Sunday, November 8, 2009

මුතූට තලගොයෙක් කළ හදියක්!


එක දවසක් හරි අපූරු වැඩක් වුණා. අපේ ගෙදර මිදුලෙ ශ්‍රමදානයක්. මල්ලියි මමයි ගෙමිදුල සකසනවා. මල්ලි, මල්පාත්තිවල තරගයට මෙන් උසට වැඩී තිබුණු  වල් පැළ උඳුරනවා. මම, මිදුලේ උඳුරා දැමූ වල් පැළ  අතුගාමින් මගෙ ශ්‍රම දායකත්වය ලබා දෙනවා. ඔන්න ඔහොම අපි දෙන්නා ඉහින් කනින් දාඩිය පෙරාගෙන 'මහා' ශ්‍රමදානයක් කරගෙන යනවා. විහිලු තහලුත් එක්ක වැඩෙත් නැඟල යනවා. වැඩ කරනවට වඩා හිනා වෙන ප්‍රමාණය වැඩියි. අපේ හිකි හිකිය වත්ත පුරාම දිව්වා... ඔය අතරෙදි, එකවිටම වගේ සුපිරින්ටන්ඩ් තැන සම්ප්‍රාප්ත වුණා. අපි හිටි තැනම ගල් ගැහිලා ඔහු දිහා බලාගෙන... ඔහුත් කිසිම කතාවක් බහක් නැතිවම අපේ දිහාට හෙමින් හෙමින් එනවා... අපේ මලයට ඔහුගෙ පැමිණීම එතරම් හිතට ඇල්ලුවෙ නැහැ. මල්ලි ටිකක් බලා හිටියා... හෙමින් සීරුවේ අපි වැඩ කරන තැනටම ඇවිල්ලා, මල්ලි හරි අපූරුවට පිරිසිදු කරපු මල් පාත්තිය හෙමින් හෙමින් පහුරු ගාන්න පටන් ගත්තා. අපේ මලයත් ඉතින් කුකුල් කේන්තිකාරයා. ඉහවහා ගිය කේන්තියෙන් මගෙන් ඉදල උඳුරා ගෙන සුපිරින්ටන්ඩ් තැනට ගැහුවෙ නැතෑ! මට කර කියා ගන්න දෙයක් නැති උනා. සුපිරින්ටන්ඩ්කාරයා පසු  නොබලා දුවන්න උනේ අපෙ මලයගෙ ඉදල්පාරෙ සැර කමට...

දැන් දෙන්නම නිහඬයි. මම මල්ලි දිහා බැලුවා. තාමත් කේන්තියෙන් පුපුරනවා. මට ඉදල් පහර කෑ අසරණයා ගැන උපන්නේ දුකක්!  "මහ ලොකු වෙජිටේරියන්කාරයා තලගොයින්ට ගහනවා......." සත්තකින්ම, මම කිව්වේ එපමණයි.....!

ඔහු මාස නමයක්ම ගොළුවෙකු මෙන් මා සමග කතා නොකර සිටියේ ය. දත් නැත්තෙකු සේ සිනා නොවී සිටියේ ය.  කොටින්ම ඔහු මා හා තදින් අමනාප වී සිටියේ ය. ඉදින් මම, ඔහු හා කතා කිරීමට බැරි වූ තැන මහද තෙරපෙන සිතුවිලි දාමය එකම එක නිසඳැසකට කැටි කොට ගත්තෙමි. සහෝදරත්වයක් ඛණ්ඩනය කිරීමට උභය ජීවියෙකුට හැකි වූ අයුරු! මෙහි වූ අපූරුව නම්, එක්ව සිටි අප දෙදෙනා මැද්දට'විත් අප දෙදෙනා වෙන් කොට අමනාප කළ තලගොයි තැන, කිසිත් නොදන්නා එකෙක් මෙන් තවමත් අප මිදුලට'විත් පෙර සේ මල් පාත්තිය පහුරු ගා යෑමයි. එහෙත්, තවමත් අප හිටි තැනම ය.....

මුතූව රැවැට්ටූ සබන් සුවඳ..

දවසක් දා හිමිදිරියේ ඉර නැඟිලා දෙහෝරාවක් ගිය තැන, මම උන්නේ ජනේලය ළඟ මේසය මත පොතක් තබාගෙන, සිතුවිලි ලෝකයේ සක්මන් කරමින්. ඔය මනෝ සක්මන අතරෙදි  මගේ නහයට හෙමි හෙමිහිට අපූරු මිහිරි සුවඳක් ළං වුණා. ඇත්තටම ඒක සමන් පිච්ච මල් සුවඳක්. හිමිදිරි පාන්දරක, යාන්තමට තුනී වෙන මීදුම් සේලය අතරින් හිරු රැස් වැටෙනා පරිසරයේ නැවුම් බව විහිදෙන මොහොතක.., සමන් පිච්ච මල් සුවඳක් නහයට ඇතුළු වුණාම... මොන ලෝකෙ හිටියත් ඒ සුවඳ හොයා ගෙන යන්නම හිතෙනවා. ඉතින් මමත්, පොත ළඟ නෙත තබා ගිය මනෝ ලෝකයෙන් මිදිලා, ඒ නැවුම් සුමිහිරි සමන් පිච්ච සුවඳ හොයාගෙන අපේ ගෙදර මිදුලටම බැස්සා. මම හිතුවෙ සමන් පිච්ච වැලේ සුදු පාටට මල් ගොඩාක් එකට පිපිලා සුවඳ විහිදුවනවා කියලයි. ඒත් මේ අවාරෙ. ළඟදි වැස්සකට අහු වුණේ නැති හින්දම සමන් වැලේ එක මල් පොහොට්ටුවක්වත් නෑ.  ඉතින් මම නැවත ගෙතුළට යන්න හැරුණා...
එවිටයි මම දැක්කෙ......,


ළිඳ ළඟ "හරිච්චන්ද්‍ර සමන් සබන්" වලින් රෙදි සෝදමින් ඉන්න අපේ අම්මව...

මුතූ සේකරගේ කවියට වහ වැටෙයි...

පොත් රාක්කේ තිබූ පොත් ගොඩ අතරින් මහගම සේකරයන්ගේ "හෙට ඉරක් පායයි" කෘතිය මගේ අතට හසු වූයේ අහඹුවකින්. අතට හසු වූ නිසාවෙන්ම පොතේ පිටු දෙක තුනක් කියවා බලන්නට සිතුණා. පෙර දා  පොත කියවා හිත නොබැඳි යමකින්, මෙදා මගේ හිත මෙහි කවි කෙරෙහි පෙම් බදින්නට වුණා. ඉක්බිත්තෙන්ම පොතට මුහුණ ඔබා ගත් මම, එහි කවි අතර සැරි සැරූවේ අසීමිත ආශාවකින්. සේකරයන්ටම ආවේණික වූ ඔහුගේ කාව්‍ය ආකෘතිය, මගේ සිතේ පෙරළි කරන්නට විය. ඔහුගේ මනෝභාවයෙන්ම කවියේ හරය ගැන සිතීමට මා පොළඹවන්නට විය. පුදුම වැඩක්! පොතෙන් නෙතු ඉවත් කිරීම කොහෙත්ම කළ නොහැක. කුමක් කරන්න ද? අවසානයේ මට සිදු වූයේ, සේකරයන්ගේ කවි කෙරේ ඇති 'ලොල්බව' මඳකින් හෝ දුරු කර ගැනීම සඳහා ඔහුගේ කාව්‍ය ආකෘති හඹා ගොස් ලබා ගත් කාව්‍ය පරිහරණය ඔස්සේ, කාව්‍ය නිර්මාණයක් මා කෙරෙන් බිහි කිරීමටයි. මගේ නෙත් මොහොතකට හෝ කෘතියෙන් ඉවතට ගත හැකි වූයේ, සේකරයන්ගෙ කාව්‍යාකෘතියන් සදිසි නිමැවුමකට කවි සිතුවිල්ලක් මගේ සිතට පහළ වූ බවට සන් ලැබීමෙන් අනතුරුවය. ඉදින් මා පැබැඳුවා නිසඳැසක්, "යතුරු කටුව" ලෙස නම් තැබූ...