Thursday, January 9, 2014

ආදරය!

හපාට ඉර එළිය වැටුණු තුරු සෙවණක සිත් නළවන මනස්කාන්ත දසුනක් දුටු මට එක්විටම මතක් වුණේ, මට අද කියවන්න ලැබුණු ප්‍රථම ආදරයේ වියෝදුකක් ගැන ලියැවුණු ගී පෙළක් ගැන විමසුමක්. ගීතයෙන් කියැවෙන්නේ තම නිමල ආදරය පිදූ තරුණියට, ඇයගේ අකමැත්තෙන් වුවත් වෙනකෙකු හා පතිකුලයට යෑමට බෝසත් ගුණ යුත් තරුණයකු අවසර දීම ය.
"එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට..
නෙලා නොගතේ මගේ බෝසත් කමට.. "
මම මොහොතක් මනහර දසුනට නැවත නෙත් යොමා සිතන්නට වීමි. කහපාට හිරු එළිය දැකුම්කළු අයුරින් නිදහස් ආලෝකාධාරාවන් පොළොව මතට විසුරුවා හැර ඇත. නෙක වර්ගයෙන් වෘක්ෂයෝ ඒ හිරු එළියේ නිදහසේ නැහැවෙති.


මේ අලංකාර නිල්ග්‍රහ ලොව මත අප කී වරක් පුනරුත්පත්ති ලබූවෝ වෙම්හු ද? නොයෙක් ජීවිත ලද්දවූවෝ වෙම්හුද? ධනවතෙක්, මධ්‍යම පාංතිකයෙක්, දිළින්දෙක්, උපතින් රෝගියෙක්....?


මාක්ස් එක් ආත්මයක අන්ත ධනවතෙක් වී නිර්ධනයන් පෙළූ කෲර පාලකයෙක්ව සිටින්නට ඇත. එමෙන්ම එම ආත්මයෙන් මිදී එම පරම්පරාවේ පසු පරම්පරාවකට අන්ත දාසයෙකු මෙන් ඉපදී දාසකම් කර තිබුණා හෝ කරනවා විය හැක. එළාර අද දින හෙළ බොදුනුවකු වී ජාතිමාමකත්වයෙන් ඔද වැඩී සිටින්නෙකු විය හැක.


අපද එසේම ය. එද කණ කැස්බෑවා වියසිදුරින් එළිය දුටු කළක මෙන් ලැබූ මිනිස් භවය නිසා මිනිසෙක් වී ඇත. ඒ අතර තුළ භවයන්හි තිරිසන්, ප්‍රේත ආදියෙහි ද, කල්ප ගණන් අපා දුකද සැබැවින්ම විඳ තිබිය යුතු ය.
මේ කහපාට ඉර එළිය යට සිට අප කොතෙක් නම් අනේක වූ දේ කරමින් සිටිනනවාද? එසේ කරන අනේක දේ අතරින් පුංචිම නමුත් මහා ගැඹුරට වගකිව යුතු දෙය


ආදරය!


බොහෝ බරපතල වචනය!


ප්‍රේත, තිරිසන් ආත්මවලට යන්නට පාර කපන්නා.., අපායේ කල්ප ගණන් දුක් විදින්න පාර කියන්නා.. මේ වචනය ඇතුළෙ ගිලිලා, හැංගිලා.


මම නැවතත් අර මනහර හිරු එළියේ රැස් නාන තරුණ තුරු දෙස බලමින් කල්පනා කරනවා. සංසාරෙ අපි ගිණිය නොහැකි තරමට ආදර කරන්න ඇති. ඒ තරමටම වෙන්වන්න ඇති. ආදරය පූජා කරන්න ඇති. පෙම්වත් කවි ලියන්න ඇති. පෙම්වත් කවි කියන්න ඇති. පෙම්වත් සිතුවම් අඳින්න ඇති. පෙම්වත් රැඟුම් රඟන්නට ඇති.
මට ලා හිරු එළියෙ ළවැලි තලාවක නටන සඳ කිඳුරෙක් සහ සඳ කිඳුරියක් මතක් වුණා. අතීතයේ මා ලියූ ගීයක කොටසක් මගේ හිත මුමුණන්න ගත්තා.


"වැලි තලාවක ලහිරු කැන් වැද
සෙනේ මඬලක් තනවමින්
දෙලෝ දෙවොලෙක සුරලියක වෙද
රඟන සේ සඳ කින්නරුන්?"


ඒ ගීය මගේ ප්‍රථම ආදර හැඟුමින් ලැබූ උද්දාමයෙන් ලියැවූවක්.
ජීවිතය ගැන හිතද්දී අපේ අතීතය මතක් කරමින් සුන්දර සිනහ මුවඟ නංවමින් මහා සුසුමකින් ළය හෑල්ලු කරමින් කියන්න හදන ජීවිතය.., මහා පුදුමයක් නෙවෙයි, ජීවිතය කියන්නෙ හරි අපූරු රටාවක්!


අද මට කියවන්න ලැබුණු ආදරයේ වියෝව මැදිහත් සිතින් දරණ බෝසත් තරුණයාගේ ගීය මට මතක් කළේ සංසාරයේ අපේ භවයන් ගැනයි. 


සංසාරයේ එකට පතාගෙන එන සංසාර සඟයෙක් ලැබූවෙකු ලෙස මට ඇත්තේ ආදරය ගැන මිහිරක්. ඒ ආදරයේදී අතරමැදියන් ලෙස හමු වූවන් අපත් සමඟ සසරේ ඇවිද ආවුන් විය නොහැක්කේ මන්ද? මට අද ළඟින් මුණ ගැසුණු සියල්ලන් මා පෙර පිනෙන් ලද අය යැයි සැම විටම මට සිතෙන්නේ ඔවුන් තුළ මා දකින ගුණ දම් නිසා ය. යම් පමණකට කළණ මිතුරන් නිසා ය. 


අප නොදැනුවත්වම පයට පෑගුණ කුහුඹුවා වෙනුවෙන් පෙර යම් ආත්මයක අප නොසෑහෙන්න ආදර විරහ වේදනාවෙන් කඳුලු හෙලන්නට ඇත. අද මා ගසක් මුල වාඩි වී ලේඛනයක් ලියන්නෙත්, ආදර කළ සොඳුරා මා යටි පතුල පාමුල තෘණ ගස් අතරින් ඇවිද යන්නේත් කිනම් වෙනසක අරුමයකින් ද?
මේ වෙහෙස අතරේ, අප සවණ නිතර දෙවේලෙහි නොනවත්වා ඇහෙන මෙම අරුමයට හේතුවන බණ පදයට මඳකට හෝ නැවතී සිත් යොමන්නට දැන් මම කැමැත්තෙන් සිටිමි.

1 comment:

බස්සි (Yash) said...

/අප නොදැනුවත්වම පයට පෑගුණ කුහුඹුවා වෙනුවෙන් පෙර යම් ආත්මයක අප නොසෑහෙන්න ආදර විරහ වේදනාවෙන් කඳුලු හෙලන්නට ඇත. අද මා ගසක් මුල වාඩි වී ලේඛනයක් ලියන්නෙත්, ආදර කළ සොඳුරා මා යටි පතුල පාමුල තෘණ ගස් අතරින් ඇවිද යන්නේත් කිනම් වෙනසක අරුමයකින් ද? /

මහ බරට දැනුනා මේ ටික. මටත් හිටිගමන් කල්පනා වෙන, පැය ගානක් මූඩ් ගහල ඉන්න හේතුවෙන දෙයක් තමයි ඔය.

මුතු අක්කා අහල තියේද බුදුසාදු දවසක් කඩියො පස් දෙනෙක් පේලියට යනව බලාගෙන ඉඳලා කට කොනින් හිනා වුනාලු. ආනන්ද හාමුදුරුවො ඇහුවලු ඒ ඇයි කියලා. බුදු සාදු කීවලු, මේ හැම කඩියෙක්ම පෙර ආත්මෙක සක්විති රජවරු වෙලා ඉපදිලා තියෙනව කියලා. :/