Friday, November 4, 2011

සෙනෙහසක ඇරඹුමක්!

පුං‍චියට පාද තබලා, ඒ දෙපා වලින් මහා දිගු දුරක් යන්න වේවි කියලා පුංචි කාලෙ දි කවුරුන් සිතුවද? මේ සා විසල් ලොවක් තනන්නට ඒ පුංචි පියවර බලවත් වුණේ කොහොමද?
‘එය තමයි ඇරඹුම..!’
සෑම දෙයකම ආරම්භය යහපත් කර ගැනීම, ශ්‍රේෂ්ඨ අවසානයකට මං පාදන හැටි. කළු, තෙත් පස් ගොඩක් තුළට පුංචි සරු බීජයක් වැටුණොත්.., හිරු එළියෙ උණුසුමත් එක්ක වැඩෙන අපූරුවට එය මහ විසල් රුකක් වීම ගැන බිම් පණුවෙකුට ඉරිසියා හිතීම සාධාරණයි. ඒත් ඒ මහා රුකට හිරු අල්ලන්න අත් දිගු කරන්නට අර පුංචි බිම් පණුවත් කොටස් කාරයෙක් කියල ඌ නොදන්නවත් ඇති.
මීට අවුරුදු 24කට පෙර කියන්නෙ, මම ඉපදෙන්න පෙරුම්පුරන ජීවියෙක් වෙලා හිටි කාලයයි. පෙර කර්මයන් අතීත අනාගත කාල සිද්ධි හා ගැලපී, මමත් ගර්භාෂයක් තුළට රිංග ගත්තේ මිනිස් වෙසකින් ලෝකයක් දකින්න. ගර්භාෂයේ ඉන්දැද්දි වූ දේවල් මට මතක නැති වුණත්, එයින් එළියට ඇවිත් හය හතර දැන ගත් පසුවයි තේරුණේ මගේ ආරම්භය කොයිතරම් සිත්කළු ද කියලා. ක්‍රමයෙන් මගේ ඇරඹුම විමසද්දී මගේ මව්පියන් මගේ ආරම්භයට දුන් අරුත්බර බව, ප්‍රසන්න බව හා වටිනාකම මෙන්ම ඔවුන් මට මව්පියන් වුණේ ඇයිදැයි යන්නත් මැනවින් වටහා ගන්න පුළුවන් වීම සම්පතක්. ඒ වටිනාකම වැඩි උනේ මා මෙන්ම මගේ ‘මව්පිය’ යුවළගේ පදවි ආරම්භයත් මම වූ නිසා.
දිනක් මා ළබැඳි සොහොයුරෙක් මා ගැන කියවමින්, මා පෙර දවසක ඔහුට කියා තිබූ මගේ පියා ලියූ කවක් නැවත මට මතක් කරන්නට වුණා.
” ‘අ’ යනු ‘ල’ යනු අල කියලා හපන් කමක් පෙන්නලා
පුංචි මල්ලියා අඬද්දි ළඟින් ඉදන් නළවලා
පුංචි පුංචි වැඩ කරනව අම්ම සමඟ එක්වෙලා
අපේ පුංචි මුතු පැටියගෙ උපන්දිනේ එළැඹිලා..
හොඳ හොඳ දේ තෝරාගෙන නරක පුරුදු ඉවත ලා
නිවැරදි මාවත ඔස්සේ ඔය පා පොඩි ඔසවලා
හෙමින් හෙමින් පිය නඟන්න අප පැතු ලෝකය බලා
එතකොට වෙන මැණික් මොටද මුතු දුව මැණිකක් වෙලා.. “
මව්පිය ආදරය රැකවරණය සහිතව කුඩා දරුවෙක් වැඩෙද්දී පොලොව මත පය ගසා ජීවත් විය යුතු ඒ ‘සුන්දර කලාව’ ඉගැන්වීමේ අපූරු හැකියාවක් දෙමාපියන්ට තිබිය යුතුයි. මගේ පියා කලාකාරයෙක්. අම්ම ඒ වෙනකොට ප්‍රාථමික ගුරුවරියක්. මේ සුසංයෝගය ළමා මනසක් හසුරුවන්න කෙසේ ද? විමසිය යුත්තේ එයයි. සිත්තරෙකුට මේ ලෝකයේ හැම දේම වර්ණ ගන්වා කැන්වසයක් මත තවරා අපූරු සිත්තමක් නිමවන්න පුළුවන්. අහසට අයිති නිල් පාට, වැහි වළා නිසා කළු වෙන හැටිත්, ගස් වල හරිත කොළ සමඟ කහ හිරු එළිය මනස්කාන්ත සෞන්දර්යයක් මවන බවත් ඔහු පරිසරයෙන් පාට අරගෙන කැන්වසය මත සිත්තම් කරමින් කියල දෙනවා. හරියට පුංචි දරුවෙක්ගෙ පුංචි මනස මත්තේ මේ ලෝකය නිවීහැනහිල්ලෙ වර්ණ ගන්වනවා වගේ. ජීවත් වීමේ කලාව මේ සියළු කලාවන්ගේ එකතුවක්. ඒ නිසා කලාකරුවෙකුට ජීවත් වීම ලේසි පහසු සරල කාරණයක්.
පුංචි කාලෙ ඉඳලම මම දැක්කේ අපේ තාත්තා අත පුරා මේසය පුරා තීන්ත ගාගෙන දියසායම් වලින් චිත්‍ර අඳින හැටි… පොඩි ලෑල්ලකට වැලි ටිකක් තුනී කරලා, කළු ගල් කැට, තිරුවාණා ගල්, ගස් වල පුංචි ඉති, කෝටු කෑලි ගෙනල්ලා හදන අපූරු පුංචි ලෝකයේ, ඇඟිල්ලක් තරම් උස පුංචි බෝනික්කො ටිකක් අයිතිකාරයෝ වෙන හැටි… ඒ පුංචි ලෝකේ පුංචි පුංචි ක්‍රියාකාරකම් රැසක් ඡායාරූපගත කළ ඡයාරූප ශිල්පියා වුණේත් අපේ තාත්තා. ඇලුමීනියම් භාජන වල අඩි හිල් කරලා විදුලි බුබුළු ඔබ්බලා හදා ගත් ආලෝක පරාවර්ථක, ඊයම් කඩදාසි හතරැස් ලෑලිවල අලවා හදා ගත් පරාවර්ථක (Reflectors) ආදී ලට්ට ලොට්ට රැසක් පිරුණු අපේ තාත්තගෙ කලාගාරයේ – මකුණු රජදහනේ තිබුණු හැටි!  ඒ මකුණු රජදහනේ ඇතුළේ සිදුවුණු කතාන්දරත් හරිම රසවත්. එකමත් එක දවසක ගමරාළ දිව්‍යලෝකෙට ගියෙත් ඔය මකුණු රජදහන නැමැති අපේ තාත්තගෙ කලාගාරය ඇතුළේදි. තව දවසක තාත්තගේ කන්තෝරුවේ යෙහෙළියකගේ විවාහ මංගල්‍යය වීඩීයෝකරණය කරලා ඒකට අතින් ඇදපු පොඩි සජීවීකරණ කාටූන් කෑල්ලකුත් දැම්මේ මේ පුංචි කලාගාරය ඇතුලෙදි.
තාත්ත අඳින චිත්‍ර වලට අපේ අම්ම කතා ලියනවා. නැත්නම් කවි ලියනවා. ඒ දෙන්නගෙ සුසංයෝගයෙන් නිර්මාණය වුණේ මම විතරක් නෙවෙයි. මට පෙරාතුව බිහි වුණු ඒ දේවල් පොත් රාක්කයක් පිරෙන්න තියන හැටි දකිද්දි අදත් අපේ අම්මා ඒවා දෑතට අරගෙන ආදරයෙන් කියවනවා. මම කවි ලිව්වෙ අම්ම ලියන කවි දිහා බලාගෙන. අම්මගෙ සාහිත්‍ය රසය අම්මගෙ ඔඩොක්කුවෙට බහින්න පෙරාතුව මට ලැබුණක් කියල මම හිතන්නෙ ඒකයි. අම්මා මාව ගර්භාෂයෙන් එළියට මුදාහැරියේ ස්වාභාවික දරු ප්‍රසූතියකින්. මගේ අම්මට දසමසක් පුරාවට කුස හොත් ලේ කැටියෙක් කුසෙන් එළියට බිහිකරද්දී කිසිම ප්‍රසව වේදනාවක් නොදැනුනේ මගේ අම්මගේ දරු සෙනෙහස එතරම් උත්තරීතර නිසාද? අදටත් ඈ ඇගේ දරුවන්ගේ පුංචි දුකකදීත් පපු රත්කර කඳුළු සලන්නේ ඒනිසාද? මවකගේ උත්තරීතර සෙනෙහස් කදම්භය මගේ උපතත් සමඟ මම විඳගත්තා අසීමිතව. දූවිල්ලක් වැදෙන්නට නොදී නැළවිලි ගී කියමින් දරු නළවන ඇය මට බත් කන වයසෙදි බත් කවන යුඬයට තාත්තවත් හවුල්කර ගෙන කිරිපිටි අසුරන ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක පැත්තක් හතරැස්ව කපලා රූපවාහිනියක් ලෙසින් තනාගෙන, ඒ තුළට ගොස් බත් කැව් හැටි ආදී නානාවිධ දේ කළ හැටි කියමින් අදත් මිහිරි මතකය අවදිකරන්නෙ සෙනෙහස හිත පුරෝගෙන.
අදත් හිතට මහා දුකක් ආවම අම්මගෙ ඇඟිලි තුඩු වල ආදරයෙන්, අම්මගෙ පිරිත් බලෙන්, අම්මගෙ හිත පුරෝගෙන ඇති මහා සෙනෙහසින් ඒ දුක නිවෙන්නෙ ඒ නිසා. වෙලාවකට දුක තවත් වැඩිවෙනවා ඒ අසීමිත සෙනෙහසට සංවේදී උනාම.
සෙනෙහසත් කලාවක්. සෙනෙහස දීම වගේම ලැබීමත් කලාවක්. කලාවන් හමුවේ ලෝකයම සුන්දර වන්නේ ඒ නිසා. ළමයි හදන කලාව දැනගත් විට ලෝකයම කලාගාරයක් කළ හැක්කේ ඒ නිසා. අපේ තාත්ත මගේ 5 වෙනි උපන්දිනේට, හා පැංචෙක් පහේ ඉලක්කම උස්සගෙන අල්ලගෙන ඉන්න උපන්දින සුබ පැතුම්පතක් තාත්තගෙ අතින්ම ඇඳලා මට දුන්නා.. තාත්තා මට තාත්තගෙ අතින්ම ඇඳල හදපු උපන්දින සුබපැතුම්පත් තමයි දෙන්නෙ. ඔය සුබපැතුම්පත මට කියවන්න ලැබෙන්නෙ මෑත කාලෙකදි අපේ අම්මා අල්මාරියෙ අරන්තියාගෙන ඉඳලා මට දුන්නම. අවුරුදු පහේදි මට ඒකෙ ඇති අරුමයක් නැති උනත් අම්ම අල්මාරියෙන් අරගෙන ඒ ආදරණීය මතකය අවුරුදු දහ අටේදි අතට දුන්නම මට දැනුණෙ මහා ලොකු හැඟීමක්. ඒක මම තියාගත්තා මගේ මහාර්ඝ වස්තු ගොන්න අතරෙ.
මගේ ළබැඳි සොහොයුරා මේ කවිය නැවතත් කියවලා හරි අපූරු දෙයක් මගේ හිතට වැද්දුවා..

"හොඳ හොඳ දේ තෝරාගෙන නරක පුරුදු ඉවත ලා
නිවැරදි මාවත ඔස්සේ ඔය පා පොඩි ඔසවලා
හෙමින් හෙමින් පිය නඟන්න අප පැතු ලෝකය බලා
එතකොට වෙන මැණික් මොටද මුතු දුව මැණිකක් වෙලා.."
‘හරිම අපූරුයි! ඔයාගෙ තාත්තා කවිය වේවැලක් කර ගත් හැටි!’

සත්තකින්ම! ඒ අපූරු වේවැල හිතේ වැනෙන තුරාවට එයින් පිට පනින්නට බියට වඩා ඇති අකමැත්ත නිසාවෙන් සෙනෙහසේ ඇරඹුම මනාලෙස රැක ගැනීමට තවමත් මට හැකිවී ඇති අයුරු ගැන ඇත්තෙ ලොකු සතුටක්. එවන් සතුටක් මට ලබා දුන් මා වටා මෙතුවක් සිටි සහ දැනට සිටින සැම දෙනාට මගේ සෙනෙහස් ප්‍රණාමය පුදමි. මගේ සෙනෙහස් ඇරඹුමේ හිමිකරුවන්ට දීර්ඝායුෂ වේවා!

No comments: