Saturday, August 30, 2014

කූඹිච්චි


තවම කාපට් නොකරපු ගුරු පාර අයිනේ වැටිල තිබුණේ පෙගිච්ච රුපියල් පනහෙ නෝට්ටුවක්. පස් වැලි වලට යට වෙලා පාරෙන් උඩට මතු වෙලා තිබුණේ නෝට්ටු කොළයෙන් භාගයයි.

දුඹුරු පාටට වේලිච්ච දූලි ගැහුණු පුංචි අතක් පනහෙ කොළේ ඇදලා ගත්තා. පනහෙ නෝට්ටු කොළේ මතින් ඒ ළග තිබුණු කූඹි ගුල වෙත යමින් උන්නු කළු කූඹිච්චි, පනහේ නෝට්ටුවත් එක්කම අභ්‍යාවකාශ ගත වෙන්න පටන් ගත්තම කූඹිච්චි ඇස් දෙක තදින් වහ ගත්තෙ ඔක්කාරෙට වගේ ආපු නිසා වෙන්නැති.

කෝකවෙතත් කූඹිච්චි එක ඇහැක් ඇරල බැලුවා. ඊළගට ඇස් දෙකම ඇරල බැලුවා. වැදුණු හුළං පාර නිසා ගතට සුවයි. මෙන්න බොලේ ඒ එක්කම පුංචි මැලවිච්ච ඇස් දෙකක් කූඹිච්චි දිහා බලනවා! ඇත්තටම නම් කූඹිච්චි දිහා නෙවෙයි, කූඹිච්චි වාඩිවෙලා උන්නු රුපියල් පනහෙ කොළේ දිහායි බලල තියෙන්නෙ.

එක පාරට භූමිකම්පාවකට අහු වුණා වගේ කූඹිච්චිට අඩු හයෙන්ම නෝට්ටුව තදින් අල්ල ගන්න වුණේ අර දුඹුරු පාටට වේලිච්ච පුංචි අත් පොඩිත්ත නෝට්ටු කොළය ගුලි කර ගත්තු නිසයි.

සැණෙකින්, දවාලේ ඇස් කඩාගෙන යන්න තිබුණු ඉර එළිය අඩු වෙලා හෙවනකට ආව වගේ කූඹිච්චිට දැණුනා. දැන්නම් පනහෙ නෝට්ටුව තියෙන්නෙ කුණු ගැහිලා අත්වලටම ගෙවිච්ච ලෑල්ලක් උඩ. මේ මොකක්ද මේ වෙන්නෙ? කූඹිච්චිට නම් මොකවත් තේරෙන්නෙ නෑ.

මොක වුණත් කූඹිච්චිත් බලාන උන්න. සිලි සිලි සද්දෙත් එක්ක ඔන්න ලොකු පාර්සලයක් ලෑල්ල උඩට ආව විතරයි කූඹිච්චි හොදටම පෙරළිලා, නෝට්ටු කොලේ ඉදන් පියාඹලා වගේ උඩින් විසි වෙලා වැටුණෙ අර සිලි සිලි මල්ලට. කූඹිච්චි දැක්කා නෝට්ටු කොළේ, ලෑල්ල යට තිබුණු තවත් ලෑලි පෙට්ටියක් ඇතුලට යනවා. කූඹිච්චිට එච්චරයි බලන්න උනේ, ආයෙත් කූඹිච්චි අව්වකට ආවා.

සිලි සිලි සද්දෙ එක රටාවකට ඇහෙනවා. ඉහල බැලුවම කූඹිච්චිට පෙනුනේ පොඩිත්තෙක් කූඹිච්චි ළග ඉහළින් ඉන්නවා. කූඹිච්චි වටපිට බැලුවා. දෙපැත්තෙ ගස් මේ මොකද පිටිපස්සට දුවන්නේ?

''අම්මේ......ඒ.........ඒ............. මේන් කෑම ගෙනාවෝ...''

"කොහෙන් ගෙනාවේ?"

"කඩේ.. ඒ.. න්.. "

"මොනවයි ඉතින් පුතේ? ".

"පා...ආ...න්"

"තුනකට කපන් වරෙන් පුතේ"

කූඹිච්චි සාවධානෙන් අහගෙන උන්නේ මේ මොකක්ද වෙන්නෙ කියල තේරුම් ගන්න.

දුං වැදිල කළු ගැහුණු කාමරයේ බිම සිලි සිලි මල්ල තියලා පොඩිත්තා පාන් කපනවා කෑලි තුනකට!

"මෙන්න අම්මගෙ කොටහ.."

"එක කොටහක් ඉතුරු කරලයි, ඉතින් ඔය කන්නේ?"

"ඒක අන්න සිලි බැග්ගෙක ඇතුළෙ.."

"මයෙ පුතේ කියන් කොහොමෙයි මේ ගෙනාවේ?"

"පාරෙ වැටිල තිබ්බ පනහෙ කොලයක්"

"අනේ මයෙ රත්තරනේ...!? "

"නංගි පරක්කු වෙනවනන් මං ඉතිරි කෑල්ලත් කනෝ හොදේ? "

"බඩගිනි වුනත් බෙදාගෙන කන්න පුරුදු වෙයන් දරුවෝ.."

"ඒ උනාට ගිනිවත්තෙ විජේ අයිය හන්දියෙ ඉදන් යටිගිරියෙන් කෑගැහුවෙ එහෙනන් - අපි පරක්කු උනොත් අපිට හබ්බෙන්නෙ හුලන් බොන්න තමයි අයියේ මල්ලියෙ.. අපිව බඩගින්නෙ තියල මේ රටේ කොටහක් රහට කැම කන එකට අපි ඉඩ දෙන්න ඕන නෑ කියලා.."

"ඉතින් ඌ එහෙම කිව්ව කියල උඹ නන්ගිගෙ කොටහ කෑවම හරි යනව ය??? ...."

"...මයෙ පුතේ උඹ ආයෙ යනව හෙම නෙවෙයි ඔය ගිනිවත්තෙලගෙ කතාවට හොට දාන්න... මගේ කකුලෙ අමාරුව නැත්තන් මම උඹලට මෙහෙම වෙන්න දෙන්නෙ නෑ මයෙ රත්තරනේ.. මගෙ දෑතෙ හයිය තියනවා කොටන්න හේනක් උනත්.. මේ හයියම ඇති අපේ නෑ වරිගෙටම එකතු උනොත්.. මුන් ඔක්කොම බෑගිරි තලන වෙලේ හයියට ඉදගෙන මොනවද කරන්න බැරි පොලොවත් එක්ක ඔට්ටු වෙලා? කරපන්කො මන් කියන්නෙ කරල ඉවර වෙලා බැරියැ බලල අඩු පාඩු ඉල්ලන්න.."

කූඹිච්චිට ක්ලාන්තයි වගේ.. අපේ සනුහරේටවත් නැති ප්‍රශ්න මිනිස්සුන්ට? කූඹිච්චි කැඩිච්ච ඇද කකුල දිගේ ඇදට ගොඩ උනා... යන ගමන්ම හෙමින් හෙමින් ගැටළුව පෙළ ගස්ස ගත් නිසා ටිකෙන් ටික කරුණු කාරණා කූඹිච්චිට තේරුම් ගියා. ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් උනේ කූඹිච්චි මේ දවස් වල ලියන 'මිනිස් දහම' පර්යේෂණ නිබන්ධනයට කරුණු එකතු කරන්න, සම්ප්‍රදායක් ලෙස කුහුඹුවන් ප්‍රකෝටි ගණනක් සමග යන ගවේෂණ චාරිකා වලින් ලැබුණු තොරතුරු ඇසුරින්. කූඹිච්චි තවම ලෝකයට ලාබාල වුවත් මේ ටික කාලයට ඈ විස්මිත තොරතුරු සමූහයක් එක් කර ගත්තා මේ අධ්යන චාරිකාවලින්. මෙය දිවි නොතකා යන චාරිකාවක් නිසා බොහෝ යහළු කුහුඹුවන් කූඹිච්චිට නැති වුණා. මිනිස් ඇසුරේ ගැවසීමට පෙර ලබා දෙන වැඩමුළුවේ පුහුණු සමතුන් වුවත් මෙම චාරිකාවට සහභාගී වන්නේ, චාරිකාවට පෙර සියලු නෑ වරිගයාගෙන් ම සමුගැනීමේ සාදයකින් අනතුරුව, පැමිණීම බලාපොරොත්තු නොවන ගමනක් ලෙසට මේ ගවේෂණ චාරිකාව ඇරඹීම අනාදිමත් කලක පටන් ඇති සිරිතක්.


කූඹිච්චි බොහොම තද කල්පනාවකට වැටුණා. කූඹිච්චිගෙ අම්මා හොද ගෘහනියක්. ඈ ඉතා හොද සකසුරුවම් කාරිණියක්. 'සකසුරුවම්කරණය හා පරමාදර්ශී කුහුඹු දර්ශනය' පිළිබද උපාධිදාරිණියක්. ඈ 'ජීවිත සකසුරුවම, පවුලේ ආහාර ක්‍රමානුකූල පරිභෝජනය හා ලබාගත්තේ තෘප්තිය' පිළිබද පශ්චාත් උපධියට පාඩම් කරන ගමන් එහි මැනවින් ප්‍රායෝගික ව කටයුතු කරමින් යනවා. ඇත්තටම ඈ කියල මගේ අම්මව විතරක් මතක් කරන්න හොද දෙයක් නෙවෙයි. අපේ සනුහරේ සෑම කාන්තාවකටම මේ උපාධිය තියනවා. ඒක විවාහයෙන් පසුව පලමු සතියෙන් කුහුඹු ජනරජය විසින් කුහුඹු විවි ඒකාබද්ධ එකමුතුවෙන් ප්‍රදානය කරන්නක්.

කූඹිච්චි මේ ගැන ඉතාම සරලව හිතන්න ගත්තා.. ඇයි මේ මිනිසස්සුන්ට කුහුඹුවන් ආදර්ශයට ගන්න බැරි? ලද දෙය සකසුරුවම් කර ගන්නැතුව හැමට එක හැන්දෙන් බෙදන්න ඕන කියල කෑ කොස්සන් ගහන්නේ මොකද? තමන් කරන දේ මොකක් වුණත් ඒකට අවංක වෙනව නම් මිනිස්සුන්ට මෙහෙම කෑකොස්සන් ගහන්න තරම් දෙයක් නොවෙයි මේක. මේක දූෂිත හිත්වල තියන ප්‍රශ්නයක් මිස සමාජයට දොස් නගන්න ඕන දෙයක් නෙවෙයි. දූෂිත හිත් ගෝත්‍රික රැලක් වුණාම සාමන්ය හිතැත්තන්ට බලපෑම් කරනවා. පීඩාවට පත් වන ඒ හිත් රැළත්, පීඩනය නිසාම දූෂිත වෙනවා. එහෙම නැතිව තමාට ඇති හැකි අයුරින් ජීවිතය ජය ගන්න පුළුවන් කමක් මිනිස්සුන්ට තිබෙද්දි ආශාවන් පසු පස ගිහින් නස්තාර් වෙලා අන්තිමට කෑකොස්සන් ගහනවා. ඉක්මනින් දුවන මිනිස්සු ඉන්න ලෝකයේ මෙවැනි දේත් ඉතින් සුමටයි. කූඹිච්චි හොද හුස්මක් අරගෙන හිත හෑල්ලු කර ගත්තා.

මේ පොඩිත්තගේ අම්ම කියන කතාව ඇත්ත.. හයිය තියන කාලේ ලැබුණු දේ සකසුරුවම් කරගෙන ජීවත් වෙන්න ශක්තිය ලබා ගන්න ඕන හැටි ඈ දන්නවා. ඒත් තමන්ගෙ නෑයන්ගෙ සහය නැති තැන ඈ අසරණ වෙලා. අපේ කුහුඹුවන් ආදර්ශයට ගන්නට මිනිස්සුන්ට බැරි ඇයි? මිනිස්සු මේ පොලොවෙන් වැඩගත්තෙ වේගයෙන් දුවන්න ඕන දේ හදන්න මිස ජීවත් වෙන්න ඕන දෙයක් ගැන හිතන්න නෙවෙයි. ඒකෙන් මිනිස්සු අන්තිමට කිව්වේ, 'අනේ සංසාරේ අපට උනා විනාසේ.. උක් දණ්ඩෙන් යුෂ මිරිකා ගන්නා පරිද්දෙන් ශ්‍රමය සූරා ගනිද්දී.. සහෝදරවරුනි, ඇති හැකි පන්තිය නැති බැරි පන්තිය තරමට පල්ලං බස්සවා?.. ධනේශ්වර ආර්ථිකය බිත්තරයක් ගෙඩියක් කරවා එය කඩා අයිසින් කේක් එකක් සෑදීමට අප සමගින් එක් වෙයල්ලා.. කොහ්.. කොහ්.. කොහ්..' කියල බෑගිරි තලන එකයි.

මේක මම මෙතනින් පටන් ගන්න ඕනා. කූඹිච්චි කඩිසර උනා. ඈ ඉක්මනින් ඇදෙන් බැහැලා පොඩිත්ත සොයාගෙන ගියා.

ඊට පස්සේ වුණු කතාවමේකයි..,

කූඹියා පොඩි ළමයට කිව්වා පොඩ්ඩගෙ වත්තෙ කොනේ පොඩි වගාවක් දාන්න කියලා.. පස්සේ තමන්ගෙ කෘමි සනුහරේ ගෙනල්ලා සප් එක දෙන්නම් කියලා පස සරු කරන එකට. ඉතින් පොඩ්ඩ කැමති උනා. එයා පුදුමත් උනා එයාට කූඹියෙක් කතා කරනව කිව්වම.. එයා දොස්තර හොද හිතගෙ කතා පෙළවත් මොන පොතක්වත් බලල තිබ්බෙ නැති උනාට මේ ලෝකෙ වෙන්න බැරි දේවල් නෑ කියල දැනගන්න තරම් මේ පොඩ්ඩා උපන් ගෙයි පණ්ඩිතයෙක් වුණ නිසා ඒක ගැටළුවක් උනේ නෑ..

පස්සේදි කූඹියො ටික නොයෙක් බීජ වර්ග ගොවි බිම් වලින් උස්සගෙන ඇවිදින් පොඩි ළමයගේ වගා බිමේ පස් වලට යට කලේ වැහිකාලෙ බලලා ඊට සති දෙකකට කලින්. වැස්සත් එක්ක ඔන්න ටිකෙන් ටික බීජ පැල වෙලා දලු දාල හරි සාරෙට කොළ පාට බැබලෙන්න ගත්තම පොඩ්ඩට හරි සතුටුයි. පොඩ්ඩගෙ නංගිත් මේක දිහා බලා උන්නේ හරි පුදුමයකින්. අයිය නංගිට මේ රහස කිව්වෙ කාටවත්ම කියන්න එපා කියල පොරොන්දුව පිට.

ඔන්න ඉතින් ආයෙත් පොඩ්ඩට පාරෙ නෝට්ටු කොළ ඇහිදින්න ඕන උනේ නෑ. එයාලගෙම වත්තෙන් ගත්තු පලදාවෙන් එයලගෙ ආහාරය සරිකර ගත්තා. ඒවිතරක් නෙවේ, අතිරික්ත භෝගය පොළට ගෙනිහින් විකුණලා නංගිගෙ අධ්යාපනයට වියදම් කරන්න සෑහෙන්න මුදලක් හොයාගෙන ඒක ඉතුරු කරන්න බැංකුවෙත් දැම්මා. අම්මගෙ කකුලෙ අසනීපයට බෙහෙත් අරන් දීලා නැගිටල ඇවිදින්න පුළුවන් මට්ටමටම සනීප කරන්න පුළුවන් උනා. පස්සෙදි අම්මයි පොඩ්ඩයි එකතු වෙලා කූඹිච්චිගෙ සහයත් ඇතුව, ලොකූ ගොවි පොළක් දාල පරම්පරා ගණනාවක් එයාල සතුටින් ජීවත් උනා.

ඊට පස්සෙ හැම පෝය දවසකටම කජු ගහේ අත්තක් උඩ ඉදගෙන කූඹිච්චියි, පොඩ්ඩයි, පොඩ්ඩියි ඈත පෙනෙන දුවන නගරය දිහා බලාගෙන සුරංගනා කතා කියන්න පටන් ගත්තා..

1 comment:

බස්සි (Yash) said...

මරු කතාව. අප්පේ දැන් මුතු අක්කා චටපට ගාලා කතා ලියනවනෙ. එල ඈ. ත්‍රී ඩී මූවි එකකට කියාපු ප්ලොට් එක.