Sunday, October 3, 2010

අපේ රටේ සංවර්ධනෙ.. අපේ රටේ සංවර්ධනෙ.. පුංචි අපේ වර්ධනේ...


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මිනුම් දඬු වලට හසු නොවූ, දේශීය විද්‍යුත් මාධ්‍යයන්හි අනුග්‍රාහකත්වයෙන් ක්‍රමිකව සංවර්ධනය කරා යන නිදහස් රාජ්‍යයක සැබෑ වන සුබ අනාගතයක පෙර නිමිති. දකුණේ එක්තරා පිරිවෙනක පවත්වනු ලබන ඉරිදා ඉස්කෝලයක සිදු වූ සිදුවීමකින් ඇති වූ ගැටළුවක්, ප්‍රාථමික ගැටළු විමර්ශන අංශයෙන් අනාවරණය කරගන්නට ලැබුණි. එය අප රටේ සංවර්ධනයේ අලුත්ම මාවත පෙන්වන පෙර නිමිත්තකි. සංවර්ධනයෙන් පිරිපුන් දේශයක් උදෙසා සිහින දකින ලාංකිකයන් හට මෙම පෙර නිමිත්ත ගැන උදම් අනන්නට හෝ අනාගෙන කන්නට හෝ කාලය එළඹ ඇත. සිද්ධිය සැකෙවින් මෙසේය.

එය පසුගිය ඉරිදා දිනයකි. හතර ශ්‍රේණියේ පන්තිභාර ගුරුතුමිය පාඩම් පොතෙන් නෙතු ඉවතට ගත්තේ, සිසුවියකගේ ඇඬීම නිසා ය. ගුරුතුමිය සිසුවිය ළඟට කැඳවා කාරණය විමසී ය. ඉකි බිඳුම් අතරින් කුඩා දැරිවිය මෙසේ පැවසී ය. "මල්ලි කෙනෙක් ඇවිත් මාව 'මැරි' කරනන් කැමතී කියල කිව්වා..." කුඩා දැරිවිය නැවතත් හැඬීමට පටන් ගත්තෙන්, එය පැවසීමට ඉදිරිපත් වූයේ  එම කුඩා ගැහැණු ළමයාගේ මිතුරිය යි. "දෙක වසරෙ මල්ලි කෙනෙක් 'වරින් වර' ඇවිත්, මෙයාගෙ නමයි, සර්නේම් එකයි, පවුලෙ විස්තරයි හොයන් ගියා.. ඊට පස්සෙ, එයා මෙයාට කියල මෙයාව මැරි කරන්න කැමතී කියල.." ඇය තම මිතුරියට වූ අකරතැබ්බය පැවසී ය. අවසන ඇය මෙසේ කීය. "එයා, මෙයාගෙ ඒජ් එකටවත් ගැලපෙන්නෙ නෑ"

මේ ඉතින් අපේ සිංහල බෞද්ධ රටේ සිදුවන ප්‍රාථමික සිදුවීම් ය. මේවා ගැන නානාප්‍රකාරයෙන්, විවිධාකාර හැඩතලවලින් කොතෙකුත් කතාබහට ලක්වී ඇතත් බීරි අලින් සිටින තාක්කල් මේවා උන්ට වයන වීණා නාදය. මෙම සිදුවීම මාගේ මව්තුමිය ඉදිරියේ වූ සත්‍ය සිදුවීමකි. මෙය අප රටේ ළමා පරපුරට අත් වී ඇති දුක්ඛාන්ත ඉරණම් අතුරින් 'එක්' සිද්ධියක් පමණි. මෙය ඊයෙ පෙරේදා වූ අලුත්ම කතා ජවනිකාවක් වන අතර මීට අවුරුදු දෙක තුනකට පෙර, මා මේ පිළිබඳව ලියූ සඳහනකින් තවත් නිදසුන් සොයා ගැනීමට හැකි විය.

මෙගා ටෙලි වසන්තය ගෙදර විසිත්ත කාමරයට පැමිණි අලුත ඇති වූ සමාජ කුලප්පුවට හසු වී පොඩිඋන්ද අලුත් අලුත් කතා මාතෘකා සමාජය වෙතට නිර්මාණයෙන් දායක විය. මෙම නිදසුන්, ප්‍රාථමික ළමුන් හා මනා කොට ගැවසෙන මාගේ මවුතුමිය ලැබූ අත්දැකීම් අනුසාරයෙන් ලියැවිණී.

කලකට ඉහත එක්තරා පෙරපාසලක දැරියක් පෙර පාසල් ගුරුතුමියකට මෙසේ කීය.

" ටීචර් ඔයාගේ ඇස් හරියට නිලංජනාගෙ ඇස් වගේ"

පෙර පාසල් දරුවා පුද්ගල සමානකම් අවබෝධ කිරීමට තරම් මෝරල ය. එහෙත් එසේ වන්නේ සමාන කමට ලක් වන පුද්ගලයන් හොඳින් හැඳිනීමෙන් පසුය. මෙම දරුවා රූපවාහිනියේ ටෙලි චරිතයක්, තමන් නිතර දෙවේලේ ගැවසෙන මොන්ටිසෝරි ටීචර්ට සම කළේ එම ටෙලි චරිතයේ දෑස් හා මොන්ටිසෝරි ටීචර්ගේ දෑස් වල ඇති සමානකම නිවැරදිව දුටු නිසා විය යුතු ය. අම්මලා බලන නාටක දරුවන් තුළින් දිස් විය හැකි නිසා අම්මලා අනිවාර්යයෙන්ම ප්‍රවේශම් විය යුතු ය. තවත් දිනක අප නිවසට පැමිණි අවුරුදු හතරක් වූ කුඩා දැරියක් පත්තර ගොන්නේ තිබූ ටැබ්ලොයිඩ් පත්තරයක් පෙන්වා මෙසේ කීය.

"අම්මෙ, මෙන්න ශිහාන් ඉන්නවා..!"

මව්වරුන්ට සෑදුනු පිස්සු ළමුන්ට බෝ වන්නේ පිස්සුව තද වී කෑ ගසන්නේ නම් පමණී. ඒද, දැක ඉගෙනීමෙනි. එවැනිම පිස්සුවක් සෑදී දඟලන අම්මෙක් දිහා බලා සිට උගත් දරුවෙක් තුලින් දිස් වන ඛේදනීය රෝග ලක්ෂණ මමද ඇය තුළින් දුටිමි. මම අනතුරුව ඇගේ මව දෙස බැලීමි. ඇය එම ටැබ්ලොයිඩ් පත්තරය දරුවාගෙන් ඉල්ලා 'ශිහාන්' කියවීය. දරුවාද පසෙක සිට ශිහාන් නැරඹිය. ශිහාන්ලා වැන්නෝ කුඩා වයසට කැප නොවේ. ළමා වයසේ තිබිය යුතු දෑ ඔවුන්ගෙන් ඈත් කර, ඔවුන්ගේ කරදඬු උස් මහත් වූ පසු, කළ වැරැද්දට තලන්නට නළියන දෙමවුපියන් තමන්ගේ අත් හිත් තලාගෙන පසෙකට වී හූල්ලන සමාජයක් අද ගොඩ නඟා ගෙන තිබේ.

නිදහස් දේශයක නිවහල් පැතුම් මුසු වූ අනාගතයක් පිළිබඳ සුබ සිහින දකින ලාංකික දේශප්‍රේමීන්ට මෙරට තුළ මාධ්‍යකාරයන් බිහිකර ඇති උපසංස්කෘතික සමාජ කොට්ඨාශයන් තව දුරටත් පැටව් ගසමින් ඉදිරියට ගමන් කරන අන්දම කාලකණ්නි ලෙස දකින්නට තරම් ඉස්පාසුවක් නොමැතිවීම සැබැවින්ම දුකකි.  ඒ ගැන කොතෙක් කතා පැවැත්වුවද තවමත් එයට සීමා මායිම් ලකුණු කිරීමට තරම් පිට ඇට ඇත්තෙක් දේශපාලනික වශයෙන් පරිණාමය නොවීම රටේ අවාසනාව මිස වෙන කුමක්ද? මෙය අපේ රටේ අනාගතයේ විපත්ති ගැන කීමට ඉතුරු කර ගන්නා රස කතා ගොන්නක් පමණක් වෙනවා නම්, සුබ අනාගතයක් පිළිබඳව මැවූ සිහිනය සිහිනයක්ම විය හැක.

1 comment:

මධුරංග said...

මේ කතාවනම් සහතික ඇත්ත අක්ක. අද මොන්ටිසෝරි ළමයෙක් ට සින්දුවක් කියන්න කිවුවත් කියන්නේ " ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ.... " ඔය වගේ සින්දු. දැන් ඉන්න ළමයින්ට ළමා කාලයක් නෑ. එයාලට තියෙන්නේ වැඩිහිටි කාලයක් කියලයි මට නම් හිතෙන්නේ. මේකට සියයට පනහකටට් වඩා වග කියන්න ඕනේ දෙමව්පියන්. මොකද එයාල තේරුම් ගන්න ඕනේ පොඩි ළමයි එක්ක ඉදලා බලන්න ඕනේ මොනවද, නැත්තේ මොනවද කියලා. සමහර නාට්‍ය සංගීත සංදර්ශන වලට වහ වැටිලා ඔහේ බලාගෙන ඉන්නවා ළමයිනුත් එක්ක. පොඩි අයට හොද දේවල් කියල දෙන්න ඕනේ එකේ එයාල ඉගෙන ගන්නේ ඕවයින්. ඉතින් කොහොමද ළමා පරපුරක් හැදෙන්නේ. බොහොම ස්තුතියි අක්ක මේ කතාව ලිවුවට !!!!!