Monday, February 13, 2017

ලලයියයි හූයියයි (පැටි කතා)

ඔන්න ලලයියයි හූයියයි කියලා නිවුන්නු දෙන්නෙක් හිටියා. ලලයියා, අම්මගෙ ඔඩොක්කුවට පනිද්දි හූයියා බිල්ඩින් බ්ලොක්ස් ගොඩට පැනලා සෙල්ලං නගර හැදුවා. ලොකු වුණාම ලලයියා අම්ම එක්ක ගමේම ඉන්නෝන කියල ගමේ නැවතුණා. හූයියා සැප ගන්නෝන කියල නගරෙට ගියා. ලලයියගෙ අම්මගෙ කෑම හරි සැරයි. ඒවගේම හරි රසයි. නගරෙ කෑමාම්මගෙ කෑමකඩේ කෑමත් හරි සැරයි. ඒවගේම හරි රසයි. එකට උපන්, එකට වැඩුණු දෙන්නා, දවසක් දෙතැනක ඉඳන් එකම එළෝලු එක්ක එකම විදියට හදපු බත් ව්‍යාංජනයක්, එක වෙලාවෙදි ම කෑවා. කාලා කට පිහදාගෙන පුටුවෙන් නැගිට්ටෙත් එකට.
ටිකකින් ලලයියා සින්දුවක් උරුවම් බාමින් අම්ම ළඟට ගිහින් අම්මට හාද්දක් දුන්නා. ටිකකින් හූයියා ආමවාතෙ පිටකරමින් කෑමාම්මගෙන් කැසිකිළියට යන පාර ඇහුවා.
ලලයියට අම්මා දිවුල්කිරි කෝප්පයක් හදල දුන්නා. ජූල් කිරි බීලා අන්නාසි පලුවකුත් කාලා ලලයියා පලු ගහ යට බංකුවේ ඉඳගෙන වෙල්යාය දිහා බලං හූයියා ගැන කල්පනා කරන්න ගත්තා.
කැසිකිළියෙන් ගොඩ ආපු හූයියට කෑමාම්මා යෝගට්ටෙකක් දික් කළා. යෝගට්ටෙකත් අරන් පාක් එක ඉස්සරහට ආපු හූයියා පාක් බෙන්ච් එකේ වාඩි වෙලා ලලයියා ගැන හිතන්න පටන් ගත්තා.
දෙන්නම දෙන්න ගැන හිත හිත, දෙන්න දෙතැනක සතුටින්™ ජීවත් වුණා.


No comments: