෝ ඔබ හදන ඔබේ දරුවාගේ "චින්තනය" නිර්මාණය විය යුත්තේ යම් දවසක මුළු ලොවකටම යහපතක් උදා කර දීමටයි! එය,, ජාත්‍යන්තරය ජය ගන්නවා යැයි හෝ ජාත්‍යයන්තරයේ "නාමයක්" තබන ක්‍රියාවලියක් නොව, තමන්ගේ සුබ සිද්ධිය තකා පරිසරයට කරන යම් සුළු යහපත් ක්‍රියාවක් විය හැක.
හිතන්න. ඔබේ,සොබාවික ලෝකය ගැන අසංවේදී සහ නිවැරදි චින්තනයක් නැති දරුවා...පාරට ටොෆි කොළයක් දැම්මොත්? එතනට තව කුණු එකතු වී.. කුණු ගොඩක් වී.. කුණු අවහිර වී.. පරිසර පද්ධතියේ දෝෂ ඇති වී... පාරිසරික ආපදා වී.. එම ජාතික ව්‍යසනය ලෝක ව්‍යසනයක් විය හැක.
එනිසා කරුණාවෙනි. ඔබේ දරුවා මේ බුද්ධි ලෝකයේ දී සොබාවිකත්වයට සංවේදී කරවන, නිස්කාන්සුවේ මේ ලෝකය දෙස බලන්න පුරුදු කරවන, හැඟීම් දැනීම් ඇති "මිනිස් දරුවෙක්" කර දෙනු මැනවි! එවිට පවුල් ප්‍රශ්න, සමාජමය අක්‍රමිකතා, ජාතික කලකෝලාහල, ලෝක විපත් සිදු නොවනු ඇත. එවැනි කලබල නැති නිසා වූ නිස්කාන්සුවම මිනිසාට මිනිසා නොදත් බොහෝ දෑ කතා කිරීමට මාතෘකා සපයනු ඇත!

(2017 මැයි ගංවතුර පසු සටහන)


Saturday, May 6, 2017

හාද්දයි හාදියි (පැටි කතා)

ඔන්න එකමත් එක හාද්දෙක් හිටියා. හැන්දෑවෙ හන්දියෙ කඩේට යන්න ගිය හාද්දා දැක්කා හඳ හාවියෙක් වගේ හැඩ හාදියෙක් ඉන්නවා. හාද්දා හාදි ළඟට කිට්ටු වෙලා හාද්දක් දුන්නම, හාදි හාද්දත් එක්ක හාද වුණා. 

පහුවදාම හාද්දයි හාදියි හද්ද පිටිස‍ර හද්ද කැලයක් මැද්දෑවට ගිහින්, හරිහමන් විදියට දෙන්නට ඉන්න හිටින්න හඩු ගෙයක් හදන්න හිතුවා. හඩුගේ හදන්න වඩුවෙක් නැති නිසා හාදි, ගස් කඳන් - වැල් පටි වගේම, පස් මැටි එක්කත් හාද වුණා. එතකොට හාද්දා, ඒවට හාදු දීලා හඩු ගේ හදන්න යන තැනටම කටයුතු ලෑස්ති කර ගත්තා. 

ඔන්න ඉතින් හාද්දයි හාදියි හඩු ගේ හද හද ඉන්නකොට, හාද්දගෙ අයියා හඩ්ඩා, වැඩ දාලා අල්ල ගත්තු දඩ හාවෙක් කුදලගෙන හාද්දයි හාදියි බලන්න නෑගම් ආවා. හාද්ද, හඩ්ඩට හාද්දක් දීල හද හද හිටපු හඩුගෙට වද්ද ගත්තා. හාදි ත් වැඩ්ඩ වගේ බතක් ඉදෝලා, මාලු පිණිත් එක්ක හඩ්ඩට කවන්න ගත්තා. 

හත්දෙයියනේ..! හෝන්දු මාන්දු වෙලා වගේ මේ හද්ද විගඩම බලාගෙන හිටපු හාද්දා, හාදිට තමන්ගෙ අල්ලෙන් හාදු පිට හාදු දීලා හඩ්ඩව ගෙදරින් පන්න ගත්තා. හඩ්ඩව පන්නන කොටම හඩ්ඩගෙ අතේ හුන්, හා-බැඳි රැහැනට දබර ඇඟිල්ලෙන් හා මාපටැඟිල්ලෙන් හාදු දෙකක් දීලා දඩ හාව ව හාද්දා තමන් ළඟට ගත්තා. එදා දවල්ට හාදි, හා හොද්දක් හැදුවයින්, හාද්දා හාදි එක්ක ආපහු හාද වෙලා, හාදිට හාදු වරුසාවක් දෙන්න ගත්තා, හරියට හාවෙක් වගේ හීලෑවට. බැලින්නම් හා මාලුව කාපු හාමත් බඩට, හද පුරෝගෙන ආපු සතුට දරාගන්න බැරුව, හාමත් බඩ හාවෙක් වෙලා! හාමත් බඩ හාවෙක් වුණ හින්ද, හාද්දත් හාවෙක් වෙලා! හාදිට හරි පුදුමයි. හාදිට කියල වෙන කරන්න දේකුත් නෑ. අන්තිමේ හාදි 'හා-හාද්දත්' එක්ක හාද වෙලා හා-හාද්දගෙ හාදු වරුසාව මැද හරි සතුටින් ජීවත් වුණා.




Friday, February 17, 2017

කෙළ පැමිණීම

කෙළ වනාහි එසේ මෙසේ දෙයක් නොවේ ය. විටෙක 'කෙළවීමටද' කෙළ බලපාන අතර තවත් විටෙක 'කෙළ පැමිණීමට' ද කෙළ බලපානවා.
'ඛේටය' නමින් සෞඛ්‍ය පොතේ මහප්‍රාණෙන් තිබුණට මොකද, උදෑසන හෙළන කෙළ පිඬක් තරම්වත් කෙළ වලට කිසිම වටිනාකමක් තැනක් නෑ. අපි නොදන්නවා උනාට, ඒක කෙළේගෙ 'කෙළ හිමිකම්' අත්‍යවශ්‍යයෙන්ම කැඩීමක්!
කෙළත්වයත් හරි ආතල් කරුණක්. කෙළත්වය තිතට ඇත්තෝ දත් හයිය ඇත්තෝ යි. එනිසාම සුපිරියට හිනාවීම උන්ට හරි ටොයිස් දෙයකි. හිනාවෙන්න දන්න නිසා ඕන වැඩක් 'හිකි හිකියෙන්' කිරීමට තරම් ඔවුන් කපටියෝ ය. ඉතින් කපටියන්ට කෙළ පැමිණීමට ඇත්තේ වැළමිටේ දුරකි.
කෙළ පැමිණීමෙන් පසු සිදුවෙන 'කෙළවීම' බොහෝ විට සිදුවන්නේ කෙළත්වය ගැන මනා අවබෝධයක් නැතිකමිනි. ඒකට හොඳම නිදසුන දැන් ටිකකට කලින් නැග්ග බසයේ ඩ්‍රයිවර් උන්නැහේ ය!!
මං අසුන් ගත්තේ පූජ්‍යාසනයේ. ඉතින් එතැන වාඩි වුණු හිලව්වට මං එවේලේ චතුරාර්‍ය සත්‍ය මෙනෙහි කිරීමට පටන් ගත්තා.
"බස් එකක යෑම ම මොන දුකක් ද අප්පා?
මේ වගේ පාරටම ගෙවෙන කරුමයක් ලැබුණෙ ඉතිං ලංකාව වගේ කාලකණ්ණි රටක ඉපදුණු නිසා නැත්තං වෙන මොන කෙංගෙඩියකටද?
මේ වගේ දුක් නොවිඳින්න නං සීතරටකට පැනගෙන පීආර් එක අරං
ආයෙ මළාට ලංකාවට නොඇවිඳින් ඉන්නෝන."
ඒත්, බස් එක නතර උන වෙලාවක එන්ජින් එක සුපිරියට වයිබ්‍රේට් වෙද්දි, බස් එකේ ඉඳං ඉන්න කෙඩෙත්තු ඇඟකට දැනෙන සැප.... හප්පා.. සීත රටකට ගියාට වඩා සනීපයි.
"යකෝ මොකක්ද ඒ කරපු පාහර වැඩේ..???
 ....බූරුවා!!"
අංකල් කෙනෙක් අවුරුදු 16ක් විතර කොලුවෙක්ව මෝටර්බයික් එකේ තියං, ට්‍රැෆික් එකට නවත්තපු අපේ බස් එක ඉස්සරහින් එයාගෙ බයික් එක වමට හරවල ටිකක් ඉස්සර වෙන්න හදනකොටම, ට්‍රැෆික් ක්ලියර් වෙලා බස් එක රෝදෙත් හප්පගෙන ගියාට අංකල්ට වස කේන්තියි. කේන්ති ගියේ බයට! තව පොඩ්ඩෙන් හැප්පෙනවා.
සතිපට්ඨානයෙන් වැඩකළානම් ඔහොම වෙන්නෑනෙ. දෙන්නටම සතිය හරිහැටි නැතිකමේ වැරැද්ද!!
මම ඊට පස්සෙ සතිපට්ඨානය මෙනෙහි කරන්න ගත්තා. සම්මා දිට්ඨියෙන් ම මම ඒ 'බූරුවා' දිහා බැලුවා. මම පූජ්‍යාසනයේ හිටපු නිසා ඩ්‍රයිවර උන්නැහේට යාරයක් දුර නෑ. එයා බෙල්ල එළියට දානකොට ජනේලෙයි ඩ්‍රයිවින් සීට් එකයි අස්සෙන් එයාව පේනවා. එයාගෙ කට රතුම රතුයි. හැමතිස්සෙම හොඳහැටි හපයක් හප හප ඔළුව ජනේලෙන් දාල, කල් මරලා වාහන ක්ලියර් වුණාම කෙළපාරක් දානවා. මම සම්මා දිට්ඨියෙන් බැලුවම තමයි දැක්කේ, කෙළ ගහන්නෙ තප්පරෙන් තප්පරේට! ඒ තරං වේගෙකින් කෙළ පැමිණි කෙනෙක් මම දැකල නෑ.
දැන් මගේ සම්මා සතිය ඩ්‍රයිවර උන්නැහේගෙ කෙළ පැමිණීම ගැන! මගේ සම්මා දිට්ඨිය උන්නැහේගෙ කෙළ ගැහීම දිහාවට. මගේ සම්මා වායාමය උන්නැහේගෙ කමකට නැති කෙළ පැමිණීම අපුලෙන් තොරව නිරවුල් මනසකින් විඳ ගැනීම!!!
"නුගේගොඩ බහින්න... නුගේගොඩ..."
ෂැක් අපරාදෙ.. තව ටිකක් හිටිය නම් මම බහින්නෙ මෙහෙම නෙවෙයි.. සුපිරි කෙළ පැමිණියෙක් විදියට,
 ඕක් දාලා!


Monday, February 13, 2017

ලලයියයි හූයියයි (පැටි කතා)

ඔන්න ලලයියයි හූයියයි කියලා නිවුන්නු දෙන්නෙක් හිටියා. ලලයියා, අම්මගෙ ඔඩොක්කුවට පනිද්දි හූයියා බිල්ඩින් බ්ලොක්ස් ගොඩට පැනලා සෙල්ලං නගර හැදුවා. ලොකු වුණාම ලලයියා අම්ම එක්ක ගමේම ඉන්නෝන කියල ගමේ නැවතුණා. හූයියා සැප ගන්නෝන කියල නගරෙට ගියා. ලලයියගෙ අම්මගෙ කෑම හරි සැරයි. ඒවගේම හරි රසයි. නගරෙ කෑමාම්මගෙ කෑමකඩේ කෑමත් හරි සැරයි. ඒවගේම හරි රසයි. එකට උපන්, එකට වැඩුණු දෙන්නා, දවසක් දෙතැනක ඉඳන් එකම එළෝලු එක්ක එකම විදියට හදපු බත් ව්‍යාංජනයක්, එක වෙලාවෙදි ම කෑවා. කාලා කට පිහදාගෙන පුටුවෙන් නැගිට්ටෙත් එකට.
ටිකකින් ලලයියා සින්දුවක් උරුවම් බාමින් අම්ම ළඟට ගිහින් අම්මට හාද්දක් දුන්නා. ටිකකින් හූයියා ආමවාතෙ පිටකරමින් කෑමාම්මගෙන් කැසිකිළියට යන පාර ඇහුවා.
ලලයියට අම්මා දිවුල්කිරි කෝප්පයක් හදල දුන්නා. ජූල් කිරි බීලා අන්නාසි පලුවකුත් කාලා ලලයියා පලු ගහ යට බංකුවේ ඉඳගෙන වෙල්යාය දිහා බලං හූයියා ගැන කල්පනා කරන්න ගත්තා.
කැසිකිළියෙන් ගොඩ ආපු හූයියට කෑමාම්මා යෝගට්ටෙකක් දික් කළා. යෝගට්ටෙකත් අරන් පාක් එක ඉස්සරහට ආපු හූයියා පාක් බෙන්ච් එකේ වාඩි වෙලා ලලයියා ගැන හිතන්න පටන් ගත්තා.
දෙන්නම දෙන්න ගැන හිත හිත, දෙන්න දෙතැනක සතුටින්™ ජීවත් වුණා.