Tuesday, July 28, 2015

ග්‍රීන් ටී සංවත්සරය

ඒ මම ග්‍රීන් ටී බීපු අති සාර්ථක පනස්වෙනි සංවත්සරය. එදා අපේ ගෙදර ජය මංගල ගී තාලෙට බට දඬු නලා පිඹ පිඹ - ජය පැන් බොන මී මැසි සෙබළ ‍රැලක් හඬ තලමින් හිටපු වෙලාව!

හැමෝම ජයටම වැඩ. ඒ අතරේ මම උන්නේ අතපය හතර අතට දාගෙන නිදගන්න පුළුවන් තරම්  ලොකූම ලොකු, මහතම මහත සැන්විච් පාන් පෙත්තක් උඩ මුණින් අතට වැතිරිලා.

කවුරුහරි දැක්කනම් කියන්නෙ මෙච්චර වැඩ අස්සේ මේකි නිදාගෙන ඉන්න අපූරුව කියල නම් තමයි. ඒත් ඇත්තටම මම හිටියෙ මගේ කිලෝ හැටකට ආසන්න පංචමහ භූතයොටික හදවතට යට කරගත්තම හදවතයි කනයි එකම තලයකට තෙරපිලා තියෙද්දී සද්දෙට ඇහෙන ඒ බීට් එක අහගෙන..

ලබ්-ඩබ්   ලබ්-ඩබ්  ...

ටික වෙලාවක් ඒ රිද්මය මගේ හිත සමාධියකට ගෙනල්ලයි තිබ්බේ... ඒත් ඒ ටිකම ටික වෙලාවයි. ටික...ම ටික වෙලාවයි. හැබැයි ඒ ටික වෙලාවෙ මම ඇත්තටම හොඳ භාවනාවක හිටියේ.. වටපිටාවෙ කිසි දෙයක් ඇහුණෙ නෑ. මගේ හද රිද්මය විතරමයි මට ඇහෙන්නේ.

ලබ්-ඩබ් ලබ්-ඩබ්...ඩබ්....__/\_/\/\___/\__

ටික ටික ඒ රිද්මය වෙනස් උනා.. හරියට හාවෙක් පස්සෙ බල්ලෙක් පනිනව වගේ.. එක පිම්මයි, දෙපිම්මයි, එක පිම්මයි දෙපිම්මයි.. ළබ් -ඩබ් ඩබ් --- ළබ්-ඩබ් ඩබ් (මෙතන 'ල'යන්න ලොකුවට සද්ද කරන්න ඕන, මොකද ඒ වෙලාවෙ නාලිකා වලින් රුධිරය පොම්ප කළෙත් හරි ලොකුවට)

''එන පොට හොඳ නෑ මුතුවෝ..''
 මගේ හිත් තුනෙන් එක හිතක් මට කියනවා ඇහුණා.. ඒත් ඒ මොන හිතද කියල ඒ වෙලාවෙ මට හරියට තෝරගන්න බැරිවුණේ හරි භයානක විදියට කියපු ඒ වචනෙ ගැන විතරක් මම කල්පනා කළ නිසා. ඇඟ ගල් ගෙඩියක් කරගෙන මම හදවතේ 'සා-බලු-පිමි' අධ්‍යනය කළේ හරියට, මම ගෙදරින් එළියට බැහැල පාරෙ ටිකක් දුර ගියාටත් පස්සෙ තාත්ත මගෙන් අහන 'දොර ලොක් කරලද ආවෙ?' ප්‍රශ්නයට මම ප්‍රතිචාර දක්වන විදියටමයි. කොටින්ම ඒ හැම අවස්ථාවකදිම මම ගල් ගැහිලා ඇත්තටම දොර ලොක් කරාද කියලා සහතික කරගන්න ලොකු වෙහෙසක් ගන්නවා.

කොයිහැටි වුණත් ඒ වෙලාවෙ මගේ හාට් බීට් එක නම් අක්‍රමවත්. අඹරුක්මුළ වෙද රාළ කිව්වෙ හාවෙක් පස්සෙ බල්ලෙක් පන්නද්දි ඇඟේ මුල් පොටවල් ගැන කම්පනාවෙන් ඉන්නය කියලා. මම තව කල්පනාවෙන් බීට් එකට ආයෙත්.., ආයෙ අයෙත් කන් දුන්නෙ ඒ නිසයි.

මම දන්නවා කවුරුවත් පන්දාහෙ කොළේකටවත් විස්වාස කරන එකක් නෑ...ඒත් ඒ වෙලාවෙ ඒක බීට් වුණේම, 'මල්සරාට ප්‍රේම ලෝකෙ මාළිගා තනා සිංදුවෙ තාලෙටමයි...'ඔව්.. ඒ තාලෙටමයි!

ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්..න්..
ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්ක ඩන්..න්.....
ඩඩන් ඩන්...ලබ් ඩබ් ලබ් ඩබ් ලබ්....
ඩඩන් ඩන්....  ලබ් ඩබ් ලබ් ඩබ් ලබ්....

දවල් මඥ්ඥං කියන්නෙ මේවටද කියලා මම පොඩ්ඩක් සැලකිලිමත් වුණා. මේ කාලෙ මොනව කියල විස්වාසෙට ගන්න පුළුවන් කාලයක් ද? ඒත් මගේ සතර ඥ්‍යානයන්ටම ගෝචර වුණු එකම දේ මගේ හාට් බීට්ටෙක ඩ්‍රම් බීට් එකකට මාරු වෙලා කියන එක විතරයි.. ඉතින් මම මහ ගොඩක් හිතන්න ගත්තා.

ඔය අතරෙදියි චංචලා මගේ ළඟට කඩාගෙන දුවගෙන ආවෙ. ආපු විදියෙන්ම තේරුණා මේ කලබල දවසෙ මොකක් හරි නොසණ්ඩාල වැඩක් කරලා කාගෙන් හරි කොසු පාරක් කාලයි එන්නෙ කියල. චංචලාත් මගේ ළඟට ආවයින් පස්සෙ ආපු වේගෙ බාල කරල මගේ ඇඟේ දැවටෙන්න ගත්තා.

  ''චංචලෝ...'' මම දැන් හදන්නේ ඒ ලොකූ කතාව දිගාරින්න.

චංචලත් ඇගේ කවදත් කලබල වෙන පංචේන්ද්‍රියම සසල කරමින් මගේ දිහා ලොකූ බයකින් බැලුවා.

  ''යකූ, ඔහොම බලන්න එපා බං.. ටිකක් රිලැක්ස් වෙයන්කො.. මමයි හරිනම් බයවෙලා උඹ දිහා බලන්න ඕන, මේ වෙන අපභ්‍රංස වලට...''
 එහෙම කිව්ව කියලා චංචලා බය නොවී හිටියේ නෑ. ඇස්දෙක එහෙ මෙහෙ විසි කරමින් මගෙන් ඇහුවෙ;

   ''ඇයි මේ සැරේ මොකද?''

ඈ ඒක හරියට ඇහුව ප්‍රශ්නයක් නොවෙන වග මම දැනගත්තා. මොකද, මේ සැරේ මොකවත් වෙන්න, කලින් සැරවල්වල මට මෙහෙම දෙයක් වෙලාම නැති නිසා. ඔය වෙලාවට තමයි මට ඒකිගෙ රැවුලෙන් ඇදලා රිද්දන්න හිතෙන්නේ. ඒත් මට ඊට වඩා වැදගත් වෙන්න ඕන මගේ අලුත්ම වෙනස ඈට කියන එක.

  ''හොඳට අහගනින්.. හැමෝම මගේ ග්‍රීන්ටී සංවත්සරේට ලෑස්තිවෙන වෙලාවෙ., ඒ අය කලබල කරන්න මගේ කිසි අදහසක් නෑ. ඒත් උඹ හරි මේක දැනගෙන තියන එක හදිසියක් වුණොත් වටිනවා. එහෙම කියල මම ඇගේ දෑස් දිහා ලොකු වගකීමකින් බැලුවා.

  ''ඉතින් ඔය ඇස් දෙක එහාට ගනින්... උඹේ ඇස් දැක්කම මටත් නැති බයක් එනව බං...''

ඒකි මගේ වචනෙට බයෙන් කියන පරක්කුව ඇස් අහකට ගත්තා.

  ''හොඳයි එහෙනම්... අපි ඊයෙ රෑට කෑවෙ මොනාද?''

  ''කොත්තු..''

  ''අන්න හරි.. ඒ කොත්තු ගැනයි මම මේ කියන්නේ....  ...දන්නවද? කොත්තු කද්දි මම කොත්තුවෙකුත් කාල..''

  ''මොනවා.....??? '' චංචලා තව ඇස් ලොකු කර ගත්තා..

  '' හිටපන්කො කලබල නොවී..'' එහෙම කිව්ව කියල ඒකි කලබල නොවී ඉන්නෙ නෑ කියල මම දන්නවා.. ඒත් මට කීමට කියවුණා. ඒකි දිලිසෙන ඇස් ලොකු කරගෙන දිගින් දිගටම මං දිහා බලන් ඉන්නවා.

  ''ඒ කොත්තුව හදපු කොත්තුවාව නොදැනිම මට කැවිල, ගිලිලා බං..'' මම බොහොම කණස්සලයෙන් කිව්වා..

චංචලා කොයිතරම් චංචල වුණාද කිව්වොත් ඒකිට කෑගැහුණා..

  ''...ඥාආආආආආආආ.............ව්...ව්...ව්..ව්......''

මම ඒ වෙද්දි හිටියෙ සැන්විච් පාන් පෙත්ත උඩ කකුල්දෙක බිමට එල්ලෙන්න වාඩිවෙලා. ඇගේ කෑගැහිල්ල වහන්න කොට්ටෙ යට තිබුණු පොරෝන රෙද්ද අරන් මම චංචලාගෙ ඇඟට කඩා පනින්න හැදුව විතරයි.... එක පාරටම ලොකූ ඔක්කාරයක් ඇවිත් අයිස් බකට් චැලේන්ජෙකේ වතුර නාවනව වගේ මම චංචලාගේ මුළු ඇඟම කොත්තු මිශ්‍රණයකින් නෑව්වා..



ඔය අතරදි තමයි ඇහුණේ ජනේලෙ පැත්තෙන් ට්‍රම්පට් හඬක්.. ඒක හරියට පෙරදිග යුද ජයකදී ජය සක් පිඹිනව වගේ ජයග්‍රාහී හඬක්. ඒ එක්කම මුකුත් හිතන්නත් කලින් ක්ෂණයකින් කැරපොත්තො රොත්තක් කාමරේට කඩාපැනලා මුලු කාමරයම චෙක් කරලා අනතුරුව තැන තැන ස්ථානගත වුණා.. ටිකකින් තව කැරපොතු ගාඩ් එකක් එක්ක තෙල් කූඹි පෙරහැරක් කාමරේට එනවා ඒ  'ජයපත' ප්‍රධානය කරන්න.

එක කැරපොත්තෙක් ගුවන් ගත වී මගේ කනට ළඟ සාර්ථක අන්දමින් ගොඩබැස්සා .. ඒ වෙනකොටත් මගේ කට වටේට කොත්තු කෑලි. මම කට පිහිදාල කාරිය ටිකක් පිළිවෙලක් වුණා.

   ''තමුන් මුතුවද?''

   ''ඔව් සර්..''

   ''තමුන්ට ජයපතක් තියනව පිළිගන්වන්න..''

   ''ඒ.. ඒ මොකටද සර්...?''

   ''කොත්තුවා අල්ලල දුන්නට..''

   ''ඒහ්? ''

   ''ඔව්.. තමුන් කළේ ජාතික මෙහෙවරක්. මෙතුවක් කාලයක් මිනිස්සුන්ගේ හාට්බීට් එකට ලල් එකක් දීලා, විවිධ රෝග රැසකට වගකිවයුතු පුද්ගලයෙක් වුණු මේ අපරාධකරුවා, තමුන් විසින් භක්ෂණය කොට වමාරා දැමූ මහැඟි සේවයට, අප රජයෙන් තමුන්ට ජයපතක් ප්‍රධානය කරන්න තීරණය කරා. රැජිණගේ අතින් එය පිළිගන්න...''

මට ආයෙත් ඔක්කාරයට එන්න වගේ.. චංචලා කොත්තු මිශ්‍රණය මැද වැටිලා ඉඳන් ඇගේ නහය ඉස්සරහ එක එල්ලේ හරහට වැටිල ඉන්න කොත්තුවා දිහා ඇස් දෙක වපර කරගෙන  නැට්ටත් උස්සගෙන බලාගෙන ඉන්නවා.

තෙල්කූඹි පෙරහැර මගේ දෙපා මුළටම ඇවිත් සිරි ලංකා ගීය, සිංහල දෙමල මුස්ලිම් බර්ගර් ආදිවාසී භාෂා පහෙන්ම ගයලා මට ආචාර කරා. ඉන්පස්සෙ මම දෙකට නැමිලා තෙල්කූඹි රැජිණගෙන් ජයපත්‍රය ලබාගත්තා. නැමෙනකොට තමයි මම දැනගත්තේ තෙල්කූඹි රැජින චීනෙක් බව. දන්නවද? රැජින මට තේපැන් සංග්‍රහයකට ආරාධනා කරා නේ...

මම වෙනුවෙන් ගෙදර ලොකු උත්සවයක් තිබුණත් රැජිණකගෙ ඉල්ලීම අහකදාන්න බැරිකමටම මම ඇයත් එක්කම මාළිගාවට ගියා. එතකොට චංචලා? ඒක තමයි අනේ.. මම ඒකිට කිව්ව තේපැන් සංග්‍රහයට මගෙත් එක්ක යන්න එන්න, කොහෙද ඉතින් කොත්තු මිශ්‍රණෙන් නෑවිලා හිටපු නිසා ඒකි යන එක පස්සගැහුවා... මට හැබැයි සැකයි ඒකි බෑ කිව්වෙ ඒකටමද, නැත්නම් අර ඉලන්දාරි කැරපොතු ගාඩ්ල නිසාද කියලත්.... මේකි මේම හිටියට කොයිවෙලෙත් කැරපොත්තන්ට කෙළ හලාගත් ගමන් ම නේ ඉන්නේ.. !

ඒක නෙවෙයි අනේ කතාව.. බලන්න එපැයි මට තිබුණු පිළිගැනීම. කඩියො, දිමියෝ, ඇඹලයෝ, හින්නො, කළුකූඹි, තව මම ආස නැති ගඳ කූඹිත් මට තොප්පි උඩ දදා කෑගහමින් ඔල්වරසන් දුන්නු හැටි! පාටපාට දිලිසෙන කොලකෑලි, ක්‍රේප්පටි මගේ ඇඟ පුරාම.

රැජිණ හරිම සුහදශීලියි. ළෙංගතුයි. ඈ ආගිය තොරතුරු ගොඩක් කතා කරා. අපේ රටේ දේශපාලනය ගැන කතා කරන්න එනකොටම මම කතාව  වෙන පැත්තකට හරවන්න ඈ අත ඇති සෙංකෝලය ගැන කතා කළා. අන්තිමේ දි ඈට අහපු ප්‍රශ්නෙ අමතක වුණා.

ඔන්න රජෝ දැන් තමයි වෙලාව! එක පාරටම පොළොව යටින් සුදු රෙද්දකින් වහපු මේසයක් හෙමි හෙමින් මතු වුණා... සම්පූර්ණෙන්ම මේසය උඩට ආවට පස්සෙ, ඔලිම්පික් උළලේදි මහ පතාක ඔලිම්පික් කොඩිය ඈතින් බැලුවම පුංචි මිනිස්සු ටිකක් උස්සන් යනව වගේ, කූඹියො රොත්ත බුරුත්තක් ඇවිත්, හරිම ලස්සනට සුදු රෙද්ද ඇරලා, තේ මේසෙ නිලවශයෙන් විවෘත කළා.

   ''හම් බේ...... ඒක තේ මේසයක්ද දිව්‍ය භෝජනගාරයක් ද?''

මගේ ඛේට ධාරිතාවය වැඩිවෙලා රැළිගහන්න පටන් ගත්තෙ ඔන්න ඔය වෙලාවෙ. මම නන්ස්ටොප් කෙළ ගිලිල්ලක් ආරම්භ කළෙත් ඒ නිසා කියමුකො. ඒ නම් මදෑ, මගේ දිවත් බ්‍රේක් ඩාන්ස් කරන්න පටන්ගෙන හත් මඟුලයි..! අපොයි මම ඉක්මනට අතින් කට වහගත්තෙ නැහැදිච්ච කමක් මෙතනට වද්දගන්න කොහෙත්ම අවශ්‍ය නැති නිසා.

   ''අනේ මගේ දිව පැටියෝ.. චුට්ටක් ඔය නැටිල්ල නවත්තගෙන හැදිච්ච තාලෙට ඉන්න..''

විශ්වාස කරන්න.. මට එහෙම කියන්නවත් බැරි තරමට දිව ඩොපේ ඩෝප් වෙලා ඩාන්ස් කරනවා. මේක හරියන්නෙ නෑ. මම තේ මේසෙ දිහාවට ඇස් විසි කරලම දැම්මා මොකක් හරි පිළියමක් හොයන් වර කියලා. ඔය ගමනෙදි තමයි ඇස් දෙකට මහාගොඩක් කෑම අතරින් මාරි බිස්කට් ටික රත්තරං පාටට දිළිහි දිළිහි ඉන්නව හම්බුණේ!!  මාරි දීසිය දැක්කගමන්ම කරන්ට් වැදුණා වගේ මගේ ටිකිරි මොළේ ගැස්සුණා! ඒ ගැස්සිලා තියෙන්නේ මගේ දිහාට හැරෙන්න පුටුව කරකවද්දි..

ටිකිරි මොළේත් ඔන්න ටිකක්  හරි බරි ගැහිලා මෙහෙම කියාපි.

  ''උඹේ දිව නළියන්නේ... තේ මේසෙ දකින කොට නෙව...දිවට කෑම මේසෙ නොපෙන්නුවොත් මොකද වෙන්නේ... දිව නලියන්නෙ නෑ නෙව? ඉතින් මගේ ආදරණීය වසු පැටියෝ, කටවහගන්නකෝ ගොන් රජෝ...''

මොළේ හැමෝටම ආදරේට කතාකරන්නේ වෘෂභ බසින් නෙවෙන්නං... ඉතින් මම එකපාරටම කටවහගත්තා. හරියට පොඩි කාලේ, කළේ බිදින්න කට පුම්බගත්ත වගේ. එතකොටයි දිවේ ඩාන්ස් එක නැවතුණේ. ඒත් අනේ දන්නවනේ ආයතන පහෙන් තුනක්ම මේ වගේ වෙලාවට 24 අවර්ස් වැඩ කියල.

ඔන්න ඉතින් ඇස් දෙක ආයෙ රස්තියාදු ගහන්න යන්න දගලනවා. කිව්වට නාහන නිසා මාත් ඔහේ යන්න ඇරලා හිටියේ හිතේ සතුටකින් නෙවෙයි.

මේ ආයතන අතර කලබල සිද්ධ වෙන්න තත්පර දෙකෙන් පංගුවක්වත් යන්න නැතුව ඇති.  ඔය අතරදි තමයි කූඹි රැජින මට කතා කළේ.

   ''මුතුණි.. එන්න ඇවිත් ඉන්දගන්න''

මම හුරතල් හිනාවක් දාගෙන ඈ ළඟින් අසුන් ගත්තා.

   ''මුතුහරිණි!! හරි ලස්සන නමක් නේ.''

ඔන්න මගේ මූණ රතුවෙන පොයින්ටෙක. 'අනේ රැජිණියනි.. අනවශ්‍ය කෙංගෙඩි බැහැර කරල කතාකරමු..' මගේ හාට් එක ඇතුලෙන් දෝංකාර දෙන්න පටන් ගත්තා.

   ''කවුද මුතුණිට ඒ නම දැම්මේ..''

මම හිතුව හරි. මගේ මූණ තවත් රතු වුණා.. ලොවි ගෙඩියක් වගේ. දැන් උත්තර නොදීත් බෑ.

   ''ඒ නම දාපු කෙනා පෙරේදා උදේ කොළඹ අයිසීයූ එකේදි අන්තරා වුණා රැජිණියනි!!!''

   ''ඛවුද?......
......අර කාටුනිස්ට්?''

මගේ ඇස් අග්ගිස්ස පිටාර ගලන්න හදන්න ඔන්න මෙන්න.

   ''එහෙමයි''

''ඕ.. හරි කණගාටුයි.. මමත් එයාගෙ චිත්‍රකතා බලල තියනවා. සමාජසමයං, හුලවාලි! ෂුෂ්! ඒවා මරු ආ!  ටැලන්ටඩ් කාටුනිස්ට්.. ''

   ''එහෙමයි''

   ''ඉපදෙන හැමෝම මැරෙනව.... අපේ අය නම් කොයිවෙලෙත් ඉන්නෙ මැරෙන්න බලාගෙන... ඒත් එහෙම කියල නෑ..., ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි හරියට මහන්සි වෙලා වැඩකරනවා...''


   ''..හරි දැන් ඕව අමතක කරලා ඔයාගෙ සේවයට අපෙන් දෙන මේ සුළු තෑග්ග භුක්ති විඳින්න..''

   ''එහෙමයි''

ඇය අත්පොඩියක් ගහපු සැණින් ලස්සන ඇඳුමක් ඇඳගත්තු පුංචි කූඹිච්චියෙක් මේ ලෝකේ තියන ඔක්කොම පැණිරස කෑම දමාපු පිඟානක් ගෙනාවා.


සෙවන් ඉලව්වට ගැහුව ඉස්කෝප්පෙ කිව්ව වගේ  ඔය වෙලාවෙදි මගේ ඇඟ ඇතුළින් මිනියොන් කෙනෙක් බල්බ් තොප්පියකුත් දාගෙන එළියට පැන්නෙ නැතෑ..!!!

   '' බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ බී ඩෝ''



   ''ගින්නක්....? ''

   ''ගින්නක්....? අපෝයි ගින්නා...ක්.....''

   ''මගේ ඇඟ ඇතුළේ ගින්නක්..''

මම කොයිතරම් කලබල වුණාද කිව්වොත් කූඹිරැජිණ කඩි හේවායෝ දෙන්නෙක් ගෙන්නුවා මාව සංසුන් කරන්න. ඔවුන්ගේ විස දළවලට බයේ මම ටිකක් මෙල්ල වුණා.

ඒත් මම ඉවසගන්න බැරිතරමට ලොකු ගින්නකට අහුවෙලා..... ඒත්... ඒත්.. කිසිම කෙනෙක් ඒ ගැන වගකට නොගෙන දඟලන මං දිහා බලාගෙන ඉන්න හැටි...!

   ''අනේ කවුරුහරි මට උදව් කරන්නෝ... මට ඉවසගන්නම බැරියෝ...''

මම ලාවට දැක්කා රැජින ඇස්වලින් යමෙකුට යමක් ඉඟි කරනවා..  ටික වෙලාවකින් කඩි හේවායෙක් යකඩ බන්දේසියක තියාගෙන සුදුපාට මැටි කෝප්පෙකට කොළපාට දියරයක් ගේනවා.

   ''මේක කුමන්ත්‍රණයක්.. හපොයි මේක කුමන්ත්‍රණයක්.. මම කුමන්ත්‍රණයකට අහුවෙලා... අනේ චංචලෝ.... කවුරුත් නැද්දෝ... මාව කූඹි උගුලකට අහුවෙලෝ... '''

තඩි කඩි අඬු වලින් සර්වාංගෙම තදවෙනකොට නොදැනුවත්වම කෑගැහෙන එක සාධාරණයි. මම කඩි හේවායො දෙන්නට කෑගැහුවා.. 

   ''අතෑරපන් කඩියෝ...මට යන්න දිපන්....''

 මුළු වැරම යොදල  කඩි හේවයො  දෙන්නගෙ දඬු අඬු වලින් ගැලවෙන්න සටන් කරමින් ඉන්න අතරෙදියි රැජිණගෙ අණින්, කඩි හේවායා මට කොළපාට දියරය පොවන්න ගත්තේ..

   ''උඹලට ලේසියෙන් බෑ මාව මරන්න.... මම ලේසියෙන් මැරෙන්නෙත් නෑ..  කවදාවත් හිතල කූඹීයෙක්වත් මැරුවෙ නැති මට ඇයි උඹලමෙහෙම කරන්නේ.... උඹල දැනගන්න ඕන.. මම කොයිතරම් උඹලව බේරල තියනවද?...ඕන්නම් මට හරි ලේසියෙන්ම... හරිම ලේසියෙන්ම... තේ මණ්ඩියට, බනිස්ගෙඩියට, සීනි බෝතලේට  හොටදාපුවට විතරක් නෙවෙයි.... ඇඳුම් අල්මාරියෙ ඉන්දන්... ටී ෂර්ට් හිල් කරපු හිලව්වට.... ඇඳේ මෙට්ටෙ අස්සෙ ඉඳල රෑ ගණනාවක් අවදියෙන් තිබ්බ හිලව්වට..... උඹලව විස්සෙ කොළේකට මායම් නොකර මැරෙන්න අරින්න තිබ්බා..... එහෙම නොකරපු මටද මේ විස පොවන්නේ.... ඈ යකුනේ...  ''

මේ වෙනකොට කොළපාට දියරය පෙවිලා මගේ කටින් නොනවත්වා වස් කවි පිටාර ගලමිනුයි තිබුණේ... පුරා රැයක් කවි ගායනයේ කෙළවර මට මහන්සියත් එක්ක ලොකු නිදිමතක් ඇවිත්... ඉතින් මම අර කඩි හේවායෝ දෙන්නට මාව වත්තම් කරගන්න කියලා මම හොඳටම බිම වැටුණා.

ඇත්තමයි, ඒක හරි ලස්සන වැටිල්ලක්.. මම වැටුණේ අවුරුද්දට මහ ගත්තු මල් ගවුම උඩට. මම ගවුම උඩ කුමර දුටුගැමුණුගෙ වකුටු සෙය්‍යාවෙන්ම නිදාගත්තා. මොකද  ඒ වෙනකොටත් මට අතපය දිග ඇරගන්න බැරි කාරණා දෙකක් තිබ්බා. එකක්, මල් ගවුමෙ එක පැත්තක් ලොකු බොත්තම් පේළියක් තිබීම. . අනෙක් පැත්ත ලොකු වාටි බැම්මක් තිබීම. ඒ දෙකට මැදිවෙලයි මම හිටියේ. ඔව්.. හරිම තදට හිරවෙලා.

හිරට වුණත් මම හොඳට නිදාගත්තා. හරිම සංවරව. ඒ සංවර කමට එනවත් එක්කම තමයි මගේ පිටට කවුද තට්ටු කළේ...

   ''මොකද ළමයෝ මේ දවාලට නිදාගන්නෙ? අනෙක අද කලබල දවසෙ? පාටි එකට කට්ටිය ජමරෙට වැඩ.. ගිහින් ටිකක් උදව් වෙන්නකෝ.. '' අම්ම අනවශ්‍ය විදියටම මාව අවදිකළා. මට ඉතින් කබ කඩ කඩ ග්‍රීන් ටී හදන තැනට යන්න වුණානේ.

   ''ආ ගුඩ් මොර්නින් මැඩම්.. ටී එකක් හදන්නද?''

   ''නෑ ඕන්නෑ..''

   ''ඔව් ඉතින් ඕනවෙන එකක් නෑ.  අද මේ ඩිංගට කාපු බීපු වස ජාතිවල හැටියට අපි අමාරුවෙන් හරි ග්‍රීන් ටී එක පෙව්වෙ නැත්නම් තාම බඩ දැවිල්ලෙ උඩපනිනව බලන්න තිබ්බ.. නේද අනේ.. ''

   ''අනේ මේ යනව අහකට, සීනි කාල ලෙඩහදාගන්නෙ නැතුව.. ''

සීනි බෝතලේ උඩ කටවහගෙන හිනාවෙමින් උන්නු තෙල් කූඹි ජෝඩුවම මම ජනේලෙන් එලියට විසි කරලා රැයක් පෙඟෙන්න තිබ්බ උළුහාල් වතුර කෝප්පෙ හුස්මට බී නැවත කාමරේට ගියේ ත්‍රීඩී මූවී එකක් බලන්න...

Saturday, August 30, 2014

කූඹිච්චි


තවම කාපට් නොකරපු ගුරු පාර අයිනේ වැටිල තිබුණේ පෙගිච්ච රුපියල් පනහෙ නෝට්ටුවක්. පස් වැලි වලට යට වෙලා පාරෙන් උඩට මතු වෙලා තිබුණේ නෝට්ටු කොළයෙන් භාගයයි.

දුඹුරු පාටට වේලිච්ච දූලි ගැහුණු පුංචි අතක් පනහෙ කොළේ ඇදලා ගත්තා. පනහෙ නෝට්ටු කොළේ මතින් ඒ ළග තිබුණු කූඹි ගුල වෙත යමින් උන්නු කළු කූඹිච්චි, පනහේ නෝට්ටුවත් එක්කම අභ්‍යාවකාශ ගත වෙන්න පටන් ගත්තම කූඹිච්චි ඇස් දෙක තදින් වහ ගත්තෙ ඔක්කාරෙට වගේ ආපු නිසා වෙන්නැති.

කෝකවෙතත් කූඹිච්චි එක ඇහැක් ඇරල බැලුවා. ඊළගට ඇස් දෙකම ඇරල බැලුවා. වැදුණු හුළං පාර නිසා ගතට සුවයි. මෙන්න බොලේ ඒ එක්කම පුංචි මැලවිච්ච ඇස් දෙකක් කූඹිච්චි දිහා බලනවා! ඇත්තටම නම් කූඹිච්චි දිහා නෙවෙයි, කූඹිච්චි වාඩිවෙලා උන්නු රුපියල් පනහෙ කොළේ දිහායි බලල තියෙන්නෙ.

එක පාරට භූමිකම්පාවකට අහු වුණා වගේ කූඹිච්චිට අඩු හයෙන්ම නෝට්ටුව තදින් අල්ල ගන්න වුණේ අර දුඹුරු පාටට වේලිච්ච පුංචි අත් පොඩිත්ත නෝට්ටු කොළය ගුලි කර ගත්තු නිසයි.

සැණෙකින්, දවාලේ ඇස් කඩාගෙන යන්න තිබුණු ඉර එළිය අඩු වෙලා හෙවනකට ආව වගේ කූඹිච්චිට දැණුනා. දැන්නම් පනහෙ නෝට්ටුව තියෙන්නෙ කුණු ගැහිලා අත්වලටම ගෙවිච්ච ලෑල්ලක් උඩ. මේ මොකක්ද මේ වෙන්නෙ? කූඹිච්චිට නම් මොකවත් තේරෙන්නෙ නෑ.

මොක වුණත් කූඹිච්චිත් බලාන උන්න. සිලි සිලි සද්දෙත් එක්ක ඔන්න ලොකු පාර්සලයක් ලෑල්ල උඩට ආව විතරයි කූඹිච්චි හොදටම පෙරළිලා, නෝට්ටු කොලේ ඉදන් පියාඹලා වගේ උඩින් විසි වෙලා වැටුණෙ අර සිලි සිලි මල්ලට. කූඹිච්චි දැක්කා නෝට්ටු කොළේ, ලෑල්ල යට තිබුණු තවත් ලෑලි පෙට්ටියක් ඇතුලට යනවා. කූඹිච්චිට එච්චරයි බලන්න උනේ, ආයෙත් කූඹිච්චි අව්වකට ආවා.

සිලි සිලි සද්දෙ එක රටාවකට ඇහෙනවා. ඉහල බැලුවම කූඹිච්චිට පෙනුනේ පොඩිත්තෙක් කූඹිච්චි ළග ඉහළින් ඉන්නවා. කූඹිච්චි වටපිට බැලුවා. දෙපැත්තෙ ගස් මේ මොකද පිටිපස්සට දුවන්නේ?

''අම්මේ......ඒ.........ඒ............. මේන් කෑම ගෙනාවෝ...''

"කොහෙන් ගෙනාවේ?"

"කඩේ.. ඒ.. න්.. "

"මොනවයි ඉතින් පුතේ? ".

"පා...ආ...න්"

"තුනකට කපන් වරෙන් පුතේ"

කූඹිච්චි සාවධානෙන් අහගෙන උන්නේ මේ මොකක්ද වෙන්නෙ කියල තේරුම් ගන්න.

දුං වැදිල කළු ගැහුණු කාමරයේ බිම සිලි සිලි මල්ල තියලා පොඩිත්තා පාන් කපනවා කෑලි තුනකට!

"මෙන්න අම්මගෙ කොටහ.."

"එක කොටහක් ඉතුරු කරලයි, ඉතින් ඔය කන්නේ?"

"ඒක අන්න සිලි බැග්ගෙක ඇතුළෙ.."

"මයෙ පුතේ කියන් කොහොමෙයි මේ ගෙනාවේ?"

"පාරෙ වැටිල තිබ්බ පනහෙ කොලයක්"

"අනේ මයෙ රත්තරනේ...!? "

"නංගි පරක්කු වෙනවනන් මං ඉතිරි කෑල්ලත් කනෝ හොදේ? "

"බඩගිනි වුනත් බෙදාගෙන කන්න පුරුදු වෙයන් දරුවෝ.."

"ඒ උනාට ගිනිවත්තෙ විජේ අයිය හන්දියෙ ඉදන් යටිගිරියෙන් කෑගැහුවෙ එහෙනන් - අපි පරක්කු උනොත් අපිට හබ්බෙන්නෙ හුලන් බොන්න තමයි අයියේ මල්ලියෙ.. අපිව බඩගින්නෙ තියල මේ රටේ කොටහක් රහට කැම කන එකට අපි ඉඩ දෙන්න ඕන නෑ කියලා.."

"ඉතින් ඌ එහෙම කිව්ව කියල උඹ නන්ගිගෙ කොටහ කෑවම හරි යනව ය??? ...."

"...මයෙ පුතේ උඹ ආයෙ යනව හෙම නෙවෙයි ඔය ගිනිවත්තෙලගෙ කතාවට හොට දාන්න... මගේ කකුලෙ අමාරුව නැත්තන් මම උඹලට මෙහෙම වෙන්න දෙන්නෙ නෑ මයෙ රත්තරනේ.. මගෙ දෑතෙ හයිය තියනවා කොටන්න හේනක් උනත්.. මේ හයියම ඇති අපේ නෑ වරිගෙටම එකතු උනොත්.. මුන් ඔක්කොම බෑගිරි තලන වෙලේ හයියට ඉදගෙන මොනවද කරන්න බැරි පොලොවත් එක්ක ඔට්ටු වෙලා? කරපන්කො මන් කියන්නෙ කරල ඉවර වෙලා බැරියැ බලල අඩු පාඩු ඉල්ලන්න.."

කූඹිච්චිට ක්ලාන්තයි වගේ.. අපේ සනුහරේටවත් නැති ප්‍රශ්න මිනිස්සුන්ට? කූඹිච්චි කැඩිච්ච ඇද කකුල දිගේ ඇදට ගොඩ උනා... යන ගමන්ම හෙමින් හෙමින් ගැටළුව පෙළ ගස්ස ගත් නිසා ටිකෙන් ටික කරුණු කාරණා කූඹිච්චිට තේරුම් ගියා. ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් උනේ කූඹිච්චි මේ දවස් වල ලියන 'මිනිස් දහම' පර්යේෂණ නිබන්ධනයට කරුණු එකතු කරන්න, සම්ප්‍රදායක් ලෙස කුහුඹුවන් ප්‍රකෝටි ගණනක් සමග යන ගවේෂණ චාරිකා වලින් ලැබුණු තොරතුරු ඇසුරින්. කූඹිච්චි තවම ලෝකයට ලාබාල වුවත් මේ ටික කාලයට ඈ විස්මිත තොරතුරු සමූහයක් එක් කර ගත්තා මේ අධ්යන චාරිකාවලින්. මෙය දිවි නොතකා යන චාරිකාවක් නිසා බොහෝ යහළු කුහුඹුවන් කූඹිච්චිට නැති වුණා. මිනිස් ඇසුරේ ගැවසීමට පෙර ලබා දෙන වැඩමුළුවේ පුහුණු සමතුන් වුවත් මෙම චාරිකාවට සහභාගී වන්නේ, චාරිකාවට පෙර සියලු නෑ වරිගයාගෙන් ම සමුගැනීමේ සාදයකින් අනතුරුව, පැමිණීම බලාපොරොත්තු නොවන ගමනක් ලෙසට මේ ගවේෂණ චාරිකාව ඇරඹීම අනාදිමත් කලක පටන් ඇති සිරිතක්.


කූඹිච්චි බොහොම තද කල්පනාවකට වැටුණා. කූඹිච්චිගෙ අම්මා හොද ගෘහනියක්. ඈ ඉතා හොද සකසුරුවම් කාරිණියක්. 'සකසුරුවම්කරණය හා පරමාදර්ශී කුහුඹු දර්ශනය' පිළිබද උපාධිදාරිණියක්. ඈ 'ජීවිත සකසුරුවම, පවුලේ ආහාර ක්‍රමානුකූල පරිභෝජනය හා ලබාගත්තේ තෘප්තිය' පිළිබද පශ්චාත් උපධියට පාඩම් කරන ගමන් එහි මැනවින් ප්‍රායෝගික ව කටයුතු කරමින් යනවා. ඇත්තටම ඈ කියල මගේ අම්මව විතරක් මතක් කරන්න හොද දෙයක් නෙවෙයි. අපේ සනුහරේ සෑම කාන්තාවකටම මේ උපාධිය තියනවා. ඒක විවාහයෙන් පසුව පලමු සතියෙන් කුහුඹු ජනරජය විසින් කුහුඹු විවි ඒකාබද්ධ එකමුතුවෙන් ප්‍රදානය කරන්නක්.

කූඹිච්චි මේ ගැන ඉතාම සරලව හිතන්න ගත්තා.. ඇයි මේ මිනිසස්සුන්ට කුහුඹුවන් ආදර්ශයට ගන්න බැරි? ලද දෙය සකසුරුවම් කර ගන්නැතුව හැමට එක හැන්දෙන් බෙදන්න ඕන කියල කෑ කොස්සන් ගහන්නේ මොකද? තමන් කරන දේ මොකක් වුණත් ඒකට අවංක වෙනව නම් මිනිස්සුන්ට මෙහෙම කෑකොස්සන් ගහන්න තරම් දෙයක් නොවෙයි මේක. මේක දූෂිත හිත්වල තියන ප්‍රශ්නයක් මිස සමාජයට දොස් නගන්න ඕන දෙයක් නෙවෙයි. දූෂිත හිත් ගෝත්‍රික රැලක් වුණාම සාමන්ය හිතැත්තන්ට බලපෑම් කරනවා. පීඩාවට පත් වන ඒ හිත් රැළත්, පීඩනය නිසාම දූෂිත වෙනවා. එහෙම නැතිව තමාට ඇති හැකි අයුරින් ජීවිතය ජය ගන්න පුළුවන් කමක් මිනිස්සුන්ට තිබෙද්දි ආශාවන් පසු පස ගිහින් නස්තාර් වෙලා අන්තිමට කෑකොස්සන් ගහනවා. ඉක්මනින් දුවන මිනිස්සු ඉන්න ලෝකයේ මෙවැනි දේත් ඉතින් සුමටයි. කූඹිච්චි හොද හුස්මක් අරගෙන හිත හෑල්ලු කර ගත්තා.

මේ පොඩිත්තගේ අම්ම කියන කතාව ඇත්ත.. හයිය තියන කාලේ ලැබුණු දේ සකසුරුවම් කරගෙන ජීවත් වෙන්න ශක්තිය ලබා ගන්න ඕන හැටි ඈ දන්නවා. ඒත් තමන්ගෙ නෑයන්ගෙ සහය නැති තැන ඈ අසරණ වෙලා. අපේ කුහුඹුවන් ආදර්ශයට ගන්නට මිනිස්සුන්ට බැරි ඇයි? මිනිස්සු මේ පොලොවෙන් වැඩගත්තෙ වේගයෙන් දුවන්න ඕන දේ හදන්න මිස ජීවත් වෙන්න ඕන දෙයක් ගැන හිතන්න නෙවෙයි. ඒකෙන් මිනිස්සු අන්තිමට කිව්වේ, 'අනේ සංසාරේ අපට උනා විනාසේ.. උක් දණ්ඩෙන් යුෂ මිරිකා ගන්නා පරිද්දෙන් ශ්‍රමය සූරා ගනිද්දී.. සහෝදරවරුනි, ඇති හැකි පන්තිය නැති බැරි පන්තිය තරමට පල්ලං බස්සවා?.. ධනේශ්වර ආර්ථිකය බිත්තරයක් ගෙඩියක් කරවා එය කඩා අයිසින් කේක් එකක් සෑදීමට අප සමගින් එක් වෙයල්ලා.. කොහ්.. කොහ්.. කොහ්..' කියල බෑගිරි තලන එකයි.

මේක මම මෙතනින් පටන් ගන්න ඕනා. කූඹිච්චි කඩිසර උනා. ඈ ඉක්මනින් ඇදෙන් බැහැලා පොඩිත්ත සොයාගෙන ගියා.

ඊට පස්සේ වුණු කතාවමේකයි..,

කූඹියා පොඩි ළමයට කිව්වා පොඩ්ඩගෙ වත්තෙ කොනේ පොඩි වගාවක් දාන්න කියලා.. පස්සේ තමන්ගෙ කෘමි සනුහරේ ගෙනල්ලා සප් එක දෙන්නම් කියලා පස සරු කරන එකට. ඉතින් පොඩ්ඩ කැමති උනා. එයා පුදුමත් උනා එයාට කූඹියෙක් කතා කරනව කිව්වම.. එයා දොස්තර හොද හිතගෙ කතා පෙළවත් මොන පොතක්වත් බලල තිබ්බෙ නැති උනාට මේ ලෝකෙ වෙන්න බැරි දේවල් නෑ කියල දැනගන්න තරම් මේ පොඩ්ඩා උපන් ගෙයි පණ්ඩිතයෙක් වුණ නිසා ඒක ගැටළුවක් උනේ නෑ..

පස්සේදි කූඹියො ටික නොයෙක් බීජ වර්ග ගොවි බිම් වලින් උස්සගෙන ඇවිදින් පොඩි ළමයගේ වගා බිමේ පස් වලට යට කලේ වැහිකාලෙ බලලා ඊට සති දෙකකට කලින්. වැස්සත් එක්ක ඔන්න ටිකෙන් ටික බීජ පැල වෙලා දලු දාල හරි සාරෙට කොළ පාට බැබලෙන්න ගත්තම පොඩ්ඩට හරි සතුටුයි. පොඩ්ඩගෙ නංගිත් මේක දිහා බලා උන්නේ හරි පුදුමයකින්. අයිය නංගිට මේ රහස කිව්වෙ කාටවත්ම කියන්න එපා කියල පොරොන්දුව පිට.

ඔන්න ඉතින් ආයෙත් පොඩ්ඩට පාරෙ නෝට්ටු කොළ ඇහිදින්න ඕන උනේ නෑ. එයාලගෙම වත්තෙන් ගත්තු පලදාවෙන් එයලගෙ ආහාරය සරිකර ගත්තා. ඒවිතරක් නෙවේ, අතිරික්ත භෝගය පොළට ගෙනිහින් විකුණලා නංගිගෙ අධ්යාපනයට වියදම් කරන්න සෑහෙන්න මුදලක් හොයාගෙන ඒක ඉතුරු කරන්න බැංකුවෙත් දැම්මා. අම්මගෙ කකුලෙ අසනීපයට බෙහෙත් අරන් දීලා නැගිටල ඇවිදින්න පුළුවන් මට්ටමටම සනීප කරන්න පුළුවන් උනා. පස්සෙදි අම්මයි පොඩ්ඩයි එකතු වෙලා කූඹිච්චිගෙ සහයත් ඇතුව, ලොකූ ගොවි පොළක් දාල පරම්පරා ගණනාවක් එයාල සතුටින් ජීවත් උනා.

ඊට පස්සෙ හැම පෝය දවසකටම කජු ගහේ අත්තක් උඩ ඉදගෙන කූඹිච්චියි, පොඩ්ඩයි, පොඩ්ඩියි ඈත පෙනෙන දුවන නගරය දිහා බලාගෙන සුරංගනා කතා කියන්න පටන් ගත්තා..

Thursday, January 9, 2014

ආදරය!

හපාට ඉර එළිය වැටුණු තුරු සෙවණක සිත් නළවන මනස්කාන්ත දසුනක් දුටු මට එක්විටම මතක් වුණේ, මට අද කියවන්න ලැබුණු ප්‍රථම ආදරයේ වියෝදුකක් ගැන ලියැවුණු ගී පෙළක් ගැන විමසුමක්. ගීතයෙන් කියැවෙන්නේ තම නිමල ආදරය පිදූ තරුණියට, ඇයගේ අකමැත්තෙන් වුවත් වෙනකෙකු හා පතිකුලයට යෑමට බෝසත් ගුණ යුත් තරුණයකු අවසර දීම ය.
"එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට..
නෙලා නොගතේ මගේ බෝසත් කමට.. "
මම මොහොතක් මනහර දසුනට නැවත නෙත් යොමා සිතන්නට වීමි. කහපාට හිරු එළිය දැකුම්කළු අයුරින් නිදහස් ආලෝකාධාරාවන් පොළොව මතට විසුරුවා හැර ඇත. නෙක වර්ගයෙන් වෘක්ෂයෝ ඒ හිරු එළියේ නිදහසේ නැහැවෙති.


මේ අලංකාර නිල්ග්‍රහ ලොව මත අප කී වරක් පුනරුත්පත්ති ලබූවෝ වෙම්හු ද? නොයෙක් ජීවිත ලද්දවූවෝ වෙම්හුද? ධනවතෙක්, මධ්‍යම පාංතිකයෙක්, දිළින්දෙක්, උපතින් රෝගියෙක්....?


මාක්ස් එක් ආත්මයක අන්ත ධනවතෙක් වී නිර්ධනයන් පෙළූ කෲර පාලකයෙක්ව සිටින්නට ඇත. එමෙන්ම එම ආත්මයෙන් මිදී එම පරම්පරාවේ පසු පරම්පරාවකට අන්ත දාසයෙකු මෙන් ඉපදී දාසකම් කර තිබුණා හෝ කරනවා විය හැක. එළාර අද දින හෙළ බොදුනුවකු වී ජාතිමාමකත්වයෙන් ඔද වැඩී සිටින්නෙකු විය හැක.


අපද එසේම ය. එද කණ කැස්බෑවා වියසිදුරින් එළිය දුටු කළක මෙන් ලැබූ මිනිස් භවය නිසා මිනිසෙක් වී ඇත. ඒ අතර තුළ භවයන්හි තිරිසන්, ප්‍රේත ආදියෙහි ද, කල්ප ගණන් අපා දුකද සැබැවින්ම විඳ තිබිය යුතු ය.
මේ කහපාට ඉර එළිය යට සිට අප කොතෙක් නම් අනේක වූ දේ කරමින් සිටිනනවාද? එසේ කරන අනේක දේ අතරින් පුංචිම නමුත් මහා ගැඹුරට වගකිව යුතු දෙය


ආදරය!


බොහෝ බරපතල වචනය!


ප්‍රේත, තිරිසන් ආත්මවලට යන්නට පාර කපන්නා.., අපායේ කල්ප ගණන් දුක් විදින්න පාර කියන්නා.. මේ වචනය ඇතුළෙ ගිලිලා, හැංගිලා.


මම නැවතත් අර මනහර හිරු එළියේ රැස් නාන තරුණ තුරු දෙස බලමින් කල්පනා කරනවා. සංසාරෙ අපි ගිණිය නොහැකි තරමට ආදර කරන්න ඇති. ඒ තරමටම වෙන්වන්න ඇති. ආදරය පූජා කරන්න ඇති. පෙම්වත් කවි ලියන්න ඇති. පෙම්වත් කවි කියන්න ඇති. පෙම්වත් සිතුවම් අඳින්න ඇති. පෙම්වත් රැඟුම් රඟන්නට ඇති.
මට ලා හිරු එළියෙ ළවැලි තලාවක නටන සඳ කිඳුරෙක් සහ සඳ කිඳුරියක් මතක් වුණා. අතීතයේ මා ලියූ ගීයක කොටසක් මගේ හිත මුමුණන්න ගත්තා.


"වැලි තලාවක ලහිරු කැන් වැද
සෙනේ මඬලක් තනවමින්
දෙලෝ දෙවොලෙක සුරලියක වෙද
රඟන සේ සඳ කින්නරුන්?"


ඒ ගීය මගේ ප්‍රථම ආදර හැඟුමින් ලැබූ උද්දාමයෙන් ලියැවූවක්.
ජීවිතය ගැන හිතද්දී අපේ අතීතය මතක් කරමින් සුන්දර සිනහ මුවඟ නංවමින් මහා සුසුමකින් ළය හෑල්ලු කරමින් කියන්න හදන ජීවිතය.., මහා පුදුමයක් නෙවෙයි, ජීවිතය කියන්නෙ හරි අපූරු රටාවක්!


අද මට කියවන්න ලැබුණු ආදරයේ වියෝව මැදිහත් සිතින් දරණ බෝසත් තරුණයාගේ ගීය මට මතක් කළේ සංසාරයේ අපේ භවයන් ගැනයි. 


සංසාරයේ එකට පතාගෙන එන සංසාර සඟයෙක් ලැබූවෙකු ලෙස මට ඇත්තේ ආදරය ගැන මිහිරක්. ඒ ආදරයේදී අතරමැදියන් ලෙස හමු වූවන් අපත් සමඟ සසරේ ඇවිද ආවුන් විය නොහැක්කේ මන්ද? මට අද ළඟින් මුණ ගැසුණු සියල්ලන් මා පෙර පිනෙන් ලද අය යැයි සැම විටම මට සිතෙන්නේ ඔවුන් තුළ මා දකින ගුණ දම් නිසා ය. යම් පමණකට කළණ මිතුරන් නිසා ය. 


අප නොදැනුවත්වම පයට පෑගුණ කුහුඹුවා වෙනුවෙන් පෙර යම් ආත්මයක අප නොසෑහෙන්න ආදර විරහ වේදනාවෙන් කඳුලු හෙලන්නට ඇත. අද මා ගසක් මුල වාඩි වී ලේඛනයක් ලියන්නෙත්, ආදර කළ සොඳුරා මා යටි පතුල පාමුල තෘණ ගස් අතරින් ඇවිද යන්නේත් කිනම් වෙනසක අරුමයකින් ද?
මේ වෙහෙස අතරේ, අප සවණ නිතර දෙවේලෙහි නොනවත්වා ඇහෙන මෙම අරුමයට හේතුවන බණ පදයට මඳකට හෝ නැවතී සිත් යොමන්නට දැන් මම කැමැත්තෙන් සිටිමි.

Friday, July 27, 2012

අධියතාර්ථවාදී කොන්ත්‍රාත්තුව

මා අවදි වන විට ඉර බොහෝ සේ මුදුන් වී තිබුණි. සුවඳ මල් පිබිදී සුළඟ සමඟ එක් ව පරිසරය සුවඳවත් කරමින් සිටී. ගීතවත් විහඟ නාදය අසමින් මම තව තවත් ඇඳට ගුලි වීමි. මිනිසුන් කඩිමුඩියේ වැඩෙහි යෙදෙන හඬ පරිසරයෙන් කන් ඉවතට ගත් මට ඇසෙන්නට විය. අපේ ගෙදරට ඉදිරියේ ඇති පටුමඟ දිගේ ට්‍රැක්ටරයක් ගමන් ගන්නා හඬත්, එයින් කළු ගල් කැට බිමට බානා හඬ ඇසී මම ඇඳෙන් නැඟිට ගෙයි දොරකඩ වෙත ගියෙමි. අහෝ විනාශයක තරම! සුන්දර පරිසරයක් අයුතු ලෙස විනාශ කිරීමට පැමිණි කොන්ත්‍රාත් තැන ගල් වැලි බාමින් හෙට දින මේ තාර පටුමඟ අයුතු ලෙස අනවබෝධයෙන් කොන්ක්‍රීට් කරන්නට මඟ බලමින් සිටී. මම ගෙදර ප්‍රධාන දොරකඩින් නික්ම පාර දෙසට වන්නට ඇති ජනේලයයට මුවා වී පාරේ හුන් කොන්ත්‍රාත් තැන දෙස නෙත් යොමු කළෙමි. 

"අඩෝ... කවුද ඩෝ අපේ පාර කොන්ක්‍රීට් කරන්නෙ..... අපි කොන්ක්‍රීට් එකට විරුද්දයි ඩෝ... අපේ විරුද්දෙන් ඕක කොන්ක්‍රීට් කරන්න දෙන්න බෑ ඩෝ...ඉතින් පලයල්ලා හොඳ හිතින්!" මම ජනේලයට මුවා වී ගිරිය පිප්පුවෙමි.

අපේ ගේට්ටුව ළඟට මිනිසෙක් ආවේ ය. ඔහුගේ මුහුණ ගේට්ටුවට මුවා වී ඇති නිසා මට ඔහුව නොපෙනුණේ ය. 

"යකෝ.. තොපිට ඇහෙනවද ඩෝ මම කියන දේ... අහගනියව්... හොඳ හිතින් ඔය ගල් ටිකත් අරගෙන පලයව්.. මෙහෙ කොන්ක්‍රීට් කරන්නෙ නෑ... මේ පාර මේ පැත්තෙ මිනිස්සුන්ට ඕන විදියට යකෝ.."

ගේට්ටුව දෙසින් හඬක් ඇසුණි. 

 "ලොක්කගෙ ඕඩරේට පිටින් යන්න එන්න තොපි කවුද යකෝ??" 

ඒ ගැඹුරු හඬට නම් මා තිගැස්සිණි. ඒත් මාගේ තිගැස්සීම දුටුවේ මා පමණි. ඇඳ හුන් පිජාමා කලිසං කකුල උස්සා මම ගේට්ටුව දෙසට අත උළුක් කර කෑ ගැසීමි. 

"යකෝ වැඩිය කෑ ගහන්න එපා ඩෝ මොටයියට  කියනවා......"

"කවුද යකෝ උඹේ මොටයියා ඌ වැඩ්ඩෙක්ද ඩෝ...?"

එයට නම් මට මළෙනුත් මළ පැන පැන ගොස් උගේ හොම්බ රිවර්ට් කරන්නට තරමට අත් මිටමෙල විණි. මම පිජාමා කලිසං කකුල් දෙකම උස්සා උඩ පැන දෙකට නැමී නහර එළියට පනින තෙක් ගිරිය පුප්පා කෑ ගැසීමි... 

"අඩෝ.... තොපි දන්නෑ යකෝ අපේ මොටයියා... යකෝ.....එක ටෙලිෆෝන් කෝල් එකයි...!! එ-ක-කෝ-ල් එකායි හරී.... ඊට පස්සෙ.. ඊට පස්සෙ තොපි ඔක්කොටම ගෙදර ඉඳන් ගෑණිට පොල් ගාන්න තමයි ඩෝ වෙන්නෙ.. දැනගනියව් නරියෝ...!!" 

මේ දෙබස තෙවැනි පාර්ෂවයක් මිදුලේ පැත්තකට වී නරඹයි නම් එය හරියටම ගෙයක් සහ ගේට්ටුවක් අතර ඇති සංවාදයක් බඳු ය. පේන කෙනෙකුන් නැත. ගෙයකින් සහ ගේට්ටුවකින් පමණක් හඬ ඇසේ.

මගේ අවසන් කෑගෑම ට ගේට්ටුව දෙසින් ආ හඬ නතර විය. මගේ වෙව්ලන දෑතේ ඇඟිලි දහයම කට ඇතුලේය. 

විනාඩියක පමණ නිහඬතාවයකි.

ට්‍රැක්ටරය පණ ගන්වන හඬ ඇසුණි. ඉන්පසු එම හඬ කෙමෙන් මගේ දෙසවනෙන් ඈතින් ඈතට යන්නට විය. වැලවරකා ගෙඩියකට කොටන කපුටෙක් එළවන බට්ටිච්චාගේ කිචිබිචියක් ඇසිණි. මා නැවතත් කාමරයට ඇදුණේ, මොටයියාට කළගුණ දක්වන්නට මූණු පොතට ලොග් වීම සඳහා ය. 



Friday, November 4, 2011

සෙනෙහසක ඇරඹුමක්!

පුං‍චියට පාද තබලා, ඒ දෙපා වලින් මහා දිගු දුරක් යන්න වේවි කියලා පුංචි කාලෙ දි කවුරුන් සිතුවද? මේ සා විසල් ලොවක් තනන්නට ඒ පුංචි පියවර බලවත් වුණේ කොහොමද?
‘එය තමයි ඇරඹුම..!’
සෑම දෙයකම ආරම්භය යහපත් කර ගැනීම, ශ්‍රේෂ්ඨ අවසානයකට මං පාදන හැටි. කළු, තෙත් පස් ගොඩක් තුළට පුංචි සරු බීජයක් වැටුණොත්.., හිරු එළියෙ උණුසුමත් එක්ක වැඩෙන අපූරුවට එය මහ විසල් රුකක් වීම ගැන බිම් පණුවෙකුට ඉරිසියා හිතීම සාධාරණයි. ඒත් ඒ මහා රුකට හිරු අල්ලන්න අත් දිගු කරන්නට අර පුංචි බිම් පණුවත් කොටස් කාරයෙක් කියල ඌ නොදන්නවත් ඇති.
මීට අවුරුදු 24කට පෙර කියන්නෙ, මම ඉපදෙන්න පෙරුම්පුරන ජීවියෙක් වෙලා හිටි කාලයයි. පෙර කර්මයන් අතීත අනාගත කාල සිද්ධි හා ගැලපී, මමත් ගර්භාෂයක් තුළට රිංග ගත්තේ මිනිස් වෙසකින් ලෝකයක් දකින්න. ගර්භාෂයේ ඉන්දැද්දි වූ දේවල් මට මතක නැති වුණත්, එයින් එළියට ඇවිත් හය හතර දැන ගත් පසුවයි තේරුණේ මගේ ආරම්භය කොයිතරම් සිත්කළු ද කියලා. ක්‍රමයෙන් මගේ ඇරඹුම විමසද්දී මගේ මව්පියන් මගේ ආරම්භයට දුන් අරුත්බර බව, ප්‍රසන්න බව හා වටිනාකම මෙන්ම ඔවුන් මට මව්පියන් වුණේ ඇයිදැයි යන්නත් මැනවින් වටහා ගන්න පුළුවන් වීම සම්පතක්. ඒ වටිනාකම වැඩි උනේ මා මෙන්ම මගේ ‘මව්පිය’ යුවළගේ පදවි ආරම්භයත් මම වූ නිසා.
දිනක් මා ළබැඳි සොහොයුරෙක් මා ගැන කියවමින්, මා පෙර දවසක ඔහුට කියා තිබූ මගේ පියා ලියූ කවක් නැවත මට මතක් කරන්නට වුණා.
” ‘අ’ යනු ‘ල’ යනු අල කියලා හපන් කමක් පෙන්නලා
පුංචි මල්ලියා අඬද්දි ළඟින් ඉදන් නළවලා
පුංචි පුංචි වැඩ කරනව අම්ම සමඟ එක්වෙලා
අපේ පුංචි මුතු පැටියගෙ උපන්දිනේ එළැඹිලා..
හොඳ හොඳ දේ තෝරාගෙන නරක පුරුදු ඉවත ලා
නිවැරදි මාවත ඔස්සේ ඔය පා පොඩි ඔසවලා
හෙමින් හෙමින් පිය නඟන්න අප පැතු ලෝකය බලා
එතකොට වෙන මැණික් මොටද මුතු දුව මැණිකක් වෙලා.. “
මව්පිය ආදරය රැකවරණය සහිතව කුඩා දරුවෙක් වැඩෙද්දී පොලොව මත පය ගසා ජීවත් විය යුතු ඒ ‘සුන්දර කලාව’ ඉගැන්වීමේ අපූරු හැකියාවක් දෙමාපියන්ට තිබිය යුතුයි. මගේ පියා කලාකාරයෙක්. අම්ම ඒ වෙනකොට ප්‍රාථමික ගුරුවරියක්. මේ සුසංයෝගය ළමා මනසක් හසුරුවන්න කෙසේ ද? විමසිය යුත්තේ එයයි. සිත්තරෙකුට මේ ලෝකයේ හැම දේම වර්ණ ගන්වා කැන්වසයක් මත තවරා අපූරු සිත්තමක් නිමවන්න පුළුවන්. අහසට අයිති නිල් පාට, වැහි වළා නිසා කළු වෙන හැටිත්, ගස් වල හරිත කොළ සමඟ කහ හිරු එළිය මනස්කාන්ත සෞන්දර්යයක් මවන බවත් ඔහු පරිසරයෙන් පාට අරගෙන කැන්වසය මත සිත්තම් කරමින් කියල දෙනවා. හරියට පුංචි දරුවෙක්ගෙ පුංචි මනස මත්තේ මේ ලෝකය නිවීහැනහිල්ලෙ වර්ණ ගන්වනවා වගේ. ජීවත් වීමේ කලාව මේ සියළු කලාවන්ගේ එකතුවක්. ඒ නිසා කලාකරුවෙකුට ජීවත් වීම ලේසි පහසු සරල කාරණයක්.
පුංචි කාලෙ ඉඳලම මම දැක්කේ අපේ තාත්තා අත පුරා මේසය පුරා තීන්ත ගාගෙන දියසායම් වලින් චිත්‍ර අඳින හැටි… පොඩි ලෑල්ලකට වැලි ටිකක් තුනී කරලා, කළු ගල් කැට, තිරුවාණා ගල්, ගස් වල පුංචි ඉති, කෝටු කෑලි ගෙනල්ලා හදන අපූරු පුංචි ලෝකයේ, ඇඟිල්ලක් තරම් උස පුංචි බෝනික්කො ටිකක් අයිතිකාරයෝ වෙන හැටි… ඒ පුංචි ලෝකේ පුංචි පුංචි ක්‍රියාකාරකම් රැසක් ඡායාරූපගත කළ ඡයාරූප ශිල්පියා වුණේත් අපේ තාත්තා. ඇලුමීනියම් භාජන වල අඩි හිල් කරලා විදුලි බුබුළු ඔබ්බලා හදා ගත් ආලෝක පරාවර්ථක, ඊයම් කඩදාසි හතරැස් ලෑලිවල අලවා හදා ගත් පරාවර්ථක (Reflectors) ආදී ලට්ට ලොට්ට රැසක් පිරුණු අපේ තාත්තගෙ කලාගාරයේ – මකුණු රජදහනේ තිබුණු හැටි!  ඒ මකුණු රජදහනේ ඇතුළේ සිදුවුණු කතාන්දරත් හරිම රසවත්. එකමත් එක දවසක ගමරාළ දිව්‍යලෝකෙට ගියෙත් ඔය මකුණු රජදහන නැමැති අපේ තාත්තගෙ කලාගාරය ඇතුළේදි. තව දවසක තාත්තගේ කන්තෝරුවේ යෙහෙළියකගේ විවාහ මංගල්‍යය වීඩීයෝකරණය කරලා ඒකට අතින් ඇදපු පොඩි සජීවීකරණ කාටූන් කෑල්ලකුත් දැම්මේ මේ පුංචි කලාගාරය ඇතුලෙදි.
තාත්ත අඳින චිත්‍ර වලට අපේ අම්ම කතා ලියනවා. නැත්නම් කවි ලියනවා. ඒ දෙන්නගෙ සුසංයෝගයෙන් නිර්මාණය වුණේ මම විතරක් නෙවෙයි. මට පෙරාතුව බිහි වුණු ඒ දේවල් පොත් රාක්කයක් පිරෙන්න තියන හැටි දකිද්දි අදත් අපේ අම්මා ඒවා දෑතට අරගෙන ආදරයෙන් කියවනවා. මම කවි ලිව්වෙ අම්ම ලියන කවි දිහා බලාගෙන. අම්මගෙ සාහිත්‍ය රසය අම්මගෙ ඔඩොක්කුවෙට බහින්න පෙරාතුව මට ලැබුණක් කියල මම හිතන්නෙ ඒකයි. අම්මා මාව ගර්භාෂයෙන් එළියට මුදාහැරියේ ස්වාභාවික දරු ප්‍රසූතියකින්. මගේ අම්මට දසමසක් පුරාවට කුස හොත් ලේ කැටියෙක් කුසෙන් එළියට බිහිකරද්දී කිසිම ප්‍රසව වේදනාවක් නොදැනුනේ මගේ අම්මගේ දරු සෙනෙහස එතරම් උත්තරීතර නිසාද? අදටත් ඈ ඇගේ දරුවන්ගේ පුංචි දුකකදීත් පපු රත්කර කඳුළු සලන්නේ ඒනිසාද? මවකගේ උත්තරීතර සෙනෙහස් කදම්භය මගේ උපතත් සමඟ මම විඳගත්තා අසීමිතව. දූවිල්ලක් වැදෙන්නට නොදී නැළවිලි ගී කියමින් දරු නළවන ඇය මට බත් කන වයසෙදි බත් කවන යුඬයට තාත්තවත් හවුල්කර ගෙන කිරිපිටි අසුරන ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක පැත්තක් හතරැස්ව කපලා රූපවාහිනියක් ලෙසින් තනාගෙන, ඒ තුළට ගොස් බත් කැව් හැටි ආදී නානාවිධ දේ කළ හැටි කියමින් අදත් මිහිරි මතකය අවදිකරන්නෙ සෙනෙහස හිත පුරෝගෙන.
අදත් හිතට මහා දුකක් ආවම අම්මගෙ ඇඟිලි තුඩු වල ආදරයෙන්, අම්මගෙ පිරිත් බලෙන්, අම්මගෙ හිත පුරෝගෙන ඇති මහා සෙනෙහසින් ඒ දුක නිවෙන්නෙ ඒ නිසා. වෙලාවකට දුක තවත් වැඩිවෙනවා ඒ අසීමිත සෙනෙහසට සංවේදී උනාම.
සෙනෙහසත් කලාවක්. සෙනෙහස දීම වගේම ලැබීමත් කලාවක්. කලාවන් හමුවේ ලෝකයම සුන්දර වන්නේ ඒ නිසා. ළමයි හදන කලාව දැනගත් විට ලෝකයම කලාගාරයක් කළ හැක්කේ ඒ නිසා. අපේ තාත්ත මගේ 5 වෙනි උපන්දිනේට, හා පැංචෙක් පහේ ඉලක්කම උස්සගෙන අල්ලගෙන ඉන්න උපන්දින සුබ පැතුම්පතක් තාත්තගෙ අතින්ම ඇඳලා මට දුන්නා.. තාත්තා මට තාත්තගෙ අතින්ම ඇඳල හදපු උපන්දින සුබපැතුම්පත් තමයි දෙන්නෙ. ඔය සුබපැතුම්පත මට කියවන්න ලැබෙන්නෙ මෑත කාලෙකදි අපේ අම්මා අල්මාරියෙ අරන්තියාගෙන ඉඳලා මට දුන්නම. අවුරුදු පහේදි මට ඒකෙ ඇති අරුමයක් නැති උනත් අම්ම අල්මාරියෙන් අරගෙන ඒ ආදරණීය මතකය අවුරුදු දහ අටේදි අතට දුන්නම මට දැනුණෙ මහා ලොකු හැඟීමක්. ඒක මම තියාගත්තා මගේ මහාර්ඝ වස්තු ගොන්න අතරෙ.
මගේ ළබැඳි සොහොයුරා මේ කවිය නැවතත් කියවලා හරි අපූරු දෙයක් මගේ හිතට වැද්දුවා..

"හොඳ හොඳ දේ තෝරාගෙන නරක පුරුදු ඉවත ලා
නිවැරදි මාවත ඔස්සේ ඔය පා පොඩි ඔසවලා
හෙමින් හෙමින් පිය නඟන්න අප පැතු ලෝකය බලා
එතකොට වෙන මැණික් මොටද මුතු දුව මැණිකක් වෙලා.."
‘හරිම අපූරුයි! ඔයාගෙ තාත්තා කවිය වේවැලක් කර ගත් හැටි!’

සත්තකින්ම! ඒ අපූරු වේවැල හිතේ වැනෙන තුරාවට එයින් පිට පනින්නට බියට වඩා ඇති අකමැත්ත නිසාවෙන් සෙනෙහසේ ඇරඹුම මනාලෙස රැක ගැනීමට තවමත් මට හැකිවී ඇති අයුරු ගැන ඇත්තෙ ලොකු සතුටක්. එවන් සතුටක් මට ලබා දුන් මා වටා මෙතුවක් සිටි සහ දැනට සිටින සැම දෙනාට මගේ සෙනෙහස් ප්‍රණාමය පුදමි. මගේ සෙනෙහස් ඇරඹුමේ හිමිකරුවන්ට දීර්ඝායුෂ වේවා!

Wednesday, August 17, 2011

සස්ටජන්


'සස්ටජන්' අප නිවස දැන හැඳින ගත්තේ මීට අවුරුදු තුනකට පමණ පෙර ය. එදින, ඔහු මැසූ කොට්ටඋර දුසිම විකුණාගත නොහී අහම්බෙන් අප නිවසට රැගෙන ආවේ ය. ගෙන ආ ඒ කොට්ට උර සියල්ලෙන් අඩක්ම අපේ තාත්තා මිළදී ගත්තේ, කෙසඟ පුද්ගලයා තම දිවි ගැට ගසා ගැනීමට දරන වීරිය අසා ඒ ගැන වූ අනුකප්පාවෙනි. එහෙත් මව එයට එතරම් මනාප නොවුණේ කොට්ට උර, ඔහු නැති බැරි කමට මැසූවක් හෙයින් හොඳ නිමාවක් නොමැතිකමත් එපමණ කොට්ට උර මිළදී ගත් පසු අපවම විකුණාගෙන කෑමට නැවත ඒමට ඉඩ ඇති බැවින් ය. එනිසා එක කොට්ට උරයක් ගැනීම ප්‍රමාණවත් බව මව ගේ අදහස විය. එහෙත් අපේ තාත්තා කොට්ටඋර දුසිම් භාගයක්ම මිළ දී ගත්තේ අසරණ කලාකාරයෙකුට සරණක් ලෙසට ය.


ඔහු තබ්ලා වාදකයෙකි. අප නිවසේ තබ්ලාවක් තිබුණෙන් තාත්තාගේ නියමයෙන් එය වැයීමට ඔහුට දුනිමු. වෙව්ලන දුබල ඇඟිලි නලවා ඔහු එය අපූරුවට වාදනය කර පෙන්වී ය.පෙර දා කීර්ති පැස්කුවෙල් ගී ගයනා විට එයට තබ්ලා නාදය මුසු කලෝ මොවුහු ය. පැස්කුවෙල් මහතා මොහුට උදව් කළ ඇති මුත් මොහුට නැවත නැවත එතුමා හමුවීමට කොළඹට යෑම දුක්ෂකර කටයුත්තක් විය. තව කලාකරුවන් කීප දෙනෙක් සමඟ හැඳුනුම්කම් තිබූ මුත් මොහුට ඔවුන් තමා හමුවීමට එන්නැයි කීවිට යන්නට තරම් හයියක් මොනම අයුරකින් හෝ නොවීය. තම අසනීපයෙන් ඇඳට වී හුන් බිරිය රැක ගැනීමට අන් පිළිසරණක් නැති මොහු කොට්ට උර මසා විකුණා ඇගේ අසනීපය වෙනුවෙන් වියදම් කරන්නේ ය.


මොහු අන් පිළිසරණක් නොමැත්තෙක් වන්නේ ඔහුට දූවරු දෙදෙනෙක් සිටිය දී ය. දූවරුන් දීගතල ගොසිනි. සැමියන් ඔවුන්ට දෙමාපියන් බැලීමට තහංචි පනවා ඇත. කන බත ගුලි උගුරේ හිර වී දියණියන් විස්සෝප වන්නේ දෙමාපියන්ගේ බඩගින්න ඔවුන්ට නොදැනී නොවේ. එහෙත් එය ද තවත් දුක්බර කතාවකි.


මේ කතා සියල්ල ඔහු, අප හමු වූ මුල් දින කී පසු ඔහු ගැන දැඩි කණගාටුවක් අප තුළ විය. ඔහුට යම් ලෙසිකින් උදව් කිරීමට හැකිවීම ගැන සතුටු වීමු. එය එසේ තිබියදී ටික දවසකට පසු නැවත ඔහු පැමිණියේ ය. ඒ කොට්ට උර නොමැතිව ය. එදා අත් පත්‍රිකා බෙදීමට අප ප්‍රදේශයේ ගුරුවරයෙක් ඔහුට නියම කර ඇති බැවින් ඔහු හමු වීමට ගොස් හමු නොවුණු තැන අප නිවසට ගොඩ වී එදා වේල පිරිමසා ගැනීමට යම් මුදලක් ඉල්ලී ය. පියා සුළු මුදලක් ඔහුට දුන්නේ ය.


මෙසේ කලක් තිස්සේ අප ගෙදරට එන්න යන්නට පුරුදු වූ ඔහුට අප නිවසෙන් සුළු මුදලක් සමඟ තේ වතුර කෝප්පයක් ද ලැබුණි. ඒ ඔහු ගේ ඉතා හීන්දෑරි වියපත් කෙසඟ සිරුර ඉතා විඩාබර ස්වරූපයක අපට නොසලකා නොහැරිය හැකි වූ නිසා ය. යම් විටක ක්‍රීම් ක්‍රැකර් කීපයක්ද ගෙන යෑමට දුනිමු. තවත් දවසක උදේ සිට බත් නොකෑ බව කී විට බත් පැකැට්ටුවක්ද ඔතා දුනිමු. ඔහු ඒ දෙන දේ තම ලෙඩින් උන් බිරිඳ සමඟ බෙදා කන බව නැවත එන දිනයේ දී පවසන්නේ ය. ඒ කෙසේ වුවත් මොහුගේ මේ නොනැවතෙන ඒම අප පවුලේ ප්‍රධාන ගැටළුවක් වී තිබුණේ ය. එහෙත් සුළු මුදලක් දී ඔහුව හරවා යැවීමේ මට්ටමක අපි සිටිමු.


එසේ කලක් ගිය තැන ඔහුගේ බිරිඳ ඉතා අසාධ්‍ය තත්වයේ යැයි කියා ලොකු මුදලක් බලාපොරොත්තුවෙන් ආ දා ඔහුගේ පැමිණීම අපට රුචි නොවීමු. 'ඇයි දැන් අපි විතරද මෙයාට සල්ලි දෙන්න ඕන.. තව ගෙවල් ටිකකට ගියානම් අපෙන් මේ ගන්න ගානම පොඩ්ඩ පොඩ්ඩම එකතු කරගතෑකි නේ'
එහෙත් නොදී බැරිම තැන ඉල්ලූ ගණනින් අඩක් අඩු කොට දුනිමු. එහෙත් ඔහු ඉල්ලූ රුපියල් පන්සීයක මුදලම දෙන්නේ නම් එය වෙලාවේ හැටියට ලොකු උදව්වක් බව ඔහු පැවසීය. එදා නම් අපේ අම්මාට ඔහු සමඟ නුරුස්සම වැඩි විය. තාත්තා ඔහු ඉල්ලූ ගණනින් අඬක් දී ඔහු පිටත් කර හැරියේ ය.


දැන්නම් මොහුගේ ඒම නො එන තැනට වැඩ කිරීමට කවුරුත් කතිකා කොට ගත් හ. ඔහු දෘ‍ෂ්‍යමානයේදී අපි අතුරුදහන් වෙමු. සල්ලි නොදී හරවා යවන්නෙමු. ටික කලක් මෙසේ හැසිරීම් සිදු වූයෙන් ඔහුගේ පැමිණීම නතරව විය.


මාස ගණනකට පසු නැවතත් ඔහු අප නිවසට එනු දුටු අප විමසිලිමත් විය.. ඔහුගේ මූණෙහි වඩා දුක්බර සෙයකි. ඔහු පෙරට වඩා රෝගී වී ඇති බව පෙනිනි. ඔහුම කතාව පටන් ගත්තෙන්, අපි අසා සිටිමු. ඔහුගේ බිරිඳ සතියකට පෙර මිය ගොසින් ය. මිය යාමට පෙර ඉතාමත් අසාධ්‍ය තත්වයේ හුන් ඇයට, ඇගේ දුවණිවරුන්ගෙන් වතුර උගුරක් කටට දමා ගැනීමට අවස්ථාවක් විවාහක පිරිමින් දෙදෙනා ලබා දී නොමැත. අවසන, තමාට අන්පිළිසරණක් අනිවාර්ය ලෙසකින් නොමැති හෙයින් තමාගේ පිළිසරණ තමාම බව අවබෝධ කරවමින් ඕ තොමෝ එක් දුකක් කෙළවර කරගත්තා ය.


එහෙත් ඔහු, තවම දුක කර ගසාගෙන යයි. ඔහුගේ සිරුර බෙහෙවින් අබලන් තත්වයක ය. ඔහු මුමුණා පවසන දෙයින් කියන්නේ ඔහුට වකුගඩු රෝගයක් මෙන්ම හතිය ද ඇති බව ය. එබැවින් නැවත ඔහු දුබල සිරුරත් රැගෙන තවමත් අප පිහිට පතා පැමිණේ.


අපි ඔහුට 'සස්ටජන්' නාමය ප්‍රදානය කලේ මෙ කල ය. දිනක් ඔහු, වෛද්‍ය නියමයෙන් සස්ටජන් (SUSTAGEN) ටින් එකක් මිළදී ගැනීමට මුදල් ඉල්ලාගෙන පැමිණියේ ය. අපේ අත්තම්මාටත් සස්ටජන් පානය ලබා දෙන බැවින් අත්තම්මාගේ සස්ටජන් ටින් එක ඔහුට ලබා දුන්නේ එහි ඔහුට සෑහෙන්න කිරිපිටි ප්‍රමාණයක් ඉතිරිව තිබූ බැවිනි. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ අලුතින් ටින් එකක්ම ගැනීමට මුදල් අවශ්‍ය බව පවසමිනි. සස්ටජන් ටින් එකක් එකල රු.960 විය. එතරම් මුදලක් ඔහු අපෙන් ගන්නවාට වඩා හතරෙන් එකකටත් වඩා වැඩියෙන් කිරිපිටි තිබූ ඒ සස්ටජන් ටින් එක අරගෙන යෑම තැනේ හැටියට අවශ්‍ය බව ඔහුට නොතේරුනේ ඔහුගේ අවාසනාවට ය. ඉදින් ඔහු හිස් අතින්ම නික්ම ගියේ ය.


මේ අතර අපේ ගෙදර 'සස්ටජන්' සහ 'සස්ටජන්ලා' ගැන වට මේස සාකච්ඡාවක් පැවැත්විණි. ඒ වන විට අපේ ගෙදරටම මෙවැනිම අබ්බැහි වූවන් පිරිසක් ඉන්නා අතර ඔවුන් සස්ටජන් තරම් දරුණු ගණයේ අය නොවීය. දෙන දෙයක් අරගෙන යන අය විය. ඒ අතර 'පාකින්සන්' නැමැත්තෙක්ද වේ. ඔහුගැන කීමට වෙනම කතාවක් ඇත. ඔහු අපේ තාත්තාගේ මඟුල් ඇඳුම මැසූ ටේලර් ය. දැන් ඔහු පාකින්සන් රෝගයට ගොදුරු වුණු අසරණයෙකි. ඔහු අප නිවසට පැමිණි මුල් දින මම බෙහෙවින් ඔහු ගැන දුක් වුණෙමි. පාකින්සන් රෝගයේදී රෝගියාට තම අත් පා පාලනය කර ගත නොහැකිය. අත් පා එහෙ මෙහෙ විසි වේ. කකුල තිබිය යුතු තැන නොතැබේ. ඔහුට දිනකට රු.60 ක පමණ මුදලක් බෙහෙත් සඳහා වියදම් වේ යැයි කියයි. දිනපතා නො එතත් දවසින් දවස ගෙයින් ගෙට ගොස් අප නිවසට එන දා ඔහු පැමිණි විට රු.40ක්  හෝ 60ක් දීම එතරම් අයහපත් නොවන බව අපේ අදහස විය. ඔහු කීයක් දුන්නත් එය රැගෙන යයි. ඒත් සස්ටජන් එසේ නොවේ. සස්ටජන් පැමිණෙන්නේ අප නිවසටම ය. දෙන දේ භාරගෙන යන්නේද නැත. ඇයි මොහු අපටම කරදර කරන්නට අප නිවසටම පැමිණේන්නේ? එයට ඉතා සරල පිළිතුරක් අපේ අම්මාට විය.


'මුලදිම වරද්ද ගත්තනේ.. '
කතාව ඇත්ත ය. අපේ තාත්තා, 'අසරණ කලාකරුවෙකුට යන කල' ගැන අනුකම්පාවෙන් ඔහුට අත දීමට ගොස් අත හපා-කා ගන්නට දුන් සැටියකි. අම්මා එසේ කීවත් තාත්තාගේ අදහස වෙනකකි.


'පාරෙ මඩ ගොඩක එක පුංචි තැනක් තියනව නම් කකුල තියල යන්න පුළුවන්.., අන්න එතනට තමයි හැමෝම කකුල තිය තිය යන්නෙ.. අපිටත් වෙලා තියෙන්නෙ ඒකමයි.'


තාත්තාගේ කතාව ද සැබෑවකි. අන් නිවැසියෝය, අපේ අම්මා කියන ලෙසට මුලදිම යම් ප්‍රමාණයට ඔවුන් හසුරුවා ගත් අය වූ‍යෙන් ඔවුන්ට වැඩි කරදරයක් විදීමට සිදු නොවුනි. එසේනම් ඔවුන් තාත්තාගේ කතාවට අනුව මඩ ගොඩවල් විය යුතු බව මාගේ අදහස වුණි. අපි, මඩෙන් නිදහස්, සැමටම පය ගසා යා හැකි තැනක සිටියා වුවත්, සස්ටජන්ලාගෙන් එල්ලවන පය තැබීම් හමුවේ දැඩි ලෙස තැලී පොඩිවී සිටින්නෙමු. දැන් තාත්තාගේ සීමාවද ඉක්ම ගොස් ය. එහෙත් සස්ටජන්ගේ බෙහෙත් තුන්ඩු දික් කිරීම් වලට නොසලකා හැරීමද යුතු නොවන තැන ඔහු ද සුළු මුදලක් දික් කරයි. සස්ටජන්නොයෙක් වර කියන්නේ නැවත අපට කරදර කිරීමට නොපැමිණෙන බවයි. නමුත් බොහෝ කාලයකට පසු නැවත පැමිණ වෙව්ලන දුබල දෙ අතින් පවසන්නේ තමන්ට වැඩි දුර ඇවිදීමට නොහැකි බැවින් එකම තැනකින් මුදල් ඉල්ලා යෑමට පැමිණෙන නිසා එයට ඔහුට සමාව දෙන්නට ය කියා ය.


කාරණා කෙසේ වුවත් තවමත් ඔහු අප නිවසට පැමිණේ. අපද ඔහුට සුළු මුදලක් දී පිටත් කර හරියි. ඒ අතරට ඔහු අපට නුරුස්සන මුදල් නොඉල්ලන්නේද නොවේ. එවිට අපද ඔහු නුරුස්සන මුදලක් දී හරවා පිටත් කරගනියි.


ලෝ දහම මෙයයි. කෙනෙකු මෙය සමාජ විද්‍යාත්මක දෘෂ්ටියෙන්, සමාජවාදී දෘෂ්ටියෙන්, දේශපාලන දෘෂ්ටියෙන් හෝ මනෝවිද්‍යාත්මක දෘෂ්ටි ආදී නානාවිධ දෘෂ්ටීන්ගෙන් බලා අන් අයට ඇඟිලි දික් කර හෝ ඇඟිලි උලුක් කර ඔවුන්ගේ වැරැද්දෙන් මෙය වූවා යැයි චෝදනා කළ හැකි වුවත් බුදු දහමට අනුව මෙය පුද්ගල විෂයෙහි පුද්ගල සිත සමඟ ගොඩ නැඟෙන වරදකි. මෙවැනි පුද්ගලයන් මේ සමාජයේ අතීතයේ, වර්තමානයේ මෙන්ම අනාගතයේ ද සිටී. අප දීම ගැන සතුටු වනවා සේම දී, ඒ ගැන පසුවිපරම් කිරීම් අනවශ්‍ය ය. එහෙත් දෙන්නේ කාටදැයි බලා ඒ අනුව දානය කරනවා නම් එයින් දෙගොල්ලන්ටම යහපතක් සලසා ගත හැකි ය.

Monday, November 22, 2010

මිතුරු එකතු


මට මෙහෙම හිතෙනවා. අපි හැදුණු පරිසරයෙ ඉන්න අය එක්ක අපි ඉන්නෙ සාම්ප්‍රදායිකව. අපිට ඒ අයව ඕන හිතවතුන් විදියට. ඒත් අපේ සිතුම් පැතුම්  සමඟ හාවෙන හිතවතුන් ඇසුරු කරන්නට ලැබෙන්නෙ බොහෝ දුරට මේ කිව්ව හැදුණු පරිසරයෙන් එපිටින්.  අපි හිතන විදියට හිතන, අපි කරන දේවල් ඇඟයීමට තරම් රසයක් දන්න අය මේ කියන එපිට පරිසරයෙන් තමයි සැබැවින්ම හොයා ගන්න පුළුවන් වෙන්නෙ. ඒත් ඒ පරිසරය, නානාප්‍රකාර විදියෙන් සමාජගත වෙලා තියෙන්න පුළුවන් නමුත් ඒ සමාජ ඇසුර ගැන වැඩිහිටි ආකල්පයන් විවිධ හැඩරූ ගැනීමේ හැකියාව ගොඩක්ම වැඩියි. ඒත් ඒ වැඩිහිටි මතය යටටම වෙලා ඉන්න පිරිසක් අපට හොයා ගන්න බැරි කලෙක සම්ප්‍රදායික බැමි කඩාගෙන අර කිව් මිතුරු හවුල් කරා යන ප්‍රවණතාවය දැන් නව ආරකින් නම් බෙහෙවින්ම වැඩි වෙලා තියනවා. 

කොහොම උනත්, මට මේක ලියන්න හිතුණෙ නම් කාලයක් තිස්සෙ මේ ගැන මට හෙමි හෙමින් දැනුණු නිසා. මට මේ කියන සාම්ප්‍රදායික පරිසරය තුළ, මගේ ගොඩට වැටෙන්නට හිටියෙ අපේ ගෙදර අය විතරයි. අපි අපේ හැඟීම් දැනීම් තේරුම් ගත් අය වීම නිසා ඒක අපේ හිතවත්කම  තර කර ගන්න ගොඩක්ම හේතු උනා. ඒත් සමවයස් කණ්ඩායම් එක්ක එකතු වීමේදී එහෙම සම අදහස් බෙදාගෙන රස විදින්න තරම් මිතුරු කැළක් නොලැබීම ගැන මට නම් ඇත්තේ සතුටක් නම් නොවේ.
ඉතින් මේ කිව්ව වගේ මිතුරු සමාජ තියන එකේ වැදගත්කම එයයි. එය අනිවාර්යෙන්ම පුද්ගලයෙක් තුළ තියන රසවත් කම් බෙදා ගන්න තියන තෝතැන්නක් වගේම තම නිමැවුම් හැකිකම්, දැනූම් ලබා ගැනීම් නිරායාසයෙන්ම සිදුවන තැනක්. ඒත් ඉතින් මේ රසවත් මිතුරු එකතුව මනා සේ හසුරුව ගන්න බැරිවීම ගැන නම් වග කියන්න වෙන්නෙත් තම තමන්ටම තමයි. මේ, අපේ සමාජයේ අතීතයේ සිටම ලොකු පොඩි ප්‍රමාණයෙන් තියෙන දෙයක් උනත් කිසිවෙක් ඒ ගැන වැඩි තැකීමක් නොකරන කාරණයක්.  

මේ ගැන ලිපිය ලියල අහවර කරන්න මාන බලමින් උන්නු මට හරි අපූරු වැඩක් වුණා. ඒකත් හරිම අපූරු විදියට.. පුරාණ යක්ක, ආර්ය කතාවක් ගැන, වැඩිමල් සොහොයුරෙක් සමඟ ඇති කර ගත් කතාවේ අවසන, ඔහුගේ කියුමකට සිත් අමනාප කමක් ඇති කරගෙන ඔහු සමඟ නොදොඩා පලා ගිය මා හා නැවත මිතුරු වීමට ඔහු ගත් අපූරු තැත මේ ලිපිය දිගු වීමට නම් අනිවාර්ය හේතුවක් වුණා. සැබැවින්ම එය හරිම සුන්දර උත්සාහයක්!

පසු දින ඔහු දුටු මම, අමනාපය දිගු නැති බව පෙන්වන්නට ඔහු සමඟ කතා කළා. ඒත් පෙර ලෙස මාගේ කතාවේ පුරුදු ස්වරය නොතිබුණු නිසාදෝ, ඔහු විටින් විට ඇසූවේ තවම ඔහු සමඟ අමනාපයෙන්දැයි යනුවෙන්. මම එසේ නොවන බව කිව්වත් ඔහුට එය හරි නැත... 

"එහෙම නම් අපි ගිහිල්ලා දේදුන්න කෙළවර තැන ඉන්න ලස්සන සුරංගනාවි ගුහාවේ හංඟපු දියමන්ති කළය හොයමු..?
හරී..  

හැබැයි එතැන්ට යන්න කළින් වයස් ගත අඟුටු මිටි පඬි තුමා අහන ප්‍රශ්ණ තුනට හරියට උත්තරේ දෙන්න ඕන..උත්තර වැරදුණොත් එතුමා මැජික් බලෙන් එන අයව ගල් කරනවා..

හිහි.. හා

අඟුටු මිටි පඬිතුමා ඉන්නේ උස කන්දක් මුදුනේ..එතනට යන්නත් හරිම අමාරුයි...දිලිසෙන මුවා පස්සෙන් දුවන්න ඕන..එහෙම දුවන්න නම් විලෝ ගහේ බෙණයේ තියෙන ධාවක පානය ටිකක් අපි දෙන්නත් බොන්න වෙනවා..

බොමු.. ඒත් ඒව මත් වෙන ජාතියක් නෙවෙයි නෙ?? 

නෑ..ඒවා හදලා තියෙන්නේ ගිම්හාන කාලෙට තමන්ගේ පෙම්වතා නැතිවීමේ දුකට අඬන ෆීනික්ස් කිරිල්ලියන්ගේ කඳුළු වලින්

ඉතින්?

ඉතින් දැන් පඬිතුමාගේ ප්‍රශ්ණවලට හරියට උත්තර දුන්නොත් එතුමා ගල් දොරටුව ඇරලා දෙනවා යන්න කියලා ඇතුළට..

ම්ම්

හරි

ගල් දොරටුව වැටෙන්නේ උමඟකට..ඔය උමඟේ ඉන්නවා ඔළු හතරක් තියෙන රාස්සියක්..
රාස්සිගෙන් කාටවත් බේරිල්ලක් නෑ...හැබැයි රාස්සිගේ එක දුර්වල කමක් තියෙනවා..එයාට "සුරංගනාවියො" ගැන කියන සින්දු ගෑණු ලමයෙක්ගේ කට හඬින් ඇහුවොත් නින්ද යනවා ඉක්මණින්

හිහි

ඒ නිසා එයාට නොපෙනෙන්න ඉඳගෙන අපි දෙන්නා සිංදු කියන්න ඕන

හරී.. කියමු

සිංදුත් කිව්වයි කියමුකෝ ඊට පස්සේ එයාට නින්ද ගියාට පස්සේ තමයි අමාරුම කොටස තියෙන්නේ එයාගේ මායා කැඳ එක හදන හැන්ද අපි ගන්න වෙනවා..මොකද ඉස්සරහට ඒකෙන් කරන්න වැඩක් තියෙනවා ඔය ගමනෙදි...

හිහි.. නියමයි!! මාත් එකපයින්!


ඒක ගන්න එක මම කරන්නම්...හැබැයි එයා ළඟ ඉන්න කටකාර මීයාව ඔයා අල්ලගෙන ඉන්න ඕන..නැත්නම් ඌ කෑ ගහලා මායාකාරිව ඇහැරවනවා..

හරී මම කරන්නම්


දැන් එතනිනුත් පැන්නා කියමුකෝ...ඊට පස්සේ ගුහාව කෙළවර තියෙන්නේ වළාකුළ් වලින් වැහුණු ගැඹුරු ආගාධයක්..එතැනින් එහා ඈත පේනවා කඳු ගැටයක මුදුනක්..ඕතෙන්ට යන පාලමක් තියෙනවා..දිරපු එකක්..ඔයා බිම බලන්නේ නැතුව ඉන්න ඕන..බිම බලන්න පුළුවන් පිරිමි ළමයෙකුට විතරයි..ඒක ඒ තරම් ගැඹුරුයි..

මම කොහොමත් උස තැන් වලට බයයි

පාලමෙන් ගොඩ උනා කියමුකෝ..ඔතැන්දි එනවා නිදි ආතාගේ රටට..නිදි ආතා ඇහැරවලා එයාගෙන් පාර අහන්න ඕන..මොකද එතැන පාරවල් දෙකක්..එකකින් යන්නේ සර්ප විමානෙට..අපි හරි පාර අහ ගන්න ඕන...
නිදි ආතා ඇහැරවන එක අන්තිම අමාරු වැඩක්...ඒකට එයාගේ කණට අලියෙක් ලවා සද්ද කරවන්න ඕන..අලියෙකුත් ඉන්නවා ඒ ළඟම ඌ කැමති කරව ගන්න නම් වැඩේට ඌට මී පැණි එක්ක උගේ ළඟ තියෙන අල්ලන්න බැරි බෙහෙතක් කවලම් කරලා දෙන්න ඕන..හැන්ද ඕන ඒකට තමයි..

හරිම අමාරු වැඩක්

දැන් ඉතින් ආතාව ඇහරවෙගෙන පාරත් අහගත්තයි කියමුකෝ..
අර අලියා අපිව ගී කියන ගස් තියෙන කැලේ මායිමට යන කල් ගෙනිහින් බස්සයි..

හරි

ඕතෙන්දි අපි කූඹින්ගෙන් මැලියම් ඉල්ලගෙන කන් වල උලා ගන්න ඕන..නැත්නම් ඒ ගී කියන ගස් වල සද්දෙට අපේ කන් පැලෙනවා...

හ්ම්ම් 

ඒකට කූඹින්ගේ රජ්ජුරුවන්ට තෑග්ගක් දෙන්න ඕන අමතක නොවෙන..අපි එයාට සෙංකෝළයක් හැටියට පාව්ච්චි කරන්න ඔයාගේ රත්තරන් කොණ්ඩ කටුවක් දෙමු..

හරි.. මම කැමතී   :)

කූඹින්ගේ මැලියම් කණේ උලාගෙන ගී කියන ගස් තියෙන කැලේ මැදින් ගිය ගමන් හම්බ වෙනාවා විශාල විලක්..
ඕකෙන් එතෙර වෙන්න බෑ..ඒකට යෝධ උකුස්සාගේ දෙපයේ එල්ලිලා යන්න ඕන..ඌට ඒ හැටි වැටහීමක් නෑ කවුරු හරි එල්ලුණත්..නමුත් ඌ විදුලි වේගෙන් ඒ ළඟ තියෙන ගහක අත්ත උඩින් ඉගිලෙන කොටම අපි එල්ලෙන්න ඕන..බැරි උණොත් ඌ ආයේ එන්නේ අවුරුදු සීයකින්..අවුරුදු සීයක් යනතුරු අපිව එතනම පිළිම බවට පත් වෙනවා..

ඕහ් 
එහෙනම් එක සැරෙන්ම යමු..

ඔව්..ඒක කර ගත්තොත් අපිව ඌ අහසින් අරන් යයි..ඒත් සීතල සුළං කොච්චර වැදුණත් "අනේ මට සීතලයි" කියලා කීම තහනම්..මොකද කථා කළොත් උකුස්සාට ඇහිලා අපිව වතුරට අත අරිනවා..ඒක නිසා වෙව්ල වෙව්ල හරි කට පියාගෙන යන්න ඕන..

ඉබ්බ වරද්ද ගත්තු තැන

අනිත් පැත්තේ තියෙන ලස්සන දිය ඇල්ල පාමුල තමයි දේදුන්නේ කෙළවර තියෙන්නේ...ලස්සන සුරංගනාවිගේ පළතුරු වත්ත මැදට තමයි උස දිය ඇල්ල වැටෙන්නේ...
හැබැයි ඒකත් ගැටළුවක් තියෙන තැනක්..
පිරිමි ළමයෙක්ට ඒ සුරංගනාවි එක්ක කථා කරන්න බෑ..මොකද පිරිමි ළමයෙක් එයාගේ මූණ දිහා බැලුවොත් වශී වෙලා එයා ආපු කාරණේ අමතක වෙනවා..සුරංගනාවි එක්ක කථා කරන්න පුළුවන් ගෑණු ළමයට විතරයි...

හරි මම කතා කරන්නම්

හරි දැන් ඔය සුරංගනාවි අහවි ඔයාගෙන් "මේ ලෝකෙ වැඩියෙන්ම ලස්සන කොණ්ඩේ තියෙන්නෙ කාටද කියලා

එතකොට?

ඔයා කියන්න ඕන "මගේ කොණ්ඩේ තමයි වැඩියෙන්ම ලස්සන" කියලා.."වැඩියෙන්ම ලස්සන කොණ්ඩේ ඔයාගේ කිව්වොත් ගෑණු ළමයෙක් කවදාවත් එහෙම දෙයක් අවංකව වෙන ගෑණු ළමයෙකුට කියන්නෙ නෑ" කියන එක දන්න නිසා සුරංගනාවි ඔයාව කුරුල්ලෙක් කරයි

හිහි 

ආයෙත් සුරංගනාවි අහයි.."මේ ලෝකෙ වැඩියෙන්ම බර උස්සන් ඉන්නේ කවුද?" කියලා..ඔයා කියන්න ඕන "තාත්තා" කියලා..

හරි 

තුන් වෙනි වතාවට සුරංගනාවි අහවි.."මේ ලොකෙ සම්පූර්ණයෙන්ම අනුන් වෙනුවෙන් කැප වුනු එකම එක්කෙනා කවුද? කියලා"..ඔයා කියන්න ඕන "අම්මා" කියලා

ඇත්ත නේන්නං! 

සුරංගනාවි කිව්ව තමයි ඕනම දෙයක් ගන්න කියලා..හැබැයි මතක තියා ගන්න..එයා එළියේ ඉඳන් බලන් ඉන්නේ..එයාට ඔයාව පේනවා..තමන් ගන්න ආවේ නැති, තමන් නො ඉල්ලපු, තමන්ට අයිති නැති කිසිම දේකට අත නොතියා එතෙන්ට ළමයෙක් ගියොත් ඒ මල නටුවෙන් නැමිලා කළය ඔයාගේ දෝතින් තියනවා..හැබැයි එතනට යන පාර දෙපැත්තේ තියන මොනවාම හරි දෙයක් කොච්චර ආස හිතුණත් ඇල්ලුවොත් ඒ මොහොතේම ඔයත් එතන තියෙන වටිනා භාණ්ඩයක් බවට පත්වෙනවා..ඔය කාමරේ පිරිලා තියෙන අනිත් දේවල් ඔයාට පෙර එහෙම ආපු රජවරු, රැජිණියෝ

හරි මම අයිති නැති දේවල් ගන්නෙ නෑ 

එහෙනම් මල ඔයාට නැමිලා කළය දෝතට දෙයි..ඒක ගත්ත ගමන් සුරංගනාවි අත්පුඩි ගහයි දියමන්ති කළයේ අයිතිකාරි ආවා කියලා..ඊට පස්සේ එයා සුදු පාට, ඝණ දිග තටු තියෙන අශ්වයෙක්ව ගෙන්නලා දෙයි අපිට ආපහු ගෙදර යන්න..මම ඒත් සුරංගනාවි දිහා බලන්නේ නෑ..ඔයා ඕන මාවත් අස්සයා පිටේ නග්ගගෙන සුරංගනාවිටත් අත වනාගෙන යන්න..අස්සයාගේ කණට කරලා "ලස්සන සුදු අස්සයෝ..මාව ගෙදර ඇරලන්කෝ" කියලා තුන් පාරක් කිව්වම ඌ ඉගිලෙන්න පටන් ගන්නවා..ආයෙ නවතින්නේ අපි ගමන පටන් ගත්තු තැන..හැබැයි එතනින් බැස්සම අස්සයටත් දෙන්න කැරට් අලයක් ගමනට ගෙනියන්න අමතක කරන්න එපා..

අපේ ගෙදරට අම්ම ගෙනාව සුප් හදන්න රස කැරට් අලයක්.. මම ඒක ගේන්නම්..

එහෙනම් ගමන සම්පූර්ණයි..!" 

...මින් පෙරත් අප දෙදෙනා ළමා කතා ගැන අදහස් හුවමාරු කරගත් අය නිසාවෙන්ම මා සතුටු කිරීමට ඔහු ගත් උපායද ළමාකතාන්දරයක්. එය සැබැවින්ම රසවත් ය.. මගේ සිතේ අමනාපයක් මෙයට පෙර තිබුණා හෝ නොතිබුණා, මේ කතාන්දරයෙන් පසු මගේ සිත බෙහෙවින් ප්‍රමෝදමත් වුණා. ඒ කොපමණදැයි කිව්වොත් මම එදින නින්දට ගියේද ඒ සුරංගනා කතාවෙන් හිත පුරෝගත් මටසිළුටු ආස්වාදයකින් යුතුවයි. එය හීනෙන් පේන තරමට සැයකුත් මගේ හිතේ සතුට අතරෙ හැංගිලා හිනා වුණා.

මේ ගැන මසිතින් මෙලෙස අකුරට පැන්න තැනදී ඒ ගැන කතා කරන්න සිටි  මිතුරා වූයේත් ඔහුයි. ඉදින් මම ඔහුට මේ ගැන කිවූ තැන ඔහු, මෙයට අපූරු වූ අරුත් පිරවීමක් එක් කළා.  ඔහුගේ වදනින්ම එය ලියැවී තිබුණේ මෙලෙසිනි.

"සම්ප්‍රදාය, විශේෂයෙන්ම සිංහල වැනි ප්‍රතාපවත් ජන කොට්ඨාශයක් වෙත උරුම වූ සම්ප්‍රදායක් වෙතොත් එය, අනිවාර්යෙන්ම ආරක්ෂා කළ යුතුය..එයට යම් වෙනසක් සිදු කරතොත්, ඒ කළ යුත්තේ එහි දැවැන්ත මුල් කිසිවකට හානියක් නොවන පරිද්දෙන්ය..එසේ වූ සම්ප්‍රදාය හා ඒ ඔස්සේ ගොඩ නැඟෙන සංස්කෘතිය තුළ යමෙකු තබා ඇත්තේ, මේ ලිපියට පාදක වූ මුතුහරිණි නැඟණිය විසින් සම්පාදිත "මිතුරු එකතු" ලිපියේ ඇති පරිදි, අපගේ සමීපතමයන්, අපගේ "ඇතුලත් වෘත්තය" තුළ ජීවත් වන්නෝමය..
නමුත්, අප ජාතියක් ලෙස මහා සංස්කෘතියකට හා ප්‍රාදේශික වසයෙන්, පවුල් වශයෙන්, පසුබිම් වශයෙන් උප සංස්කෘතීන්ට හසුවී සිටින්නා වුවද, අපේ සිතුවිලි, එහෙම නැතිනම් සෑම මොහොතකම හිතට දැනෙන දේ පෙළක් ලෙස සැකසුවොත්, ඒ සිතුවිලි චිත්‍රපටියක රූප රාමු ලෙස සැකසුවොත්, එතැනම, අපි එකිනෙකාට සීමාවූ, වෙනම පුද්ගලික සංස්කෘතියක් හැදෙනවා...අපේම "පුංචි" සංස්කෘති පොඩ්ඩක් හැදෙනවා..බුදුරජාණන් වහන්සේ "නානත්ථ කායා..නානන්ථ සංඤා" ලෙස දෙසා වදාළ සේම ඒ, ඒ "පැටි සංස්කෘතීන්", ඒවා බිහිවන කායේ සංඥා අනුව වෙනස් වෙනවා...අන් අයගේ "පැටි සංස්කෘතීන්ට" කැමති, අකමැති කම් ඇති වෙන්නේත් ඒ ඔස්සේමයි...උදාහරණයක් කිව්වොත්, මගේ චරිතයේ ඇළුණු ඒ මගේ පුද්ගලික සංස්කෘතිය දැක්කොත් "ඒක හරිම ලස්සනයි" කියන අය වගේම "මොකෙක්ද උඹ?" කියන අයත් ඉන්න පුළුවන්..

ගතින් මහා සම්ප්‍රදාය රැක්කත්, සිතින් එහි උත්තුංග ලක්ෂණ අගය කරත්, එයිනුත් ඔබ්බට, ඔබ සිර ගත වෙලා ඉන්න ඒ සාම්ප්‍රදායික ඇවතුම් පරිශ්‍රයෙනුත් ඔබ්බට, සිතුවිලි වලට පුපුරා විසිරී යන්න ඉඩ දෙන එකේ වරදක් නෑ..ඇතැම් විට ඔබේ සිතුම් පැතුම් වලට, ඔබේ ඒ පැටි සංස්කෘතියට ගැළපෙන රූප රාමු, එවැනි කථා, එවැනි ජන කථා, එවැනි ඇවතුම්, එවැනි පසුබිම් සැබවින්ම තියෙන්නේ ඔබේ රටෙනුත් ඔබ්බේ වෙන්න පුළුවන්..

එතෙන්දි මම, මේ ලිපියට පාදක උනු මුතුහරිණියගේ ලිපියේ ඇති "මිතුරු එකතු" යන වචනයට, (එතුමියගේ අවසරය ලැබෙයි කියලා හිතෙනවා මේකට ) වඩා පුළුල් අර්ථ නිරූපණයක් කරන්න කැමතියි..මිතුරු එකතු විය යුත්තේ කථා බස් කළ හැකි ජීවමාන, සම වයස් ඛාණ්ඩිත මිතුරන් පමණක් නොවේ...ඔබේ ඒ පැටි සංස්කෘතික සිතුවිලි පෙළට සමපාත වන සිතුවිලි ඇති, අද ජීවතුන් අතර නො ඉන්න අය ඉන්න පුළුවන්..මහා ලේඛකයන්, ගත් කතුවරුන්, ඒ අය අතරේ ඉන්න පුළුවන්..ඔබේ සිතුවිලි පෙළ ඒ මීට වසර ගණනාවකට පෙර මිය පරළොව ගිය ගත් කතුවරුන්, බුද්ධිමතුන් හා අද ඉන්නා ඔබේ ජීවමාන මිතුරු, මිතුරියන්ට වඩා සියට අනූවක්ම සමපාත වෙන්නත් පුළුවන්...

උදාහරණයක් ලෙස පොඩි දරුවන්ගේ විචිත්‍ර වූ, අමරණීය, අරුම පුදුම ලෝකයේ සිතුවිලි, සිතේ නිතරම ජනිත වෙන කෙනෙකුට අපේ රටේ මාර්ටින් වික්‍රමසිංහ, කුමාරතුංග මුණිදාස ශූරීන්, අලවු ඉසි සැබිහෙළයන් වගේම, අපේ දූපතෙන් ඔබ්බේ සිටින, ජේකබ් ග්‍රීම්, විල් හෙල්ම් ග්‍රීම් හෙවත් අප දන්නා "ග්‍රීම් සහෝදරයන්", හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්, එනිඩ් බ්ලයිටන්, ජොඈන් කැත්ලීන් රෝව්ලින්, ඇලෙක්සැන්ඩර් ඇෆානසෙයෙව් ( "ලස්සන වසිලිස්සා" කතුවරයා ), ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, ආර්නි තොම්සන්, මාර්ක් ට්වේන්, ඉන්දියාවේ ආර්.කේ.නාරයන් වැනි ශ්‍රේෂ්ඨ ළමා කථා සාහිත්‍ය කුළුණු සමඟ දේශ සීමාවන් පැනලා, ශබ්දයේ වේගයට වඩා වේගයෙන් ගිහින් එකතු වෙන්න පුළුවන්..ඒ අය දැන් ජීවතුන් අතර නැතත්, ඒ අයගේ සිතිවිලි හෙවත් එයාලාගේ පැටි සංස්කෘතීන් විසින් බිහි කරපු ඒ සාහිත්‍ය කියලා අද අපි කියන සිතිවිලි පෙළ පොත් සාප්පු වල, පුස්තකාල වල අදටත් ඕනෑ තරම් දකින්න තියෙනවා...
ඔබට ලස්සන වසිලිස්සා පොත එක්ක එන මායාකාරියෝ, ඇන්ඩ්‍රේ, වසිලිස්සා, බබායිගා මායාකාරිය, ග්‍රීම් සහෝදරයන්ගේ සිතිවිලි පෙළින් ඉපදුණු "හිම කුමාරි සහ අඟුටු මිට්ටන් සත් දෙනා", මාර්ක් ට්වේන් ගේ පුස්තක පුත්‍ර හක්ල්බරි ෆින්, ජේ.කේ.ආර් ගේ මනෝ පුත්‍ර හැරී පොටර්, මේ අයවළුන් සමඟ ඔබේ සිතිවිලි පෙළ සමපාත වේ නම්, ඔබේ පුංචි ලෝකය, ඔබේ පැටි සංස්කෘතිය සමපාත වේ නම් , ඒ ගත් කතුවරුන් ඔබේ මිතුරු එකතුව තමයි..ඒ අය ඔබට වසර ගණනාවකට පෙර ඉඳලා මියැදුණත්, ඒ අය ඔබව "තේරුම් ගත්, ඔබව වටහා ගත්" මිතුරු එකතුවේ ඇසුර ලැබිය යුත්තෝ තමයි...එඩ්ගාර් රයිස්බරෝස් (ටාසන් කතුවරයා) සමඟ මිතුරු ඇසුරක් පවත්වාගෙන ගහකින් ගහකට වැලක එල්ලිලා යන්නත් පුළුවන්..හියු ලොෆ්ටින්  මහත්තයාත් (දොස්තර හොඳ හිත - Doctor Dolittle කතුවරයා ) එක්ක මිතුරු උනොත් දොස්තර කෙනෙක් වෙලා සත්තුත් එක්ක කථා කරන රහසකුත් දැන ගන්න පුළුවන්..
අපි ජාතිවාදීන් උනත්, අපේ අර උපවිඤ්ඤාණිත අපි හැම කෙනෙකුටම ආවේණික වුණු, හැම කයක් ඇතුළේම හිරවී ඇති ඒ සිතුවිලි පෙළපතට, නැතිනම් පැටි සංස්කෘතියට ජාතිවාදයක් තබා දේශීය වාදයක් වත් සීමා මායිම් පැණවිය යුතු නෑ..( එහෙම සීමා බන්ධන දා ගන්න තරම් මෝඩයන් විය හැක්කේත් අපිටමයි )..ඒ සිතිවිලි පෙළ තේරුම් ගත්ත අය ඉන්න, ඒ සිතිවිලි පෙළට වසන්නට පුළුවන් පසුබිමක් සොයා ගෙන එය මහාද්වීපයෙන් මහාද්වීපයට බැරි නම් චක්‍රාවාටත් ඉක්මවා දිව්‍ය ලෝක වලටත් ගියාට වරදක් නෑ..
මේ අපේ අභ්‍යන්තර දරුවාගේ ළමා නොමැරෙන ළමා ලෝකය ගැන මම කිව්වේ එක උදාහරණයක් හැටියට විතරයි..ඒක එහෙම කිව්වොත්, මේ ලිපියේ පාදක ලිපිය ලියාපු කතුවරියගේ හිතට හොඳින්ම දැනෙයි කියලා මට හිතුණු නිසයි එහෙම ලිව්වේ..ඔබට වඩා ගැඹුරු වූ ඔබේ වැඩිහිටි පුද්ගලික සංස්කෘතිය සමපාත වන තැන් සොයා යා යුතු නම්, වික්‍රමසිංහයන්, සයිමන් නවගත්තේගමයන්, මඩවල එස් රත්නායකයන්, කවියෙන් මහගම සේකරයන්, මතු නොව උවමනා නම්, ඉනුත් ඔබ්බට කාලිදාසයන්, ගාම්භීර ලේඛණයෙන් චාර්ල්ස් ඩිකන්ස්, ජැක් ලන්ඩන්, විලියම් වර්ඩ්ස්වර්ත්, ෂේක්ස්පියර්, යථාවාදී ලේඛනයෙන් ඇන්ටන් චෙකෝෆ්, පියදෝර් දොස්ත්‍රොවොස්කි, ලියෝ ටෝල්ස්ටෝයි, භීභස්‍ය රසයෙන් බර්ට්‍රන්ඩ් රසල්, දේශපාලනයෙන් ව්‍යත්ස්‍ය, චානක්‍ය, කාර්ල් මාක්ස්, ඇඩම් ස්මිත්, ෆ්‍රෙඩ්‍රික් නයිට්ෂේ, සුන් සූ වැනි අය එක්ක උනත් මිතුරු ඇසුරක් පිහිටුවා ගන්න පුළුවන්..

මේ ඉහතින් සඳහන් කරපු කතුවරුන් අපිට ළං වෙන්න බැරි "පොරවල්" කර ගන්න එපා...එහෙම කර ගෙන ඒ අය අපිට දිරවන්නේ නැති, මහප්‍රාණ කියවාපු අය හැටියට ඈත් කර ගන්න එපා..මොකද ඒ අයගෙත්, සමාජයේ සෙසු අයගේත් වෙනස, ඒ අයට තමාට දැනුණු දේ, තමා නිරීක්ෂණය කළ දේ අන් අයට වඩා හොඳින් භාෂාව භාවිතා කරලා ලියා ගන්න ඇති හැකියාව විතරයි...ඔය පොත් පත් වල තියෙන වචන වලින්ම එලි දා ගන්න බැරි උනත් අපිටත් දැනෙන්නේ ඔය කතුවරුන්ට දැනුණු දේම තමයි විවිධ විදියට...මේ අය එක්ක අපේ කවුරු හරි කෙනෙක් මිතුරු ඇසුරක් සාදා ගන්න යනවා නම් අප අවට ඉන්න, ඒ ඇත්තන්ව වෙනම කුළකයට දාගෙන තමුන්ව ඊට බොහොම පහළින් තියාගෙන ඉන්න අය මෙන්න මෙහෙම දේ කියාවි මෙහෙම.."හපෝ ඔය මහප්‍රාණ අපිට තේරෙන්නේ නෑ..අපි මේ සරල මනුස්සයෝ..", "පිස්සුද? හැටිද?".."ඕවා කියවන්න ගියොත් පිස්සු හැදෙයි..", "උඹලා ජීවත් වෙන්නේ හීන ලෝක වල"...
අපි හැම කෙනෙක්ම කැමතියි අපිව වැඩියෙන්ම තේරුම් ගන්න පුළුවන් අය සොයාගෙන ඉගිලෙන්න..ඒක කයින් කරන්න බැරි උනත් හදවතින් කරන්න පුළුවන්..එහෙම ගිහිල්ලා අපිට පුළුවන් අද සජීවි නොවන ඒත් අපිට පෙර අපිව තේරුම් ගත්තු අය සමඟ එකතු වෙන්නත්...

සාහිත්‍යත් එකම එක උදාහරණයක් විතරයි..කලාවෙනුත් පුළුවන්, සංගීතයෙන්, සිනමාවෙන්, මහා වේදිකා රංගනයෙන් වගේ සියුම්, මට සිළුටු, මල් පෙති වගේ ක්ෂේත්‍රයන්ගෙන් විතරක් නෙමේ, විද්‍යාවෙන්, වෛද්‍ය විද්‍යාවෙන්, ගණිත විද්‍යා වලින්, නීතියෙන්, දේශපාලන විද්‍යාවලින්,( යුධ ශාස්ත්‍රයත් කලාවක් ), ආර්ථික විද්‍යාව වගේ ගොරහැඩි ක්ෂේත්‍ර වලින් මේ හැම එකකින්ම අපිට පුළුවන් අපිව වත්මනදී හෝ ඉන් පෙරදී හෝ තේරුම් ගත්ත මිතුරු, මිතුරියන් සොයා ගන්න..එහෙම කළොත් අද මේ අපිට හම්බ වෙන මිතුරු ඇසුරකට වඩා වැඩි යමක් ලබා ගන්නත්, වැඩි ආත්මීය සැනසීමකින් අර කියපු "පැටි සංස්කෘතිය" සතපවා ගන්නත් පුළුවන්..ඒ අය සොයා යන්න සීමා මායිම් දා ගන්න එපා...

සම වයස් කණ්ඩායමක් ඉතිරි නොවීම ගැන පසු තැවෙන්න එපා..ඔබට සියවස් ගණනකට පෙර හිටපු ශ්‍රේෂ්ඨ මිනිසුනුත් හිටපු ගමන් ඔබේ සම වයස් කණ්ඩායමට "සෙට්" වෙනවා වගේ ඔබටම දැනෙයි, ඒ මිනිස්සු තියලා ගියපු ඔවුන්ගේ සිතුවිලි කියවන කොට...
ඔබ ප්‍රශ්ණය අසන්නටත් පෙර ඒ අය ඔබට පිළිතුරු සපයා ඇති බව පෙනේවි...."



ඉදින්,  මගේ මේ කියුමට අරුත් පිරවූ මේ යාළුවා අපේ ඩීකේ සොයුරා මිස වෙන කවරෙක්ද? :)