Friday, February 17, 2017

කෙළ පැමිණීම

කෙළ වනාහි එසේ මෙසේ දෙයක් නොවේ ය. විටෙක 'කෙළවීමටද' කෙළ බලපාන අතර තවත් විටෙක 'කෙළ පැමිණීමට' ද කෙළ බලපානවා.
'ඛේටය' නමින් සෞඛ්‍ය පොතේ මහප්‍රාණෙන් තිබුණට මොකද, උදෑසන හෙළන කෙළ පිඬක් තරම්වත් කෙළ වලට කිසිම වටිනාකමක් තැනක් නෑ. අපි නොදන්නවා උනාට, ඒක කෙළේගෙ 'කෙළ හිමිකම්' අත්‍යවශ්‍යයෙන්ම කැඩීමක්!
කෙළත්වයත් හරි ආතල් කරුණක්. කෙළත්වය තිතට ඇත්තෝ දත් හයිය ඇත්තෝ යි. එනිසාම සුපිරියට හිනාවීම උන්ට හරි ටොයිස් දෙයකි. හිනාවෙන්න දන්න නිසා ඕන වැඩක් 'හිකි හිකියෙන්' කිරීමට තරම් ඔවුන් කපටියෝ ය. ඉතින් කපටියන්ට කෙළ පැමිණීමට ඇත්තේ වැළමිටේ දුරකි.
කෙළ පැමිණීමෙන් පසු සිදුවෙන 'කෙළවීම' බොහෝ විට සිදුවන්නේ කෙළත්වය ගැන මනා අවබෝධයක් නැතිකමිනි. ඒකට හොඳම නිදසුන දැන් ටිකකට කලින් නැග්ග බසයේ ඩ්‍රයිවර් උන්නැහේ ය!!
මං අසුන් ගත්තේ පූජ්‍යාසනයේ. ඉතින් එතැන වාඩි වුණු හිලව්වට මං එවේලේ චතුරාර්‍ය සත්‍ය මෙනෙහි කිරීමට පටන් ගත්තා.
"බස් එකක යෑම ම මොන දුකක් ද අප්පා?
මේ වගේ පාරටම ගෙවෙන කරුමයක් ලැබුණෙ ඉතිං ලංකාව වගේ කාලකණ්ණි රටක ඉපදුණු නිසා නැත්තං වෙන මොන කෙංගෙඩියකටද?
මේ වගේ දුක් නොවිඳින්න නං සීතරටකට පැනගෙන පීආර් එක අරං
ආයෙ මළාට ලංකාවට නොඇවිඳින් ඉන්නෝන."
ඒත්, බස් එක නතර උන වෙලාවක එන්ජින් එක සුපිරියට වයිබ්‍රේට් වෙද්දි, බස් එකේ ඉඳං ඉන්න කෙඩෙත්තු ඇඟකට දැනෙන සැප.... හප්පා.. සීත රටකට ගියාට වඩා සනීපයි.
"යකෝ මොකක්ද ඒ කරපු පාහර වැඩේ..???
 ....බූරුවා!!"
අංකල් කෙනෙක් අවුරුදු 16ක් විතර කොලුවෙක්ව මෝටර්බයික් එකේ තියං, ට්‍රැෆික් එකට නවත්තපු අපේ බස් එක ඉස්සරහින් එයාගෙ බයික් එක වමට හරවල ටිකක් ඉස්සර වෙන්න හදනකොටම, ට්‍රැෆික් ක්ලියර් වෙලා බස් එක රෝදෙත් හප්පගෙන ගියාට අංකල්ට වස කේන්තියි. කේන්ති ගියේ බයට! තව පොඩ්ඩෙන් හැප්පෙනවා.
සතිපට්ඨානයෙන් වැඩකළානම් ඔහොම වෙන්නෑනෙ. දෙන්නටම සතිය හරිහැටි නැතිකමේ වැරැද්ද!!
මම ඊට පස්සෙ සතිපට්ඨානය මෙනෙහි කරන්න ගත්තා. සම්මා දිට්ඨියෙන් ම මම ඒ 'බූරුවා' දිහා බැලුවා. මම පූජ්‍යාසනයේ හිටපු නිසා ඩ්‍රයිවර උන්නැහේට යාරයක් දුර නෑ. එයා බෙල්ල එළියට දානකොට ජනේලෙයි ඩ්‍රයිවින් සීට් එකයි අස්සෙන් එයාව පේනවා. එයාගෙ කට රතුම රතුයි. හැමතිස්සෙම හොඳහැටි හපයක් හප හප ඔළුව ජනේලෙන් දාල, කල් මරලා වාහන ක්ලියර් වුණාම කෙළපාරක් දානවා. මම සම්මා දිට්ඨියෙන් බැලුවම තමයි දැක්කේ, කෙළ ගහන්නෙ තප්පරෙන් තප්පරේට! ඒ තරං වේගෙකින් කෙළ පැමිණි කෙනෙක් මම දැකල නෑ.
දැන් මගේ සම්මා සතිය ඩ්‍රයිවර උන්නැහේගෙ කෙළ පැමිණීම ගැන! මගේ සම්මා දිට්ඨිය උන්නැහේගෙ කෙළ ගැහීම දිහාවට. මගේ සම්මා වායාමය උන්නැහේගෙ කමකට නැති කෙළ පැමිණීම අපුලෙන් තොරව නිරවුල් මනසකින් විඳ ගැනීම!!!
"නුගේගොඩ බහින්න... නුගේගොඩ..."
ෂැක් අපරාදෙ.. තව ටිකක් හිටිය නම් මම බහින්නෙ මෙහෙම නෙවෙයි.. සුපිරි කෙළ පැමිණියෙක් විදියට,
 ඕක් දාලා!


No comments: