Thursday, February 11, 2010

මුතූට ඇසුණු කතාවක්

ළමා කාලය තමයි ජීවිතයෙ හොඳම කාලය කියල කියන්නෙ. ඒ කාලෙදි කරන කියන දේවල් වල ළපටි බව, මෝරල වැඩුණට පස්සෙ ආයෙත් ගන්න කියලයැ? අනික පොඩි එකෙක් මෝරල වැඩෙද්දි ලබා ගන්න අත්දැකීම්, එයා මහප්‍රාණියෙක් වෙද්දි අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ගන්නව නම් කොච්චරක් නම් තියනවද අත්දැකීම්? ඒත් ඒවා ග්‍රහණය කරගන්නට ඉඩ නොදෙන එක නෙ වැරැද්ද.


ළපටි හිත් පරිසරයත් එක්ක යා උනාම මොන තරම් නම් දේවල් කරන්න පුළුවන් ද? ජීවත් වෙන්න ඉගෙන ගන්න මුල්ම පාඩම ලැබෙන්නෙ එතැනින්. හරිත පාට ගස් වැල්, නිල් පාටට සීරුවට ගලාගෙන යන දිය කඩිති, ඒ අස්සෙන් කහ පාට ඉර එළිය දුඹුරු පොලොව මතට වැටිල දිදුළන හැටි..! මේ  හැම දෙයක්ම බලා ගෙන,  මල් කුමාරියො පොපියනවා, මල් පෙති වල පිණි කදුළු වගුරුවමින්.....! පුංචි කැකුළු මල් වගේ පිබිදෙන්න බලා ඉන්න පුංචි පැංචියන්ට, උන්ට මෝරන්න උදව් දෙන අද්දැකීම් ගන්න දෙන්නෙ නැතුව, මොකද්ද මේ ලොකු ඇත්තො කරන අවහිරය?


හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙන විටත් නොපෙනුණා වගේ ඉන්නටයි දැන් ඉන්න උදවිය කල්පනා කරන්නෙ.... නොදනිත් දරුවන් ඇකයෙන් වැටෙන්නෙ එහෙව් කම්පනාවන් ඇති ඇත්තන්ගෙන්මැයි..!


ළමයින්ට උගන්වන්න ඕනලු. හැබෑව. ඒත් එහෙම උගන්වන්නත් යහපත් දේවල් තියෙන්න ඕන නෙ. ඒත් ඇත්තටම මේ උගන්වන්නෙ යහපත් දේවල්ද? හැබැයි අයහපත් දේවල් උගන්වන්නෙ නැති එක ඇත්ත වෙන්න පුළුවනි. ඉතින් මොනවද මේ උගන්වනව කියල උගන්වන යහපත් දේ?


ඕකිඩ් පැළයක් වැඩෙන්නට, පොල් ලෙල්ලක තියල බැඳලා, තව ආයෙම ගහකටත් තියලත් බඳින්නට ඕන. සාත්තුවත් ඒ වගේම කරදරකාර වැඩක්. ඒත්, අඹ ඇටයක් බිමට දැම්මොත්? බලන්නකො..කිසිම කරදරයක් නැතුව, පොලොවෙ සාරය කදිමට උරාගෙන හරි අපූරුවට හැදෙන හැටි..!


අපේ සිරි ලංකාවෙ අධ්‍යාපනේ සිරියත් ඔන්න ඔය වගේ තමයි. හැබෑවටම අපේ රටේ අධ්‍යාපනය ඕකිඩ් අධ්‍යාපනයක්! ශිෂ්‍යයා අධ්‍යාපනයට සම්බන්ධ කරල ගැට ගහල බැඳලා තිබිය යුතු අධ්‍යාපනයක්. කෘතීම සාරයක් උරාගෙන හැදෙන, හැඟීමක් දැනීමක් නැති ඕකිඩ් පැළයක්! දැන් ඉන්න වැඩිහිටි ඇත්තන්, රටේ ළමයි ඕකිඩ් පැළ වැනි අලංකෘත පුෂ්ප කිරීමට මිස, පැළේ හැදෙන විට, යස අපූරුවට, ඇති පදමට උරා ගත් සාරයෙන් වැඩුණු රසවත්, ගුණවත්, මිහිරි ඵලයක් කිරීමට තැත් නොගැනීම තරම් රටට වින කරන තවත් විනාසයක් නැති බැව් නම් ඒකාන්තයි!!


ඔය විනාසෙට අපේ ලොකු මාමගෙ පොඩි එකාත් අහුවුණු එක තමයි, මට මෙහෙම කරුණු පාන්නට හේතු වුණේ..  හෝඩියෙ පංතියේදිම පොඩ්ඩව දැම්ම ටියුෂන් පංතියකට..  තාම ළපටි වයසෙ ඉන්න මේ ටිකිරි පැංච, හුරතල් වචනම පාවිච්චි කරන එක අරුමයක් යැ. පැංචගෙ අම්ම ආවෙ පැංචව කොහොම හරි පංති එක්කගෙන යන්ට. ඒත් පැංචා පංති යන්න කම්මැලි කමට පුටුවෙ ගුලි වෙලා ඉන්නව. කටේ කිරි සුවඳ හමන ටිකිරි කටින්, මේ පැංච කිව්ව දේ ඒයාකාරයෙන්ම මම වචන වලට අමුණ ගත්තෙ මෙහෙමයි. 


3 comments:

Janith said...

බොහොම වැදගත් නිර්මාණයක් මුතු. මේක තමයි අපේ පොඩි උන්ට ගහල තියෙන හෙනේ. අපේ තාත්තලගෙ කාලෙ තිබුන ළමාවිය අපිට සීමාවෙලා. දැන් ඉන්න පොඩි උන්ට හුස්මක් කටක් ගන්නවත් බැරිව ඉන්නෙ. මේවගෙන් අන්තිමට එන්නෙ යාන්ති්‍රක මිනිස්සු.

මධුරංග said...

ඇත්ත කතාව මුතු අක්කේ !!! දැන් හැදෙන ළමයි කෘතිමව තමයි හැදෙන්නේ. කිසිම කලාත්මක අදහසක් නෑ. නිකන් රොබෝවරු ටිකක් වගේ.

Anithkona said...

අම්මා තාත්තගේ සිතුම් පැතුම් ඉටු කරගන්න දරුවන්ව යොමු කිරීමක් දැන් මම දකින්නේ. කොහොම උනත් ඉස්සර කාලේ දරුවෝ මීට වඩා නිදහසේ හිටියනේ. මේ සංවර්ධනේ කියලා කරන්නේ ලෝකේ අගතියට යවන එකමයි. දරුවන්ට එයාලගේ ළමා කාලෙ නෑ. තියෙන්නෙ වැඩිහිටියන් ව්සින් කලින් සැලසුම් කරපු විදිහකට ජීවිත හැඩ ගස්සවා ගන්නයි. අනර්ඝ ලිපියක් මුතු !