Sunday, November 8, 2009

මුතූට තලගොයෙක් කළ හදියක්!


එක දවසක් හරි අපූරු වැඩක් වුණා. අපේ ගෙදර මිදුලෙ ශ්‍රමදානයක්. මල්ලියි මමයි ගෙමිදුල සකසනවා. මල්ලි, මල්පාත්තිවල තරගයට මෙන් උසට වැඩී තිබුණු  වල් පැළ උඳුරනවා. මම, මිදුලේ උඳුරා දැමූ වල් පැළ  අතුගාමින් මගෙ ශ්‍රම දායකත්වය ලබා දෙනවා. ඔන්න ඔහොම අපි දෙන්නා ඉහින් කනින් දාඩිය පෙරාගෙන 'මහා' ශ්‍රමදානයක් කරගෙන යනවා. විහිලු තහලුත් එක්ක වැඩෙත් නැඟල යනවා. වැඩ කරනවට වඩා හිනා වෙන ප්‍රමාණය වැඩියි. අපේ හිකි හිකිය වත්ත පුරාම දිව්වා... ඔය අතරෙදි, එකවිටම වගේ සුපිරින්ටන්ඩ් තැන සම්ප්‍රාප්ත වුණා. අපි හිටි තැනම ගල් ගැහිලා ඔහු දිහා බලාගෙන... ඔහුත් කිසිම කතාවක් බහක් නැතිවම අපේ දිහාට හෙමින් හෙමින් එනවා... අපේ මලයට ඔහුගෙ පැමිණීම එතරම් හිතට ඇල්ලුවෙ නැහැ. මල්ලි ටිකක් බලා හිටියා... හෙමින් සීරුවේ අපි වැඩ කරන තැනටම ඇවිල්ලා, මල්ලි හරි අපූරුවට පිරිසිදු කරපු මල් පාත්තිය හෙමින් හෙමින් පහුරු ගාන්න පටන් ගත්තා. අපේ මලයත් ඉතින් කුකුල් කේන්තිකාරයා. ඉහවහා ගිය කේන්තියෙන් මගෙන් ඉදල උඳුරා ගෙන සුපිරින්ටන්ඩ් තැනට ගැහුවෙ නැතෑ! මට කර කියා ගන්න දෙයක් නැති උනා. සුපිරින්ටන්ඩ්කාරයා පසු  නොබලා දුවන්න උනේ අපෙ මලයගෙ ඉදල්පාරෙ සැර කමට...

දැන් දෙන්නම නිහඬයි. මම මල්ලි දිහා බැලුවා. තාමත් කේන්තියෙන් පුපුරනවා. මට ඉදල් පහර කෑ අසරණයා ගැන උපන්නේ දුකක්!  "මහ ලොකු වෙජිටේරියන්කාරයා තලගොයින්ට ගහනවා......." සත්තකින්ම, මම කිව්වේ එපමණයි.....!

ඔහු මාස නමයක්ම ගොළුවෙකු මෙන් මා සමග කතා නොකර සිටියේ ය. දත් නැත්තෙකු සේ සිනා නොවී සිටියේ ය.  කොටින්ම ඔහු මා හා තදින් අමනාප වී සිටියේ ය. ඉදින් මම, ඔහු හා කතා කිරීමට බැරි වූ තැන මහද තෙරපෙන සිතුවිලි දාමය එකම එක නිසඳැසකට කැටි කොට ගත්තෙමි. සහෝදරත්වයක් ඛණ්ඩනය කිරීමට උභය ජීවියෙකුට හැකි වූ අයුරු! මෙහි වූ අපූරුව නම්, එක්ව සිටි අප දෙදෙනා මැද්දට'විත් අප දෙදෙනා වෙන් කොට අමනාප කළ තලගොයි තැන, කිසිත් නොදන්නා එකෙක් මෙන් තවමත් අප මිදුලට'විත් පෙර සේ මල් පාත්තිය පහුරු ගා යෑමයි. එහෙත්, තවමත් අප හිටි තැනම ය.....

3 comments:

Udesh said...

අපූරුයි
ඒත් ඉතිං වෙජිටේරියන්කාරයකුට තලගොයෙක් අතුගාන්න බැහැ කියලා අදයි දැනගත්තේ ;)

මුතූ said...

ඒක අතුගෑමක් නෙවෙයි.. අතගෑමක්! ;)

බොහොමත්ම ස්තූතියි උදේශ් අයියේ.. ඔබගේ දිරිමත් කිරීම් නිසාවෙන්මැයි මෙවැනි බ්ලොගයක් නිමැවෙන්නත් හේතු වුණේ.. :)

හරී said...

ඉදල් පාර කෑවේ තලගොයාද? සුපිරින්ඩන්ටන්ද? මට පැහැදිලි නෑ..