Wednesday, August 17, 2011

සස්ටජන්


'සස්ටජන්' අප නිවස දැන හැඳින ගත්තේ මීට අවුරුදු තුනකට පමණ පෙර ය. එදින, ඔහු මැසූ කොට්ටඋර දුසිම විකුණාගත නොහී අහම්බෙන් අප නිවසට රැගෙන ආවේ ය. ගෙන ආ ඒ කොට්ට උර සියල්ලෙන් අඩක්ම අපේ තාත්තා මිළදී ගත්තේ, කෙසඟ පුද්ගලයා තම දිවි ගැට ගසා ගැනීමට දරන වීරිය අසා ඒ ගැන වූ අනුකප්පාවෙනි. එහෙත් මව එයට එතරම් මනාප නොවුණේ කොට්ට උර, ඔහු නැති බැරි කමට මැසූවක් හෙයින් හොඳ නිමාවක් නොමැතිකමත් එපමණ කොට්ට උර මිළදී ගත් පසු අපවම විකුණාගෙන කෑමට නැවත ඒමට ඉඩ ඇති බැවින් ය. එනිසා එක කොට්ට උරයක් ගැනීම ප්‍රමාණවත් බව මව ගේ අදහස විය. එහෙත් අපේ තාත්තා කොට්ටඋර දුසිම් භාගයක්ම මිළ දී ගත්තේ අසරණ කලාකාරයෙකුට සරණක් ලෙසට ය.


ඔහු තබ්ලා වාදකයෙකි. අප නිවසේ තබ්ලාවක් තිබුණෙන් තාත්තාගේ නියමයෙන් එය වැයීමට ඔහුට දුනිමු. වෙව්ලන දුබල ඇඟිලි නලවා ඔහු එය අපූරුවට වාදනය කර පෙන්වී ය.පෙර දා කීර්ති පැස්කුවෙල් ගී ගයනා විට එයට තබ්ලා නාදය මුසු කලෝ මොවුහු ය. පැස්කුවෙල් මහතා මොහුට උදව් කළ ඇති මුත් මොහුට නැවත නැවත එතුමා හමුවීමට කොළඹට යෑම දුක්ෂකර කටයුත්තක් විය. තව කලාකරුවන් කීප දෙනෙක් සමඟ හැඳුනුම්කම් තිබූ මුත් මොහුට ඔවුන් තමා හමුවීමට එන්නැයි කීවිට යන්නට තරම් හයියක් මොනම අයුරකින් හෝ නොවීය. තම අසනීපයෙන් ඇඳට වී හුන් බිරිය රැක ගැනීමට අන් පිළිසරණක් නැති මොහු කොට්ට උර මසා විකුණා ඇගේ අසනීපය වෙනුවෙන් වියදම් කරන්නේ ය.


මොහු අන් පිළිසරණක් නොමැත්තෙක් වන්නේ ඔහුට දූවරු දෙදෙනෙක් සිටිය දී ය. දූවරුන් දීගතල ගොසිනි. සැමියන් ඔවුන්ට දෙමාපියන් බැලීමට තහංචි පනවා ඇත. කන බත ගුලි උගුරේ හිර වී දියණියන් විස්සෝප වන්නේ දෙමාපියන්ගේ බඩගින්න ඔවුන්ට නොදැනී නොවේ. එහෙත් එය ද තවත් දුක්බර කතාවකි.


මේ කතා සියල්ල ඔහු, අප හමු වූ මුල් දින කී පසු ඔහු ගැන දැඩි කණගාටුවක් අප තුළ විය. ඔහුට යම් ලෙසිකින් උදව් කිරීමට හැකිවීම ගැන සතුටු වීමු. එය එසේ තිබියදී ටික දවසකට පසු නැවත ඔහු පැමිණියේ ය. ඒ කොට්ට උර නොමැතිව ය. එදා අත් පත්‍රිකා බෙදීමට අප ප්‍රදේශයේ ගුරුවරයෙක් ඔහුට නියම කර ඇති බැවින් ඔහු හමු වීමට ගොස් හමු නොවුණු තැන අප නිවසට ගොඩ වී එදා වේල පිරිමසා ගැනීමට යම් මුදලක් ඉල්ලී ය. පියා සුළු මුදලක් ඔහුට දුන්නේ ය.


මෙසේ කලක් තිස්සේ අප ගෙදරට එන්න යන්නට පුරුදු වූ ඔහුට අප නිවසෙන් සුළු මුදලක් සමඟ තේ වතුර කෝප්පයක් ද ලැබුණි. ඒ ඔහු ගේ ඉතා හීන්දෑරි වියපත් කෙසඟ සිරුර ඉතා විඩාබර ස්වරූපයක අපට නොසලකා නොහැරිය හැකි වූ නිසා ය. යම් විටක ක්‍රීම් ක්‍රැකර් කීපයක්ද ගෙන යෑමට දුනිමු. තවත් දවසක උදේ සිට බත් නොකෑ බව කී විට බත් පැකැට්ටුවක්ද ඔතා දුනිමු. ඔහු ඒ දෙන දේ තම ලෙඩින් උන් බිරිඳ සමඟ බෙදා කන බව නැවත එන දිනයේ දී පවසන්නේ ය. ඒ කෙසේ වුවත් මොහුගේ මේ නොනැවතෙන ඒම අප පවුලේ ප්‍රධාන ගැටළුවක් වී තිබුණේ ය. එහෙත් සුළු මුදලක් දී ඔහුව හරවා යැවීමේ මට්ටමක අපි සිටිමු.


එසේ කලක් ගිය තැන ඔහුගේ බිරිඳ ඉතා අසාධ්‍ය තත්වයේ යැයි කියා ලොකු මුදලක් බලාපොරොත්තුවෙන් ආ දා ඔහුගේ පැමිණීම අපට රුචි නොවීමු. 'ඇයි දැන් අපි විතරද මෙයාට සල්ලි දෙන්න ඕන.. තව ගෙවල් ටිකකට ගියානම් අපෙන් මේ ගන්න ගානම පොඩ්ඩ පොඩ්ඩම එකතු කරගතෑකි නේ'
එහෙත් නොදී බැරිම තැන ඉල්ලූ ගණනින් අඩක් අඩු කොට දුනිමු. එහෙත් ඔහු ඉල්ලූ රුපියල් පන්සීයක මුදලම දෙන්නේ නම් එය වෙලාවේ හැටියට ලොකු උදව්වක් බව ඔහු පැවසීය. එදා නම් අපේ අම්මාට ඔහු සමඟ නුරුස්සම වැඩි විය. තාත්තා ඔහු ඉල්ලූ ගණනින් අඬක් දී ඔහු පිටත් කර හැරියේ ය.


දැන්නම් මොහුගේ ඒම නො එන තැනට වැඩ කිරීමට කවුරුත් කතිකා කොට ගත් හ. ඔහු දෘ‍ෂ්‍යමානයේදී අපි අතුරුදහන් වෙමු. සල්ලි නොදී හරවා යවන්නෙමු. ටික කලක් මෙසේ හැසිරීම් සිදු වූයෙන් ඔහුගේ පැමිණීම නතරව විය.


මාස ගණනකට පසු නැවතත් ඔහු අප නිවසට එනු දුටු අප විමසිලිමත් විය.. ඔහුගේ මූණෙහි වඩා දුක්බර සෙයකි. ඔහු පෙරට වඩා රෝගී වී ඇති බව පෙනිනි. ඔහුම කතාව පටන් ගත්තෙන්, අපි අසා සිටිමු. ඔහුගේ බිරිඳ සතියකට පෙර මිය ගොසින් ය. මිය යාමට පෙර ඉතාමත් අසාධ්‍ය තත්වයේ හුන් ඇයට, ඇගේ දුවණිවරුන්ගෙන් වතුර උගුරක් කටට දමා ගැනීමට අවස්ථාවක් විවාහක පිරිමින් දෙදෙනා ලබා දී නොමැත. අවසන, තමාට අන්පිළිසරණක් අනිවාර්ය ලෙසකින් නොමැති හෙයින් තමාගේ පිළිසරණ තමාම බව අවබෝධ කරවමින් ඕ තොමෝ එක් දුකක් කෙළවර කරගත්තා ය.


එහෙත් ඔහු, තවම දුක කර ගසාගෙන යයි. ඔහුගේ සිරුර බෙහෙවින් අබලන් තත්වයක ය. ඔහු මුමුණා පවසන දෙයින් කියන්නේ ඔහුට වකුගඩු රෝගයක් මෙන්ම හතිය ද ඇති බව ය. එබැවින් නැවත ඔහු දුබල සිරුරත් රැගෙන තවමත් අප පිහිට පතා පැමිණේ.


අපි ඔහුට 'සස්ටජන්' නාමය ප්‍රදානය කලේ මෙ කල ය. දිනක් ඔහු, වෛද්‍ය නියමයෙන් සස්ටජන් (SUSTAGEN) ටින් එකක් මිළදී ගැනීමට මුදල් ඉල්ලාගෙන පැමිණියේ ය. අපේ අත්තම්මාටත් සස්ටජන් පානය ලබා දෙන බැවින් අත්තම්මාගේ සස්ටජන් ටින් එක ඔහුට ලබා දුන්නේ එහි ඔහුට සෑහෙන්න කිරිපිටි ප්‍රමාණයක් ඉතිරිව තිබූ බැවිනි. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ අලුතින් ටින් එකක්ම ගැනීමට මුදල් අවශ්‍ය බව පවසමිනි. සස්ටජන් ටින් එකක් එකල රු.960 විය. එතරම් මුදලක් ඔහු අපෙන් ගන්නවාට වඩා හතරෙන් එකකටත් වඩා වැඩියෙන් කිරිපිටි තිබූ ඒ සස්ටජන් ටින් එක අරගෙන යෑම තැනේ හැටියට අවශ්‍ය බව ඔහුට නොතේරුනේ ඔහුගේ අවාසනාවට ය. ඉදින් ඔහු හිස් අතින්ම නික්ම ගියේ ය.


මේ අතර අපේ ගෙදර 'සස්ටජන්' සහ 'සස්ටජන්ලා' ගැන වට මේස සාකච්ඡාවක් පැවැත්විණි. ඒ වන විට අපේ ගෙදරටම මෙවැනිම අබ්බැහි වූවන් පිරිසක් ඉන්නා අතර ඔවුන් සස්ටජන් තරම් දරුණු ගණයේ අය නොවීය. දෙන දෙයක් අරගෙන යන අය විය. ඒ අතර 'පාකින්සන්' නැමැත්තෙක්ද වේ. ඔහුගැන කීමට වෙනම කතාවක් ඇත. ඔහු අපේ තාත්තාගේ මඟුල් ඇඳුම මැසූ ටේලර් ය. දැන් ඔහු පාකින්සන් රෝගයට ගොදුරු වුණු අසරණයෙකි. ඔහු අප නිවසට පැමිණි මුල් දින මම බෙහෙවින් ඔහු ගැන දුක් වුණෙමි. පාකින්සන් රෝගයේදී රෝගියාට තම අත් පා පාලනය කර ගත නොහැකිය. අත් පා එහෙ මෙහෙ විසි වේ. කකුල තිබිය යුතු තැන නොතැබේ. ඔහුට දිනකට රු.60 ක පමණ මුදලක් බෙහෙත් සඳහා වියදම් වේ යැයි කියයි. දිනපතා නො එතත් දවසින් දවස ගෙයින් ගෙට ගොස් අප නිවසට එන දා ඔහු පැමිණි විට රු.40ක්  හෝ 60ක් දීම එතරම් අයහපත් නොවන බව අපේ අදහස විය. ඔහු කීයක් දුන්නත් එය රැගෙන යයි. ඒත් සස්ටජන් එසේ නොවේ. සස්ටජන් පැමිණෙන්නේ අප නිවසටම ය. දෙන දේ භාරගෙන යන්නේද නැත. ඇයි මොහු අපටම කරදර කරන්නට අප නිවසටම පැමිණේන්නේ? එයට ඉතා සරල පිළිතුරක් අපේ අම්මාට විය.

'මුලදිම වරද්ද ගත්තනේ.. '
කතාව ඇත්ත ය. අපේ තාත්තා, 'අසරණ කලාකරුවෙකුට යන කල' ගැන අනුකම්පාවෙන් ඔහුට අත දීමට ගොස් අත හපා-කා ගන්නට දුන් සැටියකි. අම්මා එසේ කීවත් තාත්තාගේ අදහස වෙනකකි.

'පාරෙ මඩ ගොඩක එක පුංචි තැනක් තියනව නම් කකුල තියල යන්න පුළුවන්.., අන්න එතනට තමයි හැමෝම කකුල තිය තිය යන්නෙ.. අපිටත් වෙලා තියෙන්නෙ ඒකමයි.'

තාත්තාගේ කතාව ද සැබෑවකි. අන් නිවැසියෝය, අපේ අම්මා කියන ලෙසට මුලදිම යම් ප්‍රමාණයට ඔවුන් හසුරුවා ගත් අය වූ‍යෙන් ඔවුන්ට වැඩි කරදරයක් විදීමට සිදු නොවුනි. එසේනම් ඔවුන් තාත්තාගේ කතාවට අනුව මඩ ගොඩවල් විය යුතු බව මාගේ අදහස වුණි. අපි, මඩෙන් නිදහස්, සැමටම පය ගසා යා හැකි තැනක සිටියා වුවත්, සස්ටජන්ලාගෙන් එල්ලවන පය තැබීම් හමුවේ දැඩි ලෙස තැලී පොඩිවී සිටින්නෙමු. දැන් තාත්තාගේ සීමාවද ඉක්ම ගොස් ය. එහෙත් සස්ටජන්ගේ බෙහෙත් තුන්ඩු දික් කිරීම් වලට නොසලකා හැරීමද යුතු නොවන තැන ඔහු ද සුළු මුදලක් දික් කරයි. සස්ටජන්නොයෙක් වර කියන්නේ නැවත අපට කරදර කිරීමට නොපැමිණෙන බවයි. නමුත් බොහෝ කාලයකට පසු නැවත පැමිණ වෙව්ලන දුබල දෙ අතින් පවසන්නේ තමන්ට වැඩි දුර ඇවිදීමට නොහැකි බැවින් එකම තැනකින් මුදල් ඉල්ලා යෑමට පැමිණෙන නිසා එයට ඔහුට සමාව දෙන්නට ය කියා ය.


කාරණා කෙසේ වුවත් තවමත් ඔහු අප නිවසට පැමිණේ. අපද ඔහුට සුළු මුදලක් දී පිටත් කර හරියි. ඒ අතරට ඔහු අපට නුරුස්සන මුදල් නොඉල්ලන්නේද නොවේ. එවිට අපද ඔහු නුරුස්සන මුදලක් දී හරවා පිටත් කරගනියි.


ලෝ දහම මෙයයි. කෙනෙකු මෙය සමාජ විද්‍යාත්මක දෘෂ්ටියෙන්, සමාජවාදී දෘෂ්ටියෙන්, දේශපාලන දෘෂ්ටියෙන් හෝ මනෝවිද්‍යාත්මක දෘෂ්ටි ආදී නානාවිධ දෘෂ්ටීන්ගෙන් බලා අන් අයට ඇඟිලි දික් කර හෝ ඇඟිලි උලුක් කර ඔවුන්ගේ වැරැද්දෙන් මෙය වූවා යැයි චෝදනා කළ හැකි වුවත් බුදු දහමට අනුව මෙය පුද්ගල විෂයෙහි පුද්ගල සිත සමඟ ගොඩ නැඟෙන වරදකි. මෙවැනි පුද්ගලයන් මේ සමාජයේ අතීතයේ, වර්තමානයේ මෙන්ම අනාගතයේ ද සිටී. අප දීම ගැන සතුටු වනවා සේම දී, ඒ ගැන පසුවිපරම් කිරීම් අනවශ්‍ය ය. එහෙත් දෙන්නේ කාටදැයි බලා ඒ අනුව දානය කරනවා නම් එයින් දෙගොල්ලන්ටම යහපතක් සලසා ගත හැකි ය.

2 comments:

මධුරංග said...

කෙටි කතාවක් කියෙව්වා වගේ. ලස්සනට ලියලා තියෙනවා මුතු අක්කේ. ගොඩ කාලෙකට පස්සේ ලියලා තියෙන්නේ.

අක්කලාත් මිනිස්සුන්ට දාන්නේ මාරම නම් නේ. අර පාකින්සන් කියන ලෙඩේ නම් මම් අපේ මල්ලිගෙන් අහලා තියෙනවා.

මුතූ said...

ඔන්න ඊයෙත් කෙනෙක් ආවා.. එයා නම් මම පොඩි කාලෙ ඉදලම අපේ ගෙදර පේන්ට් කරන්න එන තීන්ත බාස්. :) දැන් නම් මහළුයි. කාලෙක ඉඳන් බෙහෙත් ගන්න සල්ලි ඉල්ලගෙන එනවා. ඉස්සර නම් බෙහෙත් ගන්න කියල සල්ලි ඉල්ලගෙන බාර් එකෙන් බෙහෙත් අරගෙන පානය කරනවලු. ඉතින් දවසක් මුන්නැහේ බාර් එකක් ළඟ එහෙම බෙහෙත් බිබී ඉන්ව දැක්කට පස්සෙ අපේ තාත්ත සල්ලි දෙන එක නතර කරා. දැන්නම් දිරාගිය ලෙඩ ශරීර නඩත්තුවටයි සල්ලි ඉල්ලන්නෙ.. ආරෝග්‍යා පරමා ලාභා කියන්නෙ ඒ නිසා නේ.. හැමෝටම ඒකෙන් වෙන්නෙ ලාභයක්මයි :P