Friday, July 27, 2012

අධියතාර්ථවාදී කොන්ත්‍රාත්තුව

මා අවදි වන විට ඉර බොහෝ සේ මුදුන් වී තිබුණි. සුවඳ මල් පිබිදී සුළඟ සමඟ එක් ව පරිසරය සුවඳවත් කරමින් සිටී. ගීතවත් විහඟ නාදය අසමින් මම තව තවත් ඇඳට ගුලි වීමි. මිනිසුන් කඩිමුඩියේ වැඩෙහි යෙදෙන හඬ පරිසරයෙන් කන් ඉවතට ගත් මට ඇසෙන්නට විය. අපේ ගෙදරට ඉදිරියේ ඇති පටුමඟ දිගේ ට්‍රැක්ටරයක් ගමන් ගන්නා හඬත්, එයින් කළු ගල් කැට බිමට බානා හඬ ඇසී මම ඇඳෙන් නැඟිට ගෙයි දොරකඩ වෙත ගියෙමි. අහෝ විනාශයක තරම! සුන්දර පරිසරයක් අයුතු ලෙස විනාශ කිරීමට පැමිණි කොන්ත්‍රාත් තැන ගල් වැලි බාමින් හෙට දින මේ තාර පටුමඟ අයුතු ලෙස අනවබෝධයෙන් කොන්ක්‍රීට් කරන්නට මඟ බලමින් සිටී. මම ගෙදර ප්‍රධාන දොරකඩින් නික්ම පාර දෙසට වන්නට ඇති ජනේලයයට මුවා වී පාරේ හුන් කොන්ත්‍රාත් තැන දෙස නෙත් යොමු කළෙමි. 

"අඩෝ... කවුද ඩෝ අපේ පාර කොන්ක්‍රීට් කරන්නෙ..... අපි කොන්ක්‍රීට් එකට විරුද්දයි ඩෝ... අපේ විරුද්දෙන් ඕක කොන්ක්‍රීට් කරන්න දෙන්න බෑ ඩෝ...ඉතින් පලයල්ලා හොඳ හිතින්!" මම ජනේලයට මුවා වී ගිරිය පිප්පුවෙමි.

අපේ ගේට්ටුව ළඟට මිනිසෙක් ආවේ ය. ඔහුගේ මුහුණ ගේට්ටුවට මුවා වී ඇති නිසා මට ඔහුව නොපෙනුණේ ය. 

"යකෝ.. තොපිට ඇහෙනවද ඩෝ මම කියන දේ... අහගනියව්... හොඳ හිතින් ඔය ගල් ටිකත් අරගෙන පලයව්.. මෙහෙ කොන්ක්‍රීට් කරන්නෙ නෑ... මේ පාර මේ පැත්තෙ මිනිස්සුන්ට ඕන විදියට යකෝ.."

ගේට්ටුව දෙසින් හඬක් ඇසුණි. 

 "ලොක්කගෙ ඕඩරේට පිටින් යන්න එන්න තොපි කවුද යකෝ??" 

ඒ ගැඹුරු හඬට නම් මා තිගැස්සිණි. ඒත් මාගේ තිගැස්සීම දුටුවේ මා පමණි. ඇඳ හුන් පිජාමා කලිසං කකුල උස්සා මම ගේට්ටුව දෙසට අත උළුක් කර කෑ ගැසීමි. 

"යකෝ වැඩිය කෑ ගහන්න එපා ඩෝ මොටයියට  කියනවා......"

"කවුද යකෝ උඹේ මොටයියා ඌ වැඩ්ඩෙක්ද ඩෝ...?"

එයට නම් මට මළෙනුත් මළ පැන පැන ගොස් උගේ හොම්බ රිවර්ට් කරන්නට තරමට අත් මිටමෙල විණි. මම පිජාමා කලිසං කකුල් දෙකම උස්සා උඩ පැන දෙකට නැමී නහර එළියට පනින තෙක් ගිරිය පුප්පා කෑ ගැසීමි... 

"අඩෝ.... තොපි දන්නෑ යකෝ අපේ මොටයියා... යකෝ.....එක ටෙලිෆෝන් කෝල් එකයි...!! එ-ක-කෝ-ල් එකායි හරී.... ඊට පස්සෙ.. ඊට පස්සෙ තොපි ඔක්කොටම ගෙදර ඉඳන් ගෑණිට පොල් ගාන්න තමයි ඩෝ වෙන්නෙ.. දැනගනියව් නරියෝ...!!" 

මේ දෙබස තෙවැනි පාර්ෂවයක් මිදුලේ පැත්තකට වී නරඹයි නම් එය හරියටම ගෙයක් සහ ගේට්ටුවක් අතර ඇති සංවාදයක් බඳු ය. පේන කෙනෙකුන් නැත. ගෙයකින් සහ ගේට්ටුවකින් පමණක් හඬ ඇසේ.

මගේ අවසන් කෑගෑම ට ගේට්ටුව දෙසින් ආ හඬ නතර විය. මගේ වෙව්ලන දෑතේ ඇඟිලි දහයම කට ඇතුලේය. 

විනාඩියක පමණ නිහඬතාවයකි.

ට්‍රැක්ටරය පණ ගන්වන හඬ ඇසුණි. ඉන්පසු එම හඬ කෙමෙන් මගේ දෙසවනෙන් ඈතින් ඈතට යන්නට විය. වැලවරකා ගෙඩියකට කොටන කපුටෙක් එළවන බට්ටිච්චාගේ කිචිබිචියක් ඇසිණි. මා නැවතත් කාමරයට ඇදුණේ, මොටයියාට කළගුණ දක්වන්නට මූණු පොතට ලොග් වීම සඳහා ය. 



3 comments:

මධුරංග said...

ඔන්න මාත් එකතු වෙනවා මුතුනිගේ විරෝධතා ව්‍යාපාරයට... මාත් විරුද්ධයි පාර කොංක්‍රීට් කරනවට. ඔන්න පාරට තාර දැම්මා නම් කමක් නෑ. එතකොට පාර ලස්සන වෙනවා.

කොංක්‍රීට් වලින් එහෙම වෙන්නේ නෑ. පාර කැත වෙනවා.

අපිත් කරමු පිජාමා උපවාසයක් ගේ ඇතුලේ ඉදන්ම..හික්ස් :)

ඒක නෙමේ මුතු... කවුද ඔය මොටයියා.... ?? මම දන්නෙත් නෑ නේ..

මධුරංග said...

ආහ් ඒක නෙමේ මුතු. පෝස්ට් එකට මාතෘකාවක් දාන්න. එතකොට ක්ලික් කරලා එන්ඩ ලේසියි.

මුතූ said...

කොන්ක්‍රීට් පාර හැදීම නිසා ගොඩක් දේවල් වෙනස් උනා.. ගොඩක් දේවල් සිද්ධ උනා.. අපේ මොටයියට කරන්න දෙයක් තිබුනෙ නෑ.. පිජාමා කලිසං ව්‍යාපාරය පැරදුණා.. ඉතින් උන් දින්නා.. :(
තුති මධුවො! :)