Wednesday, July 19, 2017

එකෝමත් එක ගැටලුවක් සහ විසඳුමක්! (පැටි කතා)

ඔන්න එක ගැටලුවක් තිබුණා. ඒ ගැටලුව හරිම ලස්සනයි. වර්ණවත්!
දවසක් මේ ගැටලුව පාරෙ යනකොට දැක්කා එක මනුස්සයෙක් වැඩක් කරමින් ඉන්නවා. වැඩේ තමයි ලස්සන ලොකු ෆෝන් එකකට මූණ ඔබං ඉඳීම. ඉතින් ගැටලුව හෙමි හෙමින් මිනිහට ළං වෙලා මෑන්ස්ගෙ පිටට පොඩි තට්ටුවක් දැම්මා.
ම්හු. කිසිම ප්‍රතිචාරයක් නෑ. ගැටලුව ආයෙ ටිකක් සැරේට පාරක් ගහල කතා කළා. අනපේක්ෂිත පහර හමුවේ මිනිහ තිගැස්සිලා උඩ විසික් වුණා. විසික් වුණු උඩ ඉන්දෙද්දිම මෑන්ස් බැලුව කවුද ඒ ගහපු එකා කියල. මෙන්න බොලේ ගැටලුවෙක් දිළිහි දිළිහි ඉන්නවා! මිනිහ තිබ්බ කලබලේට පොලොවට එන්නත් කලින් අහසෙ ඉඳන්ම පස්ස නොබල දුවන්න ගත්තා.
ගැටලුවට හරිම දුකයි. ගැටලුව ආයෙත් හෙමි හෙමින්.... හෙමි හෙමින්... පාර දිගේ යනවා. ඔහොම යනකොට ගැටලුව දැක්කා ලස්සන ගෙවත්තක්! ඒ ගෙවත්ත අයිනේ ගහක් යට ගාඩ්න් බෙන්ච් එකක් උඩ සුරංගනාවියක් වගේ ලස්සන ගෑණු ළමයෙක් පොතක් කියවනවා.
ගැටලුව හෙමීට ඒ සුරංගනාවි ළඟට කිට්ටු වුණා. සුරංගනාවිටත් යමක් දැනිලා පොතෙන් ඔලුව උස්සල බැලුව.
"ආනේ.. මේ බලන්නකෝ!!"
එයා එහෙම කිව්වත් වටපිටාවෙ කවුරුවත් ම හිටියෙ නෑ. ඒත් ගෑණු ළමයට එහෙම කියවුණා.
"මේ පොඩි හුරතල් ලස්සන ගැටලුවක් නේ..!!"
ගෑණු ළමයා ගැටලුව වඩා ගෙන උකුලේ තියා ගත්තා.
ගැටලුවට හරි සතුටුයි.
ඔන්න ඉතින් එදා ඉඳන් ගැටලුවට අලුත් නවාතැනක් ලැබුණා. ඒ අර ගෑණු ළමයගෙ ගෙදර නම් නෙවෙයි. ඒ ගෙදර ඉන්න ගෑණු ළමයගෙ නිදන කාමරේ විතරයි.
ගැටලුව ආපු දවසෙ ඉඳන් ගෑණු ළමයා හිටියෙ හරිම සතුටෙන්. කොටින්ම එයා ගෙදරින් එළියටවත් බැස්සෙ නෑ. ගැටලුව එක්කමයි හිටියේ.
මේක ගෑණු ළමයගෙ ගෙදරට නුපුරුදු දෙයක්. වෙනද එළි පෙහෙළියෙම ඉන්න දැරිවි මොකද මේ කාමරේටම වෙලා? අසනීපයක්වත් ද? ගෑණු ළමයගෙ අම්මා ටිකක් මේ ගැන හොයල බැලුවා.
"හෙව්ව බැලුව එක හොඳයි" අම්ම තාත්තට කිව්වා.
"අන්න අපේ දැරිවි ගැටලුවක් බදා ගෙන!"
"මොනවා!?"
තාත්ත ඔන්න සුපුරුදු පරිදි පුදුම වුණා.
තාත්තයි අම්මයි තේ මේසෙ ඉඳන් මේ ගැන කතා වෙනව. හිස් තේ කෝප්ප දෙක මේසෙ උඩින් තියල ඉඟුරු බිස්කට් තුනක් කාල, හතර වෙනි එක කටට අරන් හපන කොටම තාත්තගෙ ඔළුව උඩ බල්බ් එකක් පත්තු වුණා.
"අපේ කෙලීගෙ කළ වයසත් හරි නේ?" තාත්ත කිව්වා.
"ඉතින්? " අම්මත් ඉඟුරු බිස්කට් එකක් හප හප ඇහුවා.
"අපි කෙලීට විසඳුමක් හොයල දුන්නොත් මොකද?"
"අපි කොහෙන්ද විසඳුමක් හොයල දෙන්නෙ මේ කලබලේ." අම්ම කකා හිටපු බිස්කට් එකත් පැත්තකට දාල කිව්වා.
"බැරි වෙන එකක් නෑ. අපි මූණුපොතෙන් හොයල දෙමු?"
"ෆේක් ප්‍රොෆයිල්ස් හදාගෙන?"
"ඔව්. එහෙම හොඳයි නේ?"
"හොඳයි එහෙනම්. එහෙමවත් කරමු."
ඔන්න අම්මයි තාත්තයි මූණුපොතේ ගිණුම් දෙකක් හදන්, ඒකට තරුණ කාලෙ ෆොටෝ දෙකක් දාගෙන තරුණ කෙල්ලෙකුයි කොල්ලෙකුයි වගේ මූණුපොත එහෙ මෙහෙ පෙරළනවා.
ටික කාලයක් ගියා. තාත්තටත් කලින් පළවෙනියටම විසඳුමක් හම්බුණේ ගෑණු ළමයගෙ අම්මට.
"මේ බලන්නකෝ.. මේ මේ.. මට හොඳ විසඳුමක් හම්බුණා." අම්මට සතුටට කෑගැහුණා.
"කෝ බලන්න!! කෝ බලන්න.!!" තාත්ත කණ්ණාඩියත් දාගෙන මූණුපොතට එබුණා.
"ෂා!!...මේක නම් නියම විසඳුමක් නේ!! "
අපි අද හෙටම දුවගෙ ගැටලුව වෙනුවට විසඳුම ගේමු.
ඔන්න පහුවදාම ඔන්ලයින් පේ කරලා අම්මයි තාත්තයි ගෑණු ළමයට විසඳුමක් ගෙදරටම ඩිලිවර් කර ගත්තා.
ගෑණු ළමයා ඔළුව උස්සල බැලුවා.
"Mmmm..."
අම්මයි තාත්තයි ගෑණු ළමයගෙන් ඇහුව කොහොමද කියලා.
ගෑණු ළමය 👍 කිව්වා.
අන්තිමේ අම්මයිතාත්තයි විසඳුම දිහා බැලුවා.
එයත් හිනා වෙවී ❤️ එකක් දැම්මා.
අනේ.. අන්තිමේ ගෑණු ළමයා ගැටලුව අහකට දාල විසඳුමත් එක්ක දීග ගියා.
ගැටලුව ආයෙත් පාරට වැටුණා. පාර දිගේ හෙමි හෙමින් ගැටලුව යනවා. යද්දි ගැටලුව දැක්කා එක මනුස්සයෙක් වැඩක් කර කර ඉන්නවා. වැඩේ තමයි ලස්සන ලොකු පොතකට මූණ ඔබං ඉඳීම.
ඒත් ගැටලුව ඒ මිනිහ ළඟ නැවතුණේ නෑ. ගැටලුව එයාව මඟ ඇරල ඉස්සරහටම ගියා. ආයෙ කිසි තැනක නැවතුණේ නෑ.
ගැටලුව ගැන හොයපු කෙනෙකුට, ගැටලුව දැකපු හැමෝම කිව්වෙ කලුපාට ගැටලුවක් පාරෙ පැද්දි පැද්දි යනව දැක්ක කියල විතරමයි!