Friday, February 17, 2017

කෙළ පැමිණීම

කෙළ වනාහි එසේ මෙසේ දෙයක් නොවේ ය. විටෙක 'කෙළවීමටද' කෙළ බලපාන අතර තවත් විටෙක 'කෙළ පැමිණීමට' ද කෙළ බලපානවා.
'ඛේටය' නමින් සෞඛ්‍ය පොතේ මහප්‍රාණෙන් තිබුණට මොකද, උදෑසන හෙළන කෙළ පිඬක් තරම්වත් කෙළ වලට කිසිම වටිනාකමක් තැනක් නෑ. අපි නොදන්නවා උනාට, ඒක කෙළේගෙ 'කෙළ හිමිකම්' අත්‍යවශ්‍යයෙන්ම කැඩීමක්!
කෙළත්වයත් හරි ආතල් කරුණක්. කෙළත්වය තිතට ඇත්තෝ දත් හයිය ඇත්තෝ යි. එනිසාම සුපිරියට හිනාවීම උන්ට හරි ටොයිස් දෙයකි. හිනාවෙන්න දන්න නිසා ඕන වැඩක් 'හිකි හිකියෙන්' කිරීමට තරම් ඔවුන් කපටියෝ ය. ඉතින් කපටියන්ට කෙළ පැමිණීමට ඇත්තේ වැළමිටේ දුරකි.
කෙළ පැමිණීමෙන් පසු සිදුවෙන 'කෙළවීම' බොහෝ විට සිදුවන්නේ කෙළත්වය ගැන මනා අවබෝධයක් නැතිකමිනි. ඒකට හොඳම නිදසුන දැන් ටිකකට කලින් නැග්ග බසයේ ඩ්‍රයිවර් උන්නැහේ ය!!
මං අසුන් ගත්තේ පූජ්‍යාසනයේ. ඉතින් එතැන වාඩි වුණු හිලව්වට මං එවේලේ චතුරාර්‍ය සත්‍ය මෙනෙහි කිරීමට පටන් ගත්තා.
"බස් එකක යෑම ම මොන දුකක් ද අප්පා?
මේ වගේ පාරටම ගෙවෙන කරුමයක් ලැබුණෙ ඉතිං ලංකාව වගේ කාලකණ්ණි රටක ඉපදුණු නිසා නැත්තං වෙන මොන කෙංගෙඩියකටද?
මේ වගේ දුක් නොවිඳින්න නං සීතරටකට පැනගෙන පීආර් එක අරං
ආයෙ මළාට ලංකාවට නොඇවිඳින් ඉන්නෝන."
ඒත්, බස් එක නතර උන වෙලාවක එන්ජින් එක සුපිරියට වයිබ්‍රේට් වෙද්දි, බස් එකේ ඉඳං ඉන්න කෙඩෙත්තු ඇඟකට දැනෙන සැප.... හප්පා.. සීත රටකට ගියාට වඩා සනීපයි.
"යකෝ මොකක්ද ඒ කරපු පාහර වැඩේ..???
 ....බූරුවා!!"
අංකල් කෙනෙක් අවුරුදු 16ක් විතර කොලුවෙක්ව මෝටර්බයික් එකේ තියං, ට්‍රැෆික් එකට නවත්තපු අපේ බස් එක ඉස්සරහින් එයාගෙ බයික් එක වමට හරවල ටිකක් ඉස්සර වෙන්න හදනකොටම, ට්‍රැෆික් ක්ලියර් වෙලා බස් එක රෝදෙත් හප්පගෙන ගියාට අංකල්ට වස කේන්තියි. කේන්ති ගියේ බයට! තව පොඩ්ඩෙන් හැප්පෙනවා.
සතිපට්ඨානයෙන් වැඩකළානම් ඔහොම වෙන්නෑනෙ. දෙන්නටම සතිය හරිහැටි නැතිකමේ වැරැද්ද!!
මම ඊට පස්සෙ සතිපට්ඨානය මෙනෙහි කරන්න ගත්තා. සම්මා දිට්ඨියෙන් ම මම ඒ 'බූරුවා' දිහා බැලුවා. මම පූජ්‍යාසනයේ හිටපු නිසා ඩ්‍රයිවර උන්නැහේට යාරයක් දුර නෑ. එයා බෙල්ල එළියට දානකොට ජනේලෙයි ඩ්‍රයිවින් සීට් එකයි අස්සෙන් එයාව පේනවා. එයාගෙ කට රතුම රතුයි. හැමතිස්සෙම හොඳහැටි හපයක් හප හප ඔළුව ජනේලෙන් දාල, කල් මරලා වාහන ක්ලියර් වුණාම කෙළපාරක් දානවා. මම සම්මා දිට්ඨියෙන් බැලුවම තමයි දැක්කේ, කෙළ ගහන්නෙ තප්පරෙන් තප්පරේට! ඒ තරං වේගෙකින් කෙළ පැමිණි කෙනෙක් මම දැකල නෑ.
දැන් මගේ සම්මා සතිය ඩ්‍රයිවර උන්නැහේගෙ කෙළ පැමිණීම ගැන! මගේ සම්මා දිට්ඨිය උන්නැහේගෙ කෙළ ගැහීම දිහාවට. මගේ සම්මා වායාමය උන්නැහේගෙ කමකට නැති කෙළ පැමිණීම අපුලෙන් තොරව නිරවුල් මනසකින් විඳ ගැනීම!!!
"නුගේගොඩ බහින්න... නුගේගොඩ..."
ෂැක් අපරාදෙ.. තව ටිකක් හිටිය නම් මම බහින්නෙ මෙහෙම නෙවෙයි.. සුපිරි කෙළ පැමිණියෙක් විදියට,
 ඕක් දාලා!


Monday, February 13, 2017

ලලයියයි හූයියයි (පැටි කතා)

ඔන්න ලලයියයි හූයියයි කියලා නිවුන්නු දෙන්නෙක් හිටියා. ලලයියා, අම්මගෙ ඔඩොක්කුවට පනිද්දි හූයියා බිල්ඩින් බ්ලොක්ස් ගොඩට පැනලා සෙල්ලං නගර හැදුවා. ලොකු වුණාම ලලයියා අම්ම එක්ක ගමේම ඉන්නෝන කියල ගමේ නැවතුණා. හූයියා සැප ගන්නෝන කියල නගරෙට ගියා. ලලයියගෙ අම්මගෙ කෑම හරි සැරයි. ඒවගේම හරි රසයි. නගරෙ කෑමාම්මගෙ කෑමකඩේ කෑමත් හරි සැරයි. ඒවගේම හරි රසයි. එකට උපන්, එකට වැඩුණු දෙන්නා, දවසක් දෙතැනක ඉඳන් එකම එළෝලු එක්ක එකම විදියට හදපු බත් ව්‍යාංජනයක්, එක වෙලාවෙදි ම කෑවා. කාලා කට පිහදාගෙන පුටුවෙන් නැගිට්ටෙත් එකට.
ටිකකින් ලලයියා සින්දුවක් උරුවම් බාමින් අම්ම ළඟට ගිහින් අම්මට හාද්දක් දුන්නා. ටිකකින් හූයියා ආමවාතෙ පිටකරමින් කෑමාම්මගෙන් කැසිකිළියට යන පාර ඇහුවා.
ලලයියට අම්මා දිවුල්කිරි කෝප්පයක් හදල දුන්නා. ජූල් කිරි බීලා අන්නාසි පලුවකුත් කාලා ලලයියා පලු ගහ යට බංකුවේ ඉඳගෙන වෙල්යාය දිහා බලං හූයියා ගැන කල්පනා කරන්න ගත්තා.
කැසිකිළියෙන් ගොඩ ආපු හූයියට කෑමාම්මා යෝගට්ටෙකක් දික් කළා. යෝගට්ටෙකත් අරන් පාක් එක ඉස්සරහට ආපු හූයියා පාක් බෙන්ච් එකේ වාඩි වෙලා ලලයියා ගැන හිතන්න පටන් ගත්තා.
දෙන්නම දෙන්න ගැන හිත හිත, දෙන්න දෙතැනක සතුටින්™ ජීවත් වුණා.


Wednesday, February 8, 2017

බුබුයෙලෝ (පැටි කතා)


ඔන්න එකෝමත් එක බුබුයෙලෝ කෙනෙක් හිටියා. දවසක් බුබුයෙලෝ ගමනක් ගියා. ගමන ගිහින් ගෙදර ආව. ගෙදර ආවම, ගෙදර තිබ්බෙ නෑ. තිබ්බෙ වලක්. බුබුයෙලෝ වලට බැහැල ගෙදර හෙව්ව. අන්තිමේදි ගෙදර හොයාගන්න බැරි වුණා. ඉතින් බුබුයෙලෝ සතුටින් වල ඇතුලෙ ජීවත් වුණා. ඒත් කොහෙන්දෝ ඉඳන් ආපු ප්‍රශ්නාර්ථයෙක් බුබුයෙලෝගෙ ඔලුවෙ වැහුවා. එතකොටම බුබුයෙලෝගෙ කට මිසර පිරමීඩයක් වුණා. එදා ඉඳන් අද වෙනකල් බුබුයෙලෝ ප්‍රශ්නාර්ථයෙකුයි පිරමිඩ් කටකුයි එක්ක වල ඇතුලෙ සතුටින් ජීවත් වෙනවා.