Tuesday, June 6, 2017

මේක මව් කුසකින් බිහි වූ ආපදාවක්!

කාපට් එකක එක කොණක් උඩ මනුස්සයෙක් ඉන්නවා. කාපට් එකේ අනෙක් කොණ ළඟ තව මිනිහෙක් ඉන්නවා. අර මිනිහ ඉන්දෙද්දිම ඒ මිනිහට නොදන්වාම මේ මනුස්සයා කාපට් එක අඳිනවා ඔහුගෙ ප්‍රයෝජනය සඳහා. එහෙම ඇද්දම මොකෝ වෙන්නෙ. කොණේ මිනිහ වැටෙනවා.
ඒ වගේ තමයි.
මිනිහෙක් සොබාදහම් පද්ධතිය තමන්ගෙ වාසියට අකුලනව නම්, ඒකෙ උඩ හිටං ඉන්න "පරිසරයට හිතැති" මිනිස්සු වුණත් වැටෙනවා. වැටිලා මැරෙනවා. එහෙම හිටං ඉන්න මිනිහව වැට්ටුවට පස්සේ ඇදපු මිනිහා තනිවෙනවා.
ඇයි ?
පරිසරය විනාශයෙන් මිනිස්සු වැටුණට මොකෝ විනාශ කළ පරිසර සම්පත් වලින්, විනාශය සිදු කළ පොරට ලොකු ලාභයක් ලැබෙනවා. ඒ වුණාට විනාශය කළ මිනිසාට සමාජයේ ගණු දෙනු කරන්න මිනිසෙක් නැති වෙනවා. අන්තිමේ ලාභයත් එක්ක තමන් සමාජයෙ තනි වෙනවා.
ඔය තියරිය මගේ යාලුවොන්ට පවා දැනෙනව අඩුයි. එහෙම වුණාම උන්ගෙ පොඩි එවුන් ගැන කවර කතා ද? අපි පොඩි කාලෙත්, අපේ අම්මල පොඩි කාලෙත් කළේ දරුවන්ගෙ ඔළුව ඇරලා බලෙන් එබ්බෙව්වා "අධ්‍යාපන තරඟකාරිත්වය" කියන ගුලියක්. අපි පොඩි කාලෙම පුරුදු වුණා විභාග තරඟෙට දුවන්න. දැන් ඉන්න පොඩි උන් ඒකාලෙට වඩා හපන්. උන් දුවන දිවිල්ලෙ වේගය දැක්කම එක අතකට මර බයයි. අනෙක් අතට හරි සතුටුයි.
බය තියෙන්නෙ මේ යන ස්පීඩ් එකේ හැටියට උන්ට උන්වම කොන්ට්‍රෝල් නැති නිසා බාධකයක් ආපු ගමන් හැප්පිලා මැරෙණ ප්‍රවණතාවය වැඩි වේගෙන යන නිසා.( ඒ කියන්නෙ ඉතා කුඩා ජීවිත ගැටළු ගැන නිවීහැනහිල්ලෙ ලබපු අත්දැකීම් නැති නිසා අත්දැකීම් විරහිතව ක්ෂණික තීරණ ගෙන විනාශ වෙන එක. නිවීහැනහිල්ලෙ හිතන්න ඔවුන්ට පුරුදු නැත්තෙ ඔවුන් එතරම්ම වේගවත්)
අනෙක් අතට තියන සතුට තමයි ඔවුන් අපේ කාලෙට වඩා ඉක්මනට හිතන්න දක්ෂයන්/ Fast thinkers ලා නිසා. උන් ඇකඩමිකලි පමණක් ඕනම ප්‍රශ්නයක් ඉතා ඉක්මන් විසඳනවා.
නමුත් අවාසනාව තමයි ඔවුන් බිත්ති හතරකින් බිත්ති හතරකට පමණක් මාරුවෙන්න දන්න, එළියෙ තියන ගස් මල් හඳුනන්නැති තත්වෙකට ඒ දරුවන්ගෙම අම්මල තාත්තල ඒකලව හදල තිබීම. මොකද අම්මල තාත්තලගෙ ඔලුවල ඊට කලින් පරම්පරාවෙ දෙමාපියන් පැලකරල තියෙන්නෙ එහෙම මානසික විෂබීජයක් නිසා. ඉතින් දැන් එයාල ඒක තමන්ගෙ දරුවන්ටත් වපුරනවා. උන්ට ඒ විෂබීජය දෙගුණයක් වැඩියෙන් තමයි පරිණාමිකව සැකසෙන්නෙ. ඉතින් අපෙන් බිහි වෙන පොඩි උන් අනෙකා තල්ලුකර පාගා යන්නෙ අපිටත් වඩා අතිශය තරඟකාරී, අසංවේදී, ඉතා වේගවත් 'උගත්' චින්තකයෝ විදියට පමණයි. උගත් කියන්නෙ ඉගෙන ගත් කියන එකට.
දරුවෙක් බඩට ආපු දා ඉඳලම අම්මලා පොඩි එකාව බිත්ති හතරකින් තවත් බිත්ති හතරකට මාරු වෙන අසංවේදී සත්තු විදිහට පුරුදු කරන්න හිතනවා. ඉන් පස්සෙ එහෙම කරවනව.
ගහක වැලක අත්දකීමක් දෙන්නෙ නෑ. ඒව පෙන්නන්නෙත් අර බිත්ති හතර ඇතුළෙ ඉඳන් වීඩියෝවකින්. මෙන්න පුතේ ගස්. මෙන්න පුතේ කඳු. ඉතින් උන්ට ඒවා දැනෙන්නෙ නෑ. ඤාණනය වෙන්නෙ නෑ. හැබැයි උන් ඒවල විද්‍යාව දන්නව. විද්‍ය්‍යාත්මක සංයුතිය, විද්‍යාත්මක නාමයන් දන්නවා. ඒවයෙ ප්‍රභවය සහ විභේදනයත් දන්නවා. ඕන වෙලාවක ඇහුවොත් කියන්න තරම් කටපාඩම්. ඒත් දැනෙන්නෙ නෑ. සංවේදී නෑ. ඒව ස්පර්ශයෙන් හෝ දැක සතුටු වීමෙන් හෝ ඒ සමඟ සිට ලබපු අත්දැකීම් ඤාණයක්, මානසික ඤාණයක් හෝ ලැබිල නෑ. අන්න එතනයි වරද!
අපි මේ ලෝකෙ ජීවත් වෙනවා. මේ ලෝකෙ කියන්නෙ මොකක්ද කියල ආයෙ හිතන්න බලන්න. හරිතය සමඟ පස.., ජලය.. වායුව සහ මේවා නිසාම බිහි වුණු මෙන්ම මේවා භුක්ති විඳින සතා සිව්පාවා. ඉතින් ජීවත් වෙනව කියලා අපි ජීවත් විය යුත්තේ අන්න ඒ "මේ ලෝකේ දේවල්" එක්ක මිස,, ඔය කියපු පද්ධතියෙන් වෙන් වුණු කුටීර ඇතුලෙද?
මෑත කාලයේ දෙමාපියන් ළමයින්ට කියා දෙන්නෙ, එළියෙ පරිසරයෙ ගහ කොළ, කෙසේ හෝ සල්ලි කොළ බවට හරවලා.. පරිසරයෙන් වෙන්වුණු කුටීර හදාගෙන අන්න ඒ කුටීර ඇතුළෙ අර සල්ලි වියදම් කරමින් ජීවත් වෙයන් කියලා.
ඔය තියරිය නිසා එළියෙ පරිසරයෙ දේවල් ටික ටික අඩුවෙනවා. ඒත් ඒ අඩුවෙන ප්‍රමාණයට සාපේක්ෂව කුටීරෙ ඇතුලෙ සැප සම්පත් වැඩි වෙනවා. ඒ ඇතුළෙ මිනිස් ගහණයත් වැඩි වෙනකොට තව තව පරිසර සම්පත් විනාශ වෙනවා.
ඔන්න කුටීරයෙන් පිට පරිසරයෙ ඉතුරු වෙන අන්තිම ගහත් එක දවසක අර කාපට් කොණෙන් ඇද්ද වගේ අදිනවා.. තමන්ගෙ වාසිය තකා පරිසර සමතුලිතතාවය බේර ගැනීමට.( පරිසර සමතුලිතතාවය බේරගැනීම වාසියක්!). ඉතින් දන්නෙම නැතුව අර කුටීරෙ පිටින්ම පරම්පරාවක් හෝ වර්ගයක් එහෙම් පිටින්ම වැටිලා විනාශ වෙනවා. මතක් කරන්න ව්‍යසන වලදී ගර්භනීන්, කුඩා දරුවන් මැරුණු හැටි. ගම්පිටින් අතුරුදන් වූ හෝ මැරුණු හැටි. ජාතියක පරම්පරාවක් විනාශ වී යෑමක්. පරිසරය ඔහොම සෙල්ලමක් කරන්නේ 'විනාශකාරී' මානසිකත්වය තියන අයගෙන් මිදිලා පරිසරයට තනිවෙන්න. තනිවෙලා ලෝකේ ලෝකයක් විදියට හඳුන්වන පරිසරය රැක ගන්න. මොකද පරිසරය කියන දේට මිනිස්සු කියන ජීවි වර්ගයා ඉතා සරල එක දෙයක් විතරයි.
මෙහෙම "ජීවී ග්‍රහලොවක්" විශ්වයේ හැදුණම ඒ හැදෙන්නේ යම් දේකට. මානවයා කියන බුද්ධි සතාට තමන්ගේ මානවීය දහම ප්‍රගුණ කරන්න වාසස්ථානයක් විදියට. ඒත් ඒකෙ ඉපදෙන උන්ගෙ කිරි කෑ මුත්තලාගෙත් කිරි කෑ මුත්තෝ ඒ කියන්නේ මුතුන් මිත්තෝ අර කලින් කිව්ව සොබාවික ලොවත් එක්ක ඉඳලා ලබපු සොබාවික ඤාණයෙන්, පරිසරය සමඟ යාලු මිත්‍රකමින් ඉන්න ඕන කොහොමද කියන එක තම මුණුබුරොන්ට කියා දුන්නා.
ඒත් අද වෙද්දි ඒ දේවල් ඔක්කොම කණ පිට හැරිලා.
මිනිස් පැටව් මෙලොවට බිහි කරන්න පුළුවන්. නමුත් උන් බිහිවූ පසු උන්ගෙ චින්තනය හැඳීමේදී ඉතා කල්පනාකාරී වන්න!!
කෑමක් බීමක් නැතුව කියා හෝ දුක් මහන්සියෙන් කියා හෝ ඔබ හදන ඔබේ දරුවාගේ "චින්තනය" නිර්මාණය විය යුත්තේ යම් දවසක මුළු ලොවකටම යහපතක් උදා කර දීමටයි! එය,, ජාත්‍යන්තරය ජය ගන්නවා යැයි හෝ ජාත්‍යයන්තරයේ "නාමයක්" තබන ක්‍රියාවලියක් නොව, තමන්ගේ සුබ සිද්ධිය තකා පරිසරයට කරන යම් සුළු යහපත් ක්‍රියාවක් විය හැක.
හිතන්න. ඔබේ,සොබාවික ලෝකය ගැන අසංවේදී සහ නිවැරදි චින්තනයක් නැති දරුවා...පාරට ටොෆි කොළයක් දැම්මොත්? එතනට තව කුණු එකතු වී.. කුණු ගොඩක් වී.. කුණු අවහිර වී.. පරිසර පද්ධතියේ දෝෂ ඇති වී... පාරිසරික ආපදා වී.. එම ජාතික ව්‍යසනය ලෝක ව්‍යසනයක් විය හැක.
එනිසා කරුණාවෙනි. ඔබේ දරුවා මේ බුද්ධි ලෝකයේ දී සොබාවිකත්වයට සංවේදී කරවන, නිස්කාන්සුවේ මේ ලෝකය දෙස බලන්න පුරුදු කරවන, හැඟීම් දැනීම් ඇති "මිනිස් දරුවෙක්" කර දෙනු මැනවි! එවිට පවුල් ප්‍රශ්න, සමාජමය අක්‍රමිකතා, ජාතික කලකෝලාහල, ලෝක විපත් සිදු නොවනු ඇත. එවැනි කලබල නැති නිසා වූ නිස්කාන්සුවම මිනිසාට මිනිසා නොදත් බොහෝ දෑ කතා කිරීමට මාතෘකා සපයනු ඇත!

(2017 මැයි ගංවතුර පසු සටහන)


No comments: